නිවන යනු කුමක්ද?

Submitted by Kamal Wickramanayake on

නිවන සුවයි, නිවන සුවයි යැයි කීවාට බුදුරජානන් වහන්සේ දේශනා කරපු නිවන යනු කුමක් දැයි යන ගැටලුව බොහෝ දෙනෙකුට තිබෙනවා. යම් පුද්ගලයෙක් නිවන සාක්ෂාත් කරනවා කියන්නේ ඒ පුද්ගලයා පෙර නොපසක් කරන ලද නිවන නම් දෙයක් සාක්ෂාත් කිරීමට. මෙසේ ඇති විට යම් අයෙක් නිවන සාක්ෂාත් කිරීමට පෙර නොපසක් කරන ලද නිවන යනු කුමක්දැයි පූර්ව අදහසක් ඇති කරගන්නේ කෙසේද?

නොපසක් කරන ලද නිවන යනු කුමක්දැයි පූර්ව අදහසක් ඇති කර ගැනීම පිණිස උපමාවක් සලකා බලමු. නුවනැත්තන්ට උපමාවෙනුත් අර්ථය වටහා ගන්න හැකියි.

යම් පුද්ගලයෙක් රෝග අටකින් පෙළෙනවා යැයි හිතමු. එම පුද්ගලයාගේ ශරීරයේ තුවාල හැදිලා එයින් උපන් දුක් පීඩාවන්ගෙන් එම පුද්ගලයා පෙළෙනවා. එම පුද්ගලයාගේ අත් පා හන්දි ඉදිමිලා එයින් උපන් දුක් පීඩාවන්ගෙන් එම පුද්ගලයා පෙළෙනවා. එම පුද්ගලයාගේ හමේ කුෂ්ට රෝගයක් පැතිරිලා එයින් උපන් කැසිල්ල නිසා එම පුද්ගලයා දුක් පීඩාවන්ගෙන් පෙළෙනවා. එම පුද්ගලයාට බඩේ අමාරුවක් හැදිලා එයින් උපන් දුක් පීඩාවන්ගෙන් එම පුද්ගලයා පෙළෙනවා. එම පුද්ගලයාට කැස්ස හැදිලා එයින් උපන් දුක් පීඩාවන්ගෙන් එම පුද්ගලයා පෙළෙනවා. එම පුද්ගලයාට උණ ගැනිලා එයින් උපන් දුක් පීඩාවන්ගෙන් එම පුද්ගලයා පෙළෙනවා. එම පුද්ගලයාට භෙම්බිරිස්සාව හැදිලා එයින් උපන් දුක් පීඩාවන්ගෙන් එම පුද්ගලයා පෙළෙනවා. එම පුද්ගලයාට හිසරදය හැදිලා එයින් උපන් දුක් පීඩාවන්ගෙන් එම පුද්ගලයා පෙළෙනවා. එම රෝග අටෙන් පෙළෙන පුද්ගලයා එම රෝග අට නිසා උපන් නොයෙක් ආකාරයේ දුක් පීඩාවන්ගෙන් දැඩිව පෙළෙනවා.

යම් කලෙක එම පුද්ගලයාගේ තුවාල සනීප උනොත් එය එම පුද්ගලයාට යම් පමණක සුව බවක් ඇති කරනවා. තුවාල නැතිව ඉන්නා ඔහුට තුවාල ඇති බව රෝගයක්, ආබාධයක්, අපහසුවක්, පීඩාවක්, දුකක්.

යම් කලෙක එම පුද්ගලයාගේ අත් පා ඉදිමීමත් සනීප උනොත් එය එම පුද්ගලයාට තවත් සුව බවක් ඇති කරනවා. අත් පා ඉදිමීම නැතිව ඉන්නා ඔහුට අත් පා ඉදිමීම ඇති බව රෝගයක්, ආබාධයක්, අපහසුවක්, පීඩාවක්, දුකක්.

