කත්නෝරුවේ සිරිධම්ම හිමි සහ තවත් බොහෝ අය "අචින්තිතම්පි භවති..." ගාථාවේ අර්ථය පටලවා ගැනීම

Submitted by Kamal Wickramanayake on

මේ දිනවල සමාජ මාධ්‍යය තුළත් වෙනත් තැන්වලත් "අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති" යන ගාථා පාඨ වැරදි අර්ථයකින් භාවිතයට ගැනෙන බව පෙනෙන්න තිබෙනවා. මෑත කාලයේදී මේ ගාථා පාඨ වඩාත් ඉස්මතුව කතාබහට ලක්ව ඇත්තේ කත්නෝරුවේ සිරිධම්ම හිමිගේ දේශනා නිසා බවයි පෙනෙන්න තිබෙන්නේ. අවාසනාවකට කත්නෝරුවේ සිරිධම්ම හිමි සහ තවත් බොහෝ අය මේ ගාථා පාඨ ගෙන ඇත්තේ නිවැරදි අර්ථයෙන් නොවෙයි. බොහෝ දෙනෙක් මේ ගාථා පාඨ බුදු දහමම ගැරහීමට පත්වෙන ආකාරයකට භාවිතා කරන බවයි පෙනෙන්න තිබෙන්නේ.

මේ ගාථා පාඨ යෙදෙන සම්පූර්ණ ගාථාව මෙසේයි:

අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති,
නහි චින්තාමයා භොගා ඉත්ථියා පුරිසස්ස වා.

නොසිතූ දේ වෙයි. සිතූ දේ වැනැසෙයි.
ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට සිතීමෙන් මැ සිදුවන සම්පත් නැත.

මෙම ගාථාව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දකනිකායේ ජාතකපාළියේ එන සරභමිග ජාතකයේ (472 පිටුව) සහ මහාජනක ජාතකයේ (26 පිටුව) දක්නට ලැබෙනවා.

සරභමිග ජාතකයේදී මෙම ගාථාව පවසා ඇත්තේ බෝසතානන් වහන්සේ සරභ මුවෙකුව ඉපිද සිටියදී එම මුවාව මරන්නට සිතූ රජෙකු විසිනුයි. ජාතක කතාවට අනුව එකල රජු ලෙස ඉපිද සිට ඇත්තේ ආනන්ද හිමියනුයි. රජු මුවා මරන්නෙමියි සිතා මුවා ලුහුබැඳ යන විට නොසිතූ ලෙස රජු වලක වැටෙනවා. මුවා විසින් වලෙන් ගොඩ ඒමට රජුට උපකාර කිරීම පිළිබඳවත් ජාතක කතාවේ සඳහන් වෙනවා. නොසිතූ ලෙස තමන්ව වලේ වැටීමත්, මුවා මැරීමට සිතීම සිදු නොවීමත් යන කාරණා අරභයායි "නොසිතූ දේ වෙයි. සිතූ දේ වැනැසෙයි." යන අර්ථ ඇතිව "අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති" ලෙසින් යෙදෙන ගාථාව එම රජතුමා විසින් පසු අවස්ථාවක පවසනු ලැබ ඇත්තේ. 

මහාජනක ජාතකයේදී මෙම ගාථාව පවසා ඇත්තේ බෝසතානන් වහන්සේ එකල මහාජනක රජු ලෙස කටයුතු කරමින් සිටියදියි. මහාජනක කුමරු යුද්ධ නොකර රජ වීමට සිතුවේ නැහැ. සිතුවේ ධනය උපයාගෙන පැමිණ යුද්ධ කොට රජ වීමට. එසේ වුවත් මහාජනක කුමරුට රජකම ලැබුණේ යුද්ධයකින් නොවේ. එහිදී ද නොසිතූ දේ සිදු වීමත් සිතූ දේ සිදු නොවීමත් අරභයා "අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති" ලෙසින් යෙදෙන ගාථාව එම රජතුමා විසින් පවසා තිබෙනවා.

තව ද ගාථාවේ "නහි චින්තාමයා භොගා ඉත්ථියා පුරිසස්ස වා" යන්නෙන් කියැවෙනුයේ ස්ත්‍රීයකට හෝ පුරුෂයෙකුට සිතූ පමණින්ම සම්පත් ඇති නොවන බවයි. වීර්යය කිරීමෙන් සම්පත් උපයාගත යුතුයි. එසේ වීර්යය කරන්නන්ට නොසිතූ යහපත් ද සමහර විට සිදුවෙනවා.

කත්නෝරුවේ සිරිධම්ම හිමි සහ තවත් බොහෝ අය මේ ගාථාවේ අර්ථය වරදවා ගෙන ඇත්තේ කෙසේ ද? අර්ථය වරදවා ගෙන ඇති අය ගාථාවේ පාලි වදන් පෙළ වැරදි අර්ථ ඇතිවන ලෙසයි සිංහලට පරිවර්තනය කරගෙන ඇත්තේ.

"අචින්තිතම්පි භවති" යන්නෙහි නිවැරදි අර්ථය "නොසිතූ දේ වෙයි." යන්නයි. එහෙම නැතුව එහි අර්ථය "මේ ලෝකෙ කවදාවත් හිතන දේ වෙන්නේ නෑ" යන්න හෝ "වෙන දේ හිතාගන්න බෑ" හෝ නොවෙයි.

