කමල් වික්‍රමනායක ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකාය යන නමේ සංයුත්ත යන වචනයේ අර්ථය නිවැරදිව නොදැකීම

මෙම ලිපිය ලියන මම ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකාය යන නමේ සංයුත්ත යන වචනයේ අර්ථය 'කෙටි සූත්‍ර ඇති බව' යන අර්ථයෙන් වරදවා වටහාගෙන එම වැරදි වැටහීමට අනුව කටයුතු කර තිබෙනවා. ඒ නිසා මෙම ලිපිය ලියන්නේ එහි නිවැරදි කිරීමක් කරන්න.

සූත්‍ර පිටකයේ දීඝ නිකායේ දිගින් වැඩි සූත්‍ර ඇති බවත්, මජ්‌ඣිම නිකායේ මධ්‍යම දිගින් යුත් සූත්‍ර ඇති බවත් සත්‍ය කරුණක්. නමුත් සංයුත්ත නිකායට එම නම ලැබී ඇත්තේ දීඝ නිකායේ සහ මජ්‌ඣිම නිකායේ ඇත්තේ දිගින් වැඩි සහ මධ්‍යම දිගින් යුත් සූත්‍ර නිසාම නොවෙයි. මෙම සංයුත්ත නිකාය යන නම ගැන වැඩි විස්තර කෝදාගොඩ ඤාණාලෝක හිමියන් විසින් ලියා ඇති සංයුත්ත නිකායේ සගාථ වර්ගයේ සංඥාපනයේ දැකිය හැකියී. එහි ලියා ඇති සෑම විස්තරයක්ම මගේ භාෂා අවබෝධයේ අඩුපාඩු නිසා නිවැරදිව වටහා ගැනීමට අපහසුයි. නමුත් එහි ලියවී ඇති  කරුණු මට වැටහෙන පමණ අනුව සැලකීමේදි දීඝාගම, මජ්‌ඣිමාගම සහ අඞ්‌ගුත්‌තරාගම ලෙස වෙන් වෙන් නිකායන්ට අඩංගු වන ලෙස සූත්‍ර බෙදීමේදී එම බෙදීමේ ක්‍රමවේදයට නොගැළපෙන සූත්‍ර  එක්රැස් කොට සංයුත්තගාමයට අඩංගු කළ බවක් කියවෙනවා.

මේ අනුව සංයුත්ත යන වචනය භාවිතා වී ඇත්තේ එක්රැස් කිරීමක් ගැන හැඟවෙන පරිද්දෙන් බවයි දැන් මට වැටහෙන්නේ. සංයුත්ත යන වචනයේ එවන් අර්ථයක් ඇති බව ත්‍රිපිටක ග්‍රන්ථ වල විසයසූචි ආදිය බැලීමෙනුත් වටහාගත හැකියී. උදාහරණයකට සංයුත්ත නිකායේ සගාථ වර්ගයේ විසයසූචියේම දෙවතාසංයුත්තය, දෙවපුත්තසංයුත්තය ආදී ලෙසින් සූත්‍ර බෙදීමක් කර ඇති බව දැකිය හැකියී. එලෙස සංයුත්ත යන නම භාවිතා වන නාමයන් යටතේ සූත්‍ර වෙන් වෙන් ලෙස එක්රැස් කිරීමක් කර ඇති බව මම දැන සිටියත් සංයුත්ත නිකාය යන්නත් එලෙසින්ම දැකිය යුතු බවක් මට හොඳින් වැටහී තිබුනේ නැහැ.

එසේ අනවබෝධයෙන් සංයුත්ත යන වචනය වැරදි අර්ථයෙන් භාවිතා කිරීම සුදුසු නැහැ. මගේ එම වැරදි වැටහීම ගැන දැනට වැටහෙන පමණින් මෙසේ සටහන් තබන්නේ එම වරද වරද ලෙසින් පිළිගෙන මතු සංවරය පිණිස දහම් අනුව කටයුතු කිරීමටයි.