වලස්මුල්ලේ අභය හිමි සිල්වත් භික්ෂූන් මාර්ගඵල, ධ්‍යාන ආදිය ගැන ප්‍රසිද්ධියේ නොකීම අරභයා එවන් සිල්වත් උතුමන් ගැන නොමනා බස් කීම

ඉහත වීඩියෝවේ විනාඩි 25න් පමණ ඉදිරියට වලස්මුල්ලේ අභය හිමි මෙසේ පවසනවා:

මේ ධ්‍යාන, මාර්ගඵල තියෙන ඒවා හංගලා, හොරකං, හොරකමට නිකං හංගන් ඉන්න එකක් නෙවෙයි. දැන් මෙච්චර කාලයක් මේවා කිව්වෙ නෑ, ඇයි? කාටවත් නැති නිසා. කාටවත් නැති නිසා කට්ටියම තියෙනවා කියලා හිතාගෙන එකාට එකා හොරෙන් හිටියා අර අන්ධයෝ රෑන ඉතිරි අන්ධයොගෙ පස්සෙ යන්නා වගේ. ...

අභය හිමිගේ එම ප්‍රකාශය බුදු සසුනේ සීල සාරයේ පිහිටි භික්ෂූන් වහන්සේලාගේ ස්වරූපයට ගැළපෙන්නේ නැහැ. එවන් අය ධ්‍යාන, මාර්ගඵල ආදිය ගැන ගිහියන් ඇතුළු අනුපසම්පන්නයින්ට නොකියනවා නම් එසේ නොකියන්නේ එවන් අයට එම ගුණාංග නැති නිසා හෝ හොරකමට යැයි යන අර්ථයන්ගෙන් ගැනීම සුදුසු නැහැ. ඇති ධ්‍යානයන්, මාර්ගඵල ආදිය ගැන අනුපසම්පන්නයින්ට කීම විනය ශික්ෂාවට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා බුදු සසුනේ පැවිදි වූ සිල්වත් භික්ෂූන් වහන්සේලා සැබෑවටම ඔවැනි දේ තමා කෙරෙහි ඇතැයි දැනගත්තත් ඔවැනි දේ අනුපසම්පන්නයින්ට කියන්නේ නැහැ.

භික්ෂූන් වහන්සේලා ඔවැනි කරුණු අනුපසම්පන්නයින්ට කියනවා නම් එය මහණකමට ගැළපෙන ක්‍රියාවක් නොවෙයි. බුදුරජානන් වහන්සේ ඊට අදාළව පනවන ලද ශික්ෂාපදයට කියන්නේ "භූතාරොචනශික්ෂාපදය" කියලා. භූතාරොචනශික්ෂාපදය ගැන වැඩි විස්තර ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තිය පාළියේ සඳහන්.

පාලියෙන් එය මෙසේ සඳහන්:

"යො පන භික්ඛු අනුපසම්පන්නස්ස උත්තරිමනුස්සධම්මං ආරොවෙය්‍ය භූතස්මිං පාචිත්තිය"න්ති.

එහි සිංහල පරිවර්තනය මෙසේ සඳහන්:

"යම් මහණෙක් අනුපසප්නක්හට උතුරුමිනිස්ධම ඇරොජන්නේ නම් විද්‍යමානයෙහි පචිති වේ" යයි.

විනය පිටකයේ භූතාරොචනශික්ෂාපදය ගැන විස්තරයේ "උත්තරීමනුස්සධම්ම" ලෙස සැලකෙන්නේ කවර කරුණුද යන්න සඳහන්. ඊට අනුව භික්ෂූන් වහන්සේලාට තමන්ගේ ඇති මාර්ගඵල, ඥානදර්ශන, ධ්‍යාන ගැන පමණක් නොවෙයි, අඩු තරමින් තමන් ශූන්‍යාගාරයෙහි ඇලෙනවා යැයි වත් අනුපසම්පන්නයින්ට කියන්න විනයෙන් ඉඩක් නැහැ.

වලස්මුල්ලේ අභය හිමි භූතාරොචනශික්ෂාපදය ගැන නොදැන ඉහත පරිදි පවසන්න ඇති. ඉහත වීඩියෝවේදී අභය හිමියන් නොපැහැදුණු අයගේ පැහැදීම පිණිසත්, පැහැදුණු අයගේ පැහැදීම වැඩි කිරීමටත් බුදුරජානන් වහන්සේ විනය පැනවීම කර ඇති බවට සඳහන් කොට ඒ විනය පැනවීමටම අඩංගු භූතාරොචනශික්ෂාපදයට ප්‍රතිවිරුද්ධ ලෙස කටයුතු කිරීමට අන් අයව යොමු කරන අයුරු දැකිය හැකියි. විනය පිටකයේ සඳහන්ව ඇති පරිදි භූතාරොචනශික්ෂාපදය පැනවීමේදීත් භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට පැවසීම ගැන බුදුරජානන් වහන්සේ මෙසේ පවසා තිබෙනවා:

මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ප්‍රසන්නයන්ගේ අතිරෙක ප්‍රසාදයට හෝ නො වෙයි. මෙය වැලිත් අප්‍රසන්නයන්ගේ අප්‍රසාදයටත් ප්‍රසන්නයන් අතුරෙහිදු ඇතැමුන්ගේ වෙනස් බවටත් වැටෙයි.