"චින්තිතම්පි විනස්සති" යන්නෙහි නිවැරදි අර්ථය "සිතූ දේ වැනැසෙයි" යන්නයි. එහෙම නැතුව එහි අර්ථය "මේ ලෝකෙ කවදාවත් හිතන දේ වෙන්නේ නෑ" යන්න හෝ "වෙන දේ හිතාගන්න බෑ" හෝ නොවෙයි.

"අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති" යන්න ජාතක කථාවල භාවිතා වී ඇත්තේ නොසිතන සහ සිතන සෑම දෙයකටම සැමකල්හිම සාධාරණ ප්‍රකාශයක් ලෙස නොවෙයි. නොසිතන දේ සිදුවෙනවා වගේම අන් අවස්ථාවල සිතන දේත් සිදුවෙනවා.

ඒත් "මේ ලෝකෙ කවදාවත් හිතන දේ වෙන්නේ නෑ" යැයි කීවොත් ඉන් නිශ්චිත ස්වභාවයක් හැඟවෙනවා . ඉන් කියැවෙන්නේ යමක් හිතුවොත් එය අනිවාර්යයෙන්ම සිදු නොවන බවයි. මේ සිංහල පරිවර්තනය බුද්ධ දේශනාව තබා මිනිස්සුන්ගේ සාමාන්‍ය දැනීමට වත් ගැළෙපෙන්නේ නැති බොරුවක්.

තව ද "වෙන දේ හිතාගන්න බෑ" යන්නත් සැම දෙයටම, සැම පුද්ගලයාටම සාධාරණ වන්නෙත් නෑ. සමහර වෙන දේවල් සාමාන්‍ය මිනිස්සුන්ටත් හිතා ගන්න පුළුවන්. සමහර වෙන දේවල් බුද්ධිමතුන්ට පමණක් හිතාගන්න පුළුවන්. මේ නිසා "වෙන දේ හිතාගන්න බෑ" යන්න සැම අවස්ථාවකටම සාධාරණ ප්‍රකාශයක් ලෙස ගැනීම මිනිස්සුන්ගේ සාමාන්‍ය දැනීමට වත් ගැළෙපෙන්නේ නෑ.

සාරාංශ ලෙස ගත්තොත් කත්නෝරුවේ සිරිධම්ම හිමි සහ තවත් බොහෝ අය "අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති" යන පාලි වදන් නිවැරදිව සිංහලට පරිවර්තනය කරගෙන නැහැ. ඊට අමතරව පරිවර්තන දෝෂ සහිතව  වුවත් සිංහලෙන් ඔවුන් ගෙන ඇති "මේ ලෝකෙ කවදාවත් හිතන දේ වෙන්නේ නෑ, වෙන දේ හිතාගන්න බෑ" යන්න මිනිස්සුන්ගේ සාමාන්‍ය දැනීමටත් ගැළෙපෙන්නේ නැති බොරු කතාවක්. "මේ ලෝකෙ හිතන දේ වෙන්නේ නෑ, නොහිතන දේ වෙනවා" යැයි ගත්තොත් නම් සමහර අවස්ථාවලදී පමණක් එය නිවැරදි විය හැකි බැවින් සමහර අවස්ථාවන්ට පමණක් සත්‍ය වන අර්ථයෙන් එම ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක් ලෙස ගන්න පුළුවන්. 

"මේ ලෝකෙ කවදාවත් හිතන දේ වෙන්නේ නෑ, වෙන දේ හිතාගන්න බෑ." යන්න බුද්ධ වචනය ලෙස සමාජයේ පිළිගැනීමක් ඇති වූවොත් ඉන් බුද්ධ ශාසනයට සිදුවන්නේ මහත් අගතියක්. සාමාන්‍ය බුද්ධියක් ඇති අයත් මේ ප්‍රකාශය බොරුවක් බව දැක බුද්ධ ධර්මය ගැන අවිශ්වාසයක් ඇති කර ගන්න පුළුවන්. තව ද බුද්ධ ධර්මය රිසි නොකරන පාර්ෂවවලටත් බුද්ධ ධර්මය බොරුවක් යැයි දක්වන්න මේ වදන් භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා කත්නෝරුවේ සිරිධම්ම හිමි සහ තවත් බොහෝ අය "මේ ලෝකෙ කවදාවත් හිතන දේ වෙන්නේ නෑ, වෙන දේ හිතාගන්න බෑ." යන වදන් බුද්ධ ධර්මය ලෙස සමාජයේ ප්‍රචලිත කිරීමෙන් කරන්නේ බුද්ධ ශාසනය මහත් අගතියක්.

මේ වාගේ බොරු බණ බුද්ධ ධර්මය ලෙස ගෙන සාධුකාර දෙන අයට මම යෝජනාවක් කරන්න කැමතියි. ඒ තමයි මේ වාගේ බොරු බණවලට සාධුකාර නොදී අහල පහල ඉන්න හරකෙක් උම්බෑ කීවොත් අන්න ඒ උම්බෑ ශබ්දයෙන් උම්බෑ ධර්මය දැක්වෙනවා කියලා හිතාගෙන සාධුකාර දෙන ලෙස. අන්න ඒ ක්‍රියාවෙන් පවු පිරෙන්නේ නෑ වගේම අනාගතයේ ඉපදෙන්න ඉන්න අයට බුද්ධ ධර්මය ඉතුරු වෙනවා.