රාජගිරියේ අරියඥාණ හිමි බුදුරජානන් වහන්සේ සියදිවි හානි කර ගත් බවක් හැඟවෙන පරිදි දහම් දෙසීම සහ ගිහි පැවිදි බොහෝ පිරිසක් එහිමියන්ට දැඩිව දොස් කීම

ඉහත වීඩියෝවේ දැක්වෙන රාජගිරියේ අරියඥාණ හිමිගේ බෙහෙවින්ම දොස් සහිත දහම් දේශනාවේ කියැවෙන කරුණු කිහිපයක් අරභයා ගිහි පැවිදි බොහෝ පිරිසක් දින කිහිපයක සිට එහිමියන්ට දැඩිව දොස් කියන බව දක්නට ලැබුනා. එහිමියන්ට දොස් කීමේදී "පිස්සා, නිගණ්ඨයා, හිස් පුරුෂයා, සාසනය තුල ඉදන්ම සාසනය වනසන කඳපනුවා" ආදී දැඩි වචන බොහෝ දෙනෙකු විසින් භාවිතා කරනු ලැබ ඇති බවද දක්නට ලැබුණා. එසේ දොස් පැවරීම පිළිබඳව බුදු සසුනේ අභිවෘද්ධිය පිණිසත්, දොස් කියන පිරිසගේ සහ රාජගිරියේ අරියඥාණ හිමිගේ යහපත පිණිසත් කරුණු කිහිපයක් දැක්වීම සුදුසු යැයි සිතූ බැවින් එම කරුණු මෙම ලිපියේ දක්වා තිබෙනවා. ඒ ගැන කරුණාවෙන් අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිනවා.

අදාළ කරුණු අරභයා අරියඥාණ හිමිට දොස් කීමේදී සමහර අය දැඩි වචන භාවිතා කර ඇති බවේ දෝෂයක් මම දකින්නේ නැහැ. නිසි කාලයේදී නුගුණ කිව යුත්තෙකුගේ විද්‍යමාන වන නුගුණ කීම යහපත් ක්‍රියාවක්. එසේ කිරීමේදීත් සුළු කරුණකට දැඩිව දොස් කීමත්, මහත් වූ කරුණකට සුළුවෙන් දොස් කීමත් ගැළපෙන්නේ නැහැ. එහිදී සුදුසු වන්නේ කරුණු කාරණා විමසා බලා ගැටලුවට විසදුමක් ලැබෙන්න ප්‍රමාණවත් වන අඩුම ප්‍රමාණයෙන් දොස් කීම. මේ ලිපිය ලියන මමත් දින කිහිපයකට පෙර රාජගිරියේ අරියඥාණ හිමි ගැන මෙබඳු ලිවීමක් කලා:

රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි

රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි. කෙලෙසින් බාලයෙකු වේ ද යත්, නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවිනි. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්‍රයේ[1] මෙනි. කවර නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවින් ද යත්, භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවිනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම නො කැප ද යත්, ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදයේ[2] පරිද්දෙනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවින් ද යත්, සිරස FM රේඩියෝවේ 2014.10.19 දින විකාශය වූ පන්සිල් මළුව 9 වන කොටසේ දී මුදල් දැමූ ලියුම් කවර සංඝයාට බෙදා දිය යුතු අයුරක් පවසන ලද පරිද්දෙනි. මෙපරිද්දෙන් රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි.

1. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්‍රය"
2. "ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදය"

ඉහත දක්වන ලද වීඩීයෝවේ කියැවෙන කරුණු අරභයා අරියඥාණ හිමිට දොස් කියන සමහර අය "මීට වඩා හොඳයි අපවත් උනා නම්", "ඔබවහන්සේ අද හෙට ම අපවත් වුණොත් හොඳයි" ආදී දෑත් පවසා ඇති බව දක්නට ලැබුණා. එබඳු කීම් නම් නුසුදුසු, නො කළ යුතු සහ කියන අයගේ විනාශයටද හේතු වන කීම්. එබඳු කථා අන් අයට පවසන්න එපා. එපමණක් නොව එබඳු විදිහට හිතන්නත් එපා. ඒ ආකාරයෙන් හිතීමත් දැඩි දුක් ඇති කිරීමටත්, නිරයට යෑමටත් හේතුවක්.