යම් කලෙක එම පුද්ගලයාගේ හමේ කුෂ්ට රෝගයත් සනීප උනොත් එය එම පුද්ගලයාට තවත් සුව බවක් ඇති කරනවා. හමේ කුෂ්ට රෝගය නැතිව ඉන්නා ඔහුට හමේ කුෂ්ට රෝගය ඇති බව රෝගයක්, ආබාධයක්, අපහසුවක්, පීඩාවක්, දුකක්.

යම් කලෙක එම පුද්ගලයාගේ බඩේ අමාරුවත් සනීප උනොත් එය එම පුද්ගලයාට තවත් සුව බවක් ඇති කරනවා. බඩේ අමාරුව නැතිව ඉන්නා ඔහුට බඩේ අමාරුව ඇති බව රෝගයක්, ආබාධයක්, අපහසුවක්, පීඩාවක්, දුකක්.

යම් කලෙක එම පුද්ගලයාගේ කැස්සත් සනීප උනොත් එය එම පුද්ගලයාට තවත් සුව බවක් ඇති කරනවා. කැස්ස නැතිව ඉන්නා ඔහුට කැස්ස ඇති බව රෝගයක්, ආබාධයක්, අපහසුවක්, පීඩාවක්, දුකක්.

යම් කලෙක එම පුද්ගලයාගේ උණ රෝගයත් සනීප උනොත් එය එම පුද්ගලයාට තවත් සුව බවක් ඇති කරනවා. උණ නැතිව ඉන්නා ඔහුට උණ ඇති බව රෝගයක්, ආබාධයක්, අපහසුවක්, පීඩාවක්, දුකක්.

යම් කලෙක එම පුද්ගලයාගේ භෙම්බිරිස්සාවත් සනීප උනොත් එය එම පුද්ගලයාට තවත් සුව බවක් ඇති කරනවා. භෙම්බිරිස්සාව නැතිව ඉන්නා ඔහුට භෙම්බිරිස්සාව ඇති බව රෝගයක්, ආබාධයක්, අපහසුවක්, පීඩාවක්, දුකක්.

යම් කලෙක එම පුද්ගලයාගේ හිසරදයත් සනීප උනොත් එය එම පුද්ගලයාට තවත් සුව බවක් ඇති කරනවා. හිසරදය නැතිව ඉන්නා ඔහුට හිසරදය ඇති බව රෝගයක්, ආබාධයක්, අපහසුවක්, පීඩාවක්, දුකක්.

එම ආකාරයෙන් තමන්ව පීඩාවට පත් කරන රෝග අටෙන් මිදිම එම පුද්ගලයාට සුව බවක් ඇති කරනවා. නිරෝගී ඔහුට සුළු හෝ රෝගී බවක් ඇති උනොත් ඒ බව දැනීම ආබාධයක්, අපහසුවක්, පීඩාවක්, දුකක්.

නොපසක් කරන ලද නිවන යනු කුමක්දැයි පූර්ව අදහසක් ඇති කර ගැනීම පිණිස ඉහත පරිදි රෝග අටෙන් මිදුනු පුද්ගලයා ලබන සුව භාවය උපමාවට ගත හැකියි. යම් පුද්ගලයෙක් කාමයන් ගෙන් වෙන්ව ම, අකුසල් දහමින් වෙන්ව ම ප්‍රථමධ්‍යානයට එළැඹ වසනවා නම් එම පුද්ගලයාට ඒ අවස්ථාවේදී කාම සහගත සංඥා මෙනෙහි කිරීමක් නැහැ. ප්‍රථමධ්‍යානයේදී විවේකයෙන් උපන් ප්‍රීති සුවය ඇති එම පුද්ගලයාට කාම සහගත සංඥා මෙනෙහි කිරීමක් ඇති උවොත් එය එම පුද්ගලයාට දැනෙන්නේ ආබාධයක්, අපහසුවක්, පීඩාවක්, දුකක් ලෙසින්. මෙආකාරයටම ද්විතීයධ්‍යානයෙන් වසන පුද්ගලයාට ප්‍රථමධ්‍යානය දැනෙන්නේ ආබාධයක්, අපහසුවක්, පීඩාවක්, දුකක් ලෙසින්. මෙපරිද්දෙන් නිවන යනු රