2026 පෙබරවාරි මස 4 වන දින ලංකාවේ දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය විසින් "Smart UNP Digital Drive" යන නමින් කළ වැඩසටහනකදී තරුණ යුවතියන් පිරිසක් රැස්ව සිටි පිරිස ඉදිරිපිට නර්තනයක් ඉදිරිපත් කරන අයුරු මම සමාජ මාධ්‍යයේ දුටුවා. එහිදී අඩ නිරුවතින් තරුණ කාන්තාවන් සිව් දෙනෙක් "යොවුන් සිහින ලෝකේ" ලෙස ගැයෙන ගීතයකට තම පසුපස ප්‍රේක්ෂකයින් දෙසට හරවා නටවමින් ද තම අඩ නිරුවත් ශරීරාංග ප්‍රේක්ෂකයින්ට වෙසෙසින් පෙන්වමින් ද නර්තනය ඉදිරිපත කළා. මේ ආකාරයේ නර්තන සුදුසු ද?
මගේ ස්ථාවරය වන්නේ මේ ආකාරයේ නර්තන දැඩිව ගැරහිය යුතුයි යන්නයි. කාම පිපාසයෙන් පෙළෙන මිනිසුන්ට මේ ආකාරයේ නැටුම් රුචි වෙන්න පුළුවන්. ඒත් අඩ නිරුවත් කාන්තා නැටුම් ලංකාවේ සංස්කෘතියට සහ සාදාචාරයට ගැළපෙන්නේ නෑ. දේශපාලකයින් කරන කටයුතුවලදී කාන්තාවන්ගේ ගුණාත්මක බව ඉහළ යන, ගුණාත්මක බව ප්‍රදර්ශනය වන, ගුණාත්මක බව අගය කෙරෙන පිළිවෙලකටයි කටයුතු කිරීම වටින්නේ. රට වැසියා කෙරෙහි මාතෘ ප්‍රේමයෙන් බලන කාන්තාවන් සහ පීතෘ ප්‍රේමයෙන් බලන පිරිමින් ගොඩනැගිය හැකි නම් ඒක ඉතාම උසස් ක්‍රියාවක්. කාන්තාවන් පිළිබඳ සැලකීමේ දී රට වැසියා කාන්තාවන් දකින්නේ මවුවරු මෙන් නම් එය කෙතරම් උසස් තත්වයක් ද? ඒත් භාගෙට ඇඳුම් ඇඳගෙන තම ශරීර අංග ලෙලවමින් කාන්තාවන් ඉදිරිපත් කරන නැටුම් අන් අයට ප්‍රදර්ශනය කිරීමෙහි ඇත්තේ කවර දිශානතියක් ද? ඇත්තේ ගුණාත්මක බවේ පිරිහීමේ යොමුවක් මිස අභිවෘද්ධියක් දෙසට යොමුවක් නම් නොවෙයි.
බුද්ධ දේශනාව දෙස බැලීමේදී ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ ගාමණී සංයුත්තයේ එන තාලපුට සූත්‍රයේ අන්තර්ගත කරුණු ගැන අවධානය යොමු කර බැලීම වටිනවා. ඊට අනුව නළුවන් පුද්ගලයින් තුළ රාග, දෝස සහ මෝහ බෙහෙවින්ම වර්ධනය වන අයුරින් කටයුතු කිරීම නිසා ඔවුන්ට මතු උරුම වන්නේ නිරය හෝ තිරිසන් යෝනිය බව දකින්න පුළුවන්.
ඉතින් සමාජයක් වශයෙන් අප කළ යුත්තේ ඉහත කියන ලද නර්තනය ඉදිරිපත් කළ නැඟණියන් සිව් දෙනා නිරයේ වැටීම හෝ තිරිසන් ආත්මවල උපත ලැබීම අගය කරන්න ද?
රටවැසියාට අනුකම්පා කරන දේශපාලකයින් රටවැසියාගේ යහපත පිණිස කටයුතු කරනවා නම් ප්‍රඥාගෝචරව කටයුතු කිරීම වටිනවා.
සබැඳි:
- මෙම ලිපියට මාතෘකා වූ කාන්තාවන්ගේ අඩ නිරුවත් නර්තනය දැක්වෙන වීඩියෝවකට සබැඳිය: "UNP වේදිකාව Smart වෙච්ච හැටි රනිල් ෆුල් හොල්මන්!"