අරියඥාණ හිමි පවසා ඇති කරුණු නිසා සමහර අයට ආවේගශීලී බවක් ඇති විය හැකි බව ඇත්තයි. යම් පුද්ගලයෙකු අරභයා සිතීමේදී "මේ පුද්ගලයා නොහිටියා නම් මෙසේ වන්නේ නැහැ, ඒ නිසා නොහිටියා නම් හොඳයි, මැරිලා ගියා නම් මහත් යහපතක්" ආදී සිතීම් වල තාර්කික බවක් ඇතැයි යම් අයෙක් දකින්න පුළුවන්. එබඳු තර්ක මාත්‍රයකට සීමා වූ සිතීමක වරදක් මම දකින්නේ නැහැ. එසේ උවත් පුද්ගලයින් අරභයා සැබෑවටම එසේ වේවා යැයි සිතීමක්, ඊට කැමැත්තක්, ඊට උවමනාවක් ඇති උවොත් අන් පුද්ගලියන්ට අවැඩක් වේවා යැයි ඇතිවන ඒ සිතීම් මෛත්‍රී සහගත සිතීම් නොවේ. එබඳු සිතීම් පවා එසේ සිතන අයගේ බෙහෙවින් දුක් පිණිස පවතිනවා. මේ පවසා ඇති දේ සුළු කොට තකන්න එපා. "මේ හාමුදුරුවෝ නැත්නම් හොඳියි", "මීට වඩා හොඳයි අපවත් උනා නම්", "ඔබවහන්සේ අද හෙට ම අපවත් වුණොත් හොඳයි" ආදී ලෙස හිතන්නවත් යන්න එපා. පෙර එබඳු දේ සිතුවා නම්, පැවසුවා නම් ඊට ප්‍රතිවිරුධ ලෙස සිතන්න, පැවසූ දේ ඉවත් කරන්න කටයුතු කරන්න.

මෙවන් විටෙකදී "මේ භික්ෂූන් වහන්සේත් මම වගේම අසරණ පුද්ගලයෙක්. සද්ධර්මය විකෘති කිරීම එසේ කරන්නාගේ දැඩි දුක් වේදනාවන්ට හේතු වෙනවා. දුක් වේදනා විඳීම මට ද බෙහෙවින් දුෂ්කරයි, පීඩාකාරියි. එබඳු දුක් පීඩාවන් මම තවත් කෙනෙකුට ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එබඳු දුක් පීඩාවන් මේ භික්ෂූන් වහන්සේට ද ඇති නොවේවා!" යැයි සිතීම උතුම්.

දොස් කීමේදී සීමාව ඉක්මවා දොස් කීමත් ගැළපෙන්නේ නැහැ. තම දරුවෙකුගේ යහපත පිණිස එම දරුවාට දොස් කියන මවක් හෝ පියෙක් කරන ආකාරයට දොස් කීම යහපත්. දරුවාට ඉවසන්න බැරි ප්‍රමාණයෙන් දොස් කීම දරුවාට කරන අහේනියක්. එහෙත් සමහරක් විට එක් වරක් දොස් කියලා මදි වෙන්න පුළුවන්. එවිට සුදුසු බව බලා කිහිප වරක් දොස් කියන්න උවමනා වෙන්න පුළුවන්. එසේ නොකිරීමත් දරුවාට කරන අහේනියක්.

නිසි කාලයේදී නුගුණ කිව යුත්තෙකුගේ විද්‍යමාන වන නුගුණ කීම යහපත් ක්‍රියාවක්. එසේ කිරීමේදී මෛත්‍රී සහගත සිතින්, යහපත පිණිස සහ ගැටලුවට විසදුමක් ලැබෙන්න ප්‍රමාණවත් වන අඩුම ප්‍රමාණයෙන් දොස් කීමයි සුදුසු. ඒ ආකාරයට සිතා ගැටලුවට විසදුමක් ලැබෙන තුරු අවශ්‍ය නම් නැවත නැවත හෝ දොස් කීම සුදුසුයි.

අධර්මය අවිනය සමාජයේ බොහෝ පැතිර තිබෙනවා. ඒ නිසා බුදු සසුන රැක ගැනීම පිණිස යම් යම් අයගේ නුගුණ කීමේ ප්‍රයෝජනයක් තිබෙනවා. එසේ නුගුණ කියන බව ප්‍රසිද්ධ කිරීමේද ප්‍රයෝජනයක් තිබෙනවා. ධර්මය ගුරු කොට, ධර්මයට ගෞරව කොට, ධර්මයට යටහත් පහත්ව දොසුත් කියන්න, අන් අවශ්‍ය කාරණාවන්ටත් යොමු වන්න, ගැටලුව විසඳා ගැනීමට සක්‍රීයව ක්‍රියා කරන්න.

රාජගිරියේ අරියඥාණ හිමිටත්, අන් අයටත් නිදුක් සුව වේවා!

අතිරේක කියවීම්:

  1. රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා බුදුරජානන් වහන්සේ සියදිවි නසාගත්තා යැයි පැවසීම පිළිබඳ තපෝවනයේ රතන හිමිගේ අදහස්
  2. බුදු සසුන රැකගැනීම පිළිබඳව මාන්කඩවල සුදස්සන හිමිගෙන් ගිහි පැවිදි හැමෝටම පණිවිඩයක්
  3. අන් අයගේ ගුණ දොස් කීම පුණ්‍ය ක්‍රියාවක්ද, පාප ක්‍රියාවක්ද, නොකියා සිටීම උතුම්ද?
  4. රාජගිරියේ අරියඥාණ හිමිගෙන් බුදු සසුන අතුරුදහන් කිරීමට උපදෙසක්: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාළ නැත