පිටිදූවේ සිරිධම්ම හිමි "හොඳ brain capacity එකක් තියේ නං මනුස්සයෙකුට, ඒ මනුස්සයාට සල්ලි හොයන එක ප්‍රශ්නයක් නෙමෙයි" යැයි පැවසීම

ඉහත වීඩියෝවේ තත්පර තිස් පහෙන් පමණ ඉදිරියට ආසන්නයේ පිටිදූවේ සිරිධම්ම හිමියන් එහිමියන්ට මුදල් ලැබෙන ආකාරය ගැන විස්තර කිරීමේදී මෙසේ පවසනවා දැකිය හැකියී:

"... හොඳ brain capacity එකක් තියේ නං මනුස්සයෙකුට, ඒ මනුස්සයාට සල්ලි හොයන එක ප්‍රශ්නයක් නෙමෙයි."

එහිමියන්ට මුදල් ලැබෙන ආකාරය ගැන කීමේදී පිටිදූවේ සිරිධම්ම හිමියන් එසේ පවසන ලද්දේ එහිමියන් ගැනමද, නැත්නම් වෙනත් අයෙකු ගැනදැයි එම වීඩියෝවට අනුව නිවැරදිවම කියන්න බැහැ.

භික්ෂූන් වහන්සේ නමක් මුදල් සෙවීම යනු ශ්‍රමණ ධර්මයට නොගැළපෙන අනාර්ය වූ ක්‍රියාවක්. රන් රිදී සෙවීම යනු ජාතිධර්මයක් සෙවීමක්, ජරාධර්මයක් සෙවීමක් සහ කෙලෙසන ස්වභාව ඇත්තක් සෙවීමක් බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මූල පණ්ණාසකයේ ඕපම්ම වග්ගයේ අරියපරියෙසන සූත්‍රයේ පහත පරිදි විස්තර වෙනවා:

7. මහණෙනි, ආර්යපර්යේෂණය ය, අනාර්යපර්යේෂණයයි මේ සෙවීම් දෙකකි.

මහණෙනි, අනාර්යපර්යේෂණය කුමක් ද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුඟුලෙක් තෙමේ ජාතිය ස්වභාව කොට ඇත්තේ ජාතිධර්මයක් (ජාතිය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තේ ජරා ධර්මයක් (ජරාව ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ ව්‍යාධිධර්මයක් (ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ මරණය ස්වභාව කොට ඇත්තේ මරණ ධර්මයක් (මරණය ස්වභාවකොට ඇත්තක්) ම සොයයි. තෙමේ ශෝකය ස්වභාවකොට ඇත්තේ ශෝක ධර්මයක් (ශෝකය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ කෙලෙසන ස්වභාව ඇත්තේ කෙලෙසන ස්වභාව ඇත්තක් ම සොයයි.

8. මහණෙනි, කුමක් ජාතිධර්ම යයි කියන්නේ ද? පුත්‍රදාරාවෝ ජාතිධර්මයෝයි. දැසි දස්හු ජාතිධර්මයෝයි. එළුබැටළුවෝ ජාතිධර්මයෝයි. කුකුළන් හා ඌරෝ ජාතිධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ජාතිධර්මයෝ ය. රන් රිදී ජාතිධර්මය. මහණෙනි, මේ පඤ්චකාමගුණ උපධීහු ජාතිධර්මයෝ ය. මෙහි තෘෂ්ණාවෙන් බැඳුණා වූ මුසපත් වූ බැසගත්තා වූ මේ ලෝ වැසි තෙමේ ජාතිය ස්වභාව කොට ඇත්තේ ජාතිධර්මයක් ම සොයයි.

9. මහණෙනි, කුමක් ජරාධර්මයයි කියන්නේ ද? පුත්‍රභාර්යාවෝ ජරාධර්මයෝ ය. දැසිදස්හු ජරාධර්මයෝ ය එළු බැටළුවෝ ජරාධර්මයෝ ය. කුකුළන් හා ඌරෝ ජරාධර්මයෝය. ඇත් ගව අස් වෙළඹහු ජරාධර්මයෝය. රන්රිදී ජරාධර්මය. මහණෙනි, මේ පඤ්චකාමගුණ ජරාධර්ම වෙති. මේ ලෝවැසි, තෙමේ මෙහි ගැට ගැසුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තේ ජරාධර්මයක් ම සොයයි.