වැරදි වැටහීම නිසාදෝ වලස්මුල්ලේ අභය හිමි ඉහත වීඩියෝවේ විනාඩි 1, තත්පර 47 න් පමණ ඉදිරියට මෙසේ පවසනවා දැකිය හැකියි:

එතකොට තමන්ට මේ දැනෙන දෙවල්, තමන්ගේ තියෙන අත්දැකීම් අනුන්ට දැනගන්න තියෙන එකම ක්‍රමය තමයි අපි කියන්න වෙනවා ඉතින්. අපි කියන්නැතුව දැනගන්න ක්‍රමයක් නැහැ.

බුදුරජානන් වහන්සේ භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට නොකිව යුතු යැයි විනය පනවලා තිබියදී එසේ ශික්ෂාව පැනවීමට හේතු අභය හිමියන් විසින් ශික්ෂාපදය නොදක්නා ලද බව හෝ හරි හැටි නොවටහා ගැනීම ඉහත පරිදි පවසන්නට හේතු වන්නට ඇති.

බුදුරජානන් වහන්සේ විනය ශික්ෂාපද පනවා ඇත්තේ එක් එක් ශික්ෂාපදය පැනවීමට සුදුසු කාලය පැමිණි විට. භූතාරොචනශික්ෂාපදය පැනවීමට පෙර නම් භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට පැවසීම අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිසත්, ප්‍රසන්නයන්ගේ අතිරෙක ප්‍රසාදය පිණිසත් හේතු වූ අවස්ථාවන් තිබෙන්නට ඇති. නමුත් සුදුසු කාලයේදී බුදුරජානන් වහන්සේ විසින් භූතාරොචනශික්ෂාපදය පැනවීමෙන් පසුව එය එසේ වන්නේ නැහැ. ඒ නිසා මෙකල භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට පැවසීම අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිසත්, ප්‍රසන්නයන්ගේ අතිරෙක ප්‍රසාදය පිණිසත් හේතු වේ යැයි කීම නිවැරදි කීමක් නොවෙයි. මෙකල භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට පැවසීම අප්‍රසන්නයන්ගේ අප්‍රසාදයටත්, ප්‍රසන්නයන් අතුරෙහිදු ඇතැමුන්ගේ වෙනස් බවටත් හේතු වෙනවා.

බුදුරජානන් වහන්සේගේ විනය පැනවීම නොසලකා හරිනවා නම් එවන් භික්ෂූන්, භික්ෂුණීන් වහන්සේලාගේ එම ක්‍රියාවන් සිල්වත් ක්‍රියාවන්, යහපත් ක්‍රියාවන් ලෙස දැකීම නුසුදුසුයි. මහණ වූ අය ඔවැනි ක්‍රියාවන්ට යොමු කිරීම බුදු සසුනේ චිරස්තිථියටත් බාධා ඇති කරනවා. එසේ වරදවා ගතහොත් බුදු සසුනේ මහණ දම් පුරණ හිස් පැවිද්දන් නම් බොහෝ වේවි, සැබැවින්ම සීල ගුණයෙන් යුතු පැවිදි පිරිස හිස් පිරිසකැයි වැරදි මතයකුත් සමාජයේ ඇති වේවි. එසේ වූවාම ගුණවත් පිරිසට තමන්ගේ ගුණවත් බව රැකගෙන ධර්ම ප්‍රතිපදාවේ යෙදීම දුෂ්කර වෙනවා. ඊට අමතරව වලස්මුල්ලේ අභය හිමිගේ එම අධාර්මික, අවිනය මතය ධර්මයට සහ විනයට අනුකූල යැයි වරදවා පිළිගන්නා පිරිස සිල්වත් භික්ෂූන්ට අභූතයෙන් චෝදනා කර බොහෝ පව් පුරවා ගැනීමකුත් කරන්න පුළුවන්. අධාර්මික, අවිනය මතයන් ධර්මයට සහ විනයට අනුකූල යැයි වරදවා දකින පිරිසගේ ධර්ම අවබෝධය කිරීමේ හැකියාව ඒ වැරදි දැකීම හේතුවෙන්ම දුර්වලයි.

පහත දැක්වෙන්නේ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වන, ප්‍රසන්නයන්ගේ අතිරෙක ප්‍රසාදයට හෝ නො වන, එනමුත් අප්‍රසන්නයන්ගේ අප්‍රසාදයටත් ප්‍රසන්නයන් අතුරෙහිදු ඇතැමුන්ගේ වෙනස් බවටත් වැටෙන, මෙම ලිපියේ කියැවෙන කරුණටම අදාළ "නිවනේ අත්දැකීම් ලද මෙහෙනින් වහන්සේ" යන මාතෘකා ඇති වීඩියෝවක්:

සබැඳිය: