- ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී පුද්ගල ලක්ෂණ වැරදවීම

විනාඩි 22, තත්පර 53න් පමණ පසු:

එතකොට මේ ශ්‍රද්ධානුසාරී කියලා කියන්නෙ කොයි වගේ කෙනෙක්ද? එයා තුළ ශ්‍රද්ධාව තියෙනවා. එයා බුදුරජානන් වහන්සේට මල් පහන් පූජා කරනවා. බුද්ධ වන්දනාව කරනවා. පෝයට සිල් සමාදන් වෙනවා. මහා සංඝ රත්නය අරමුණු කරගෙන දන් පැන් දෙනවා. මේ සෑම දෙයක්ම සිද්ධ කරලා එයා ප්‍රාර්ථනා කරන්නේ මම ඊලඟ ජීවිතයේ සශ්‍රීක දෙවියක් වේවා කියලා එයා ප්‍රාර්ථනා කරනවා. මම ඊලඟ ජීවිතයේ සශ්‍රීක බ්‍රහ්මයෙක් වේවා කියලා එයා ප්‍රාර්ථනා කරනවා. මම ඊලඟ ජීවිතයේ සශ්‍රීක මනුස්සයෙක් වේවා කියලා එයා ප්‍රාර්ථනා කරනවා. එයා පිංකම් කරමින් නිරතුරුව ප්‍රාර්ථනා කරන්නේ අනිත්‍ය වූ සංස්කාරයක් පිංවතුනි. ඇයි ඒ අනිත්‍ය වූ සංස්කාරයක් ප්‍රාර්ථනා කරන්නේ? තාම ඊට අදාළ ප්‍රඥාව කියන ඉන්ද්‍රීය එයා තුළ සකස් වෙලා නෑ පිංවතුනි. එතකොට මේ ප්‍රඥාව කියන ඉන්ද්‍රීය සකස් නොවුනේ ඇයි? සති ඉන්ද්‍රීයේ දුර්වල භාවය නිසාම විදර්ශනා නුවණට අදාළ ප්‍රඥාව දුර්වලයි පිංවතුනි. ඒ නිසා එයා දන් දෙමින් සිල් රකිමින් පිංකම් කරමින් නිරතුරුව ප්‍රාර්ථනා කරන්නේ භවයේ සුගතිගාමී උපතක් පින්වතුනි. අන්න එයාට ශ්‍රද්ධානුසාරී කියලා බුදුරජානන් වහන්සේ දේශනා කරනවා.

විනාඩි 24, තත්පර 09න් පමණ පසු:

ධම්මානුසාරී කියලා බුදුරජානන් වහන්සේ දේශනා කරන්නේ එයා හොදට ධර්මය දන්නවා පිංවතුනි. එයා ධර්මය කතා කරනවා, ධර්මය සාකච්ඡා කරනවා, ධර්මය දේශනා කරනවා, ධර්මය ලියනවා. මේ සෑම දෙයක් කරමින් එයා ප්‍රාර්ථනා කරන්නේ මෛත්‍රී බුදුරජානන් වහන්සේ දැකලා නිවන් දකිනවා කියලා පිංවතුනි. එයා ප්‍රාර්ථනා කරන්නේ ඊලඟ ජීවිතයේ මම දෙවියෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා කියලා. එයා සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය දකින්නේ නෑ පිංවතුනි. දිව්‍ය, බ්‍රහ්ම ජීවිතවල අනිත්‍ය භාවය එයා දකින්නේ නැහැ. මං සංසාරයේ සක්‍රයා වෙලා හිටියා ඒ සක්‍ර ජීවිතය අනිත්‍ය උනා කියලා එයා දකින්නේ නැහැ. මං අතීතයේ මහා බ්‍රහ්මයා වෙලා හිටියා ඒ බ්‍රහ්ම ජීවිතය අනිත්‍ය උනා කියලා එයා දකින්න දක්ෂ නැහැ. ඒ නිසාම එයා අනිත්‍ය වෙන්නා වූ සංස්කාරයන් බලාපොරොත්තුවෙන් ධර්මය තුළ හැසිරෙනවා පිංවතුනි. අන්න එයා ධම්මානුසාරී කියලා බුදුරජානන් වහන්සේ දේශනා කරනවා.

ධර්මය සහ විනය පිළිබඳව යම් පමණක අවබෝධයක් ඇති සමහරෙකුට විස්තර නොමැතිවම ඉහත කරුණු වල වැරැද්ද වටහා ගත හැක. නමුත් යම් අයෙකුට ඉහත කියවෙන අධාර්මික සහ අවිනය කරුණු අධාර්මික සහ අවිනය ලෙසම වටහා ගැනීම පිණිස වැඩි විස්තර අවශ්‍ය නම් ඒ ගැන දන්වන්න.