10. මහණෙනි, කුමක් ව්‍යාධිධර්මයයි කියන්නේ ද? පුත්‍ර භාර්යාවෝ ව්‍යාධිධර්මයෝ ය. දැසිදස්හු ව්‍යාධිධර්මයෝ ය. එළු බැටළුවෝ ව්‍යාධිධර්මයෝය. කුකුළන් හා ඌරෝ ව්‍යාධිධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ව්‍යාධිධර්මයෝ ය. මහණෙනි, මේ පඤ්චකාමගුණ උපධීහු ව්‍යාධිධර්මයෝ ය. මේ ලෝවැසි තෙම මෙහි ගැටගැසුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ ව්‍යාධිධර්මයක් ම සොයයි.

11. මහණෙනි, කුමක් මරණධර්මයයි කියන්නේද? මහණෙනි, පුත්‍ර භාර්යාවෝ මරණධර්මයෝ ය. දැසිදස්හු මරණධර්මයෝ ය. එළුබැටළුවෝ මරණධර්මයෝ ය. කුකුළන් හා ඌරෝ මරණධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු මරණධර්මයෝ ය. මහණෙනි, මේ උපධීහු මරණධර්මයෝ ය. මේ ලෝ වැසි තෙමේ මෙහි ගෙතුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ මරණය ස්වභාව කොට ඇත්තේ මරණධර්මයක් ම සොයයි.

12. මහණෙනි, කුමක් ශොකධර්මයයි කියන්නේද? මහණෙනි, පුත්‍ර භාර්යාවෝ ශොකධර්මයෝ ය. දැසිදස්හු ශොකධර්මයෝ ය. එළුබැටළුවෝ ශොකධර්මයෝ ය. කුකුළන් හා ඌරෝ ශොකධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ශොකධර්මයෝ ය. මහණෙනි, මේ උපධීහුය. මේ ලෝවැසි තෙමේ මෙහි වෙළුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ශොකය ස්වභාව කොට ඇත්තේ ශොකධර්මයක් ම සොයයි.

13. මහණෙනි, කුමක් සංක්ලේශධර්මයයි කියන්නේද? අඹුදරුවෝ සංක්ලේශධර්මයෝ ය. දැසිදස්හු සංක්ලේශධර්මයෝ ය. එළුබැටළුවෝ සංක්ලේශධර්මයෝ ය. කුකුළන් හා ඌරෝ සංක්ලේශධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු සංක්ලේශධර්මයෝ ය. රන්රිදී සංක්ලේශධර්මයෝ ය. මහණෙනි, මේ උපධීහු සංක්ලේශධර්ම වෙත්. මේ ලෝවැසි තෙම මෙහි ගෙතුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ සංක්ලේශධර්ම වූයේ සංක්ලේශධර්මයක් ම සොයයි. මහණෙනි, මේ අනාර්යපර්යේෂණයි.

යම් පුද්ගලයෙක් සියළු දුක් වල නිමාව අපේක්ෂාවෙන් සම්මා සම්බුද්ධ සාසනයේ පැවිදිව ජාති ධර්ම සොයනවා නම්, ජරා ධර්ම සොයනවා නම්, ව්‍යාධි ධර්ම සොයනවා නම්, මරණ ධර්ම සොයනවා නම්, ශෝක ධර්ම සොයනවා නම්, තමන්ව කෙලෙසන ස්වභාව ඇති ධර්ම සොයනවා නම් එම පුද්ගලයා පැවිදි බව කුමක් පිණිස දැයි නොවටහා ගත් අයෙක්.

භික්ෂූන් වහන්සේලාට මුදල් අකැපයි. ඒ ගැන විස්තර "රාජගිරියේ අරියඥාණ හිමි සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට මුදල් දිය යුතු අයුරක් පැවසීම" යන ලිපියේද සඳහන්ව තිබෙනවා.

යම් භික්ෂූවක් මුදල් සොයනවා නම් එම භික්ෂූව ප්‍රඥාවන්තයෙක් යැයි කීම ගැළපෙන්නේ නැහැ.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාල වග්ගයේ තතිය සූත්‍රයේ මෙසේ සඳහන්:

50. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් නො කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.

මුදල් සොයන භික්ෂූන් බාලයින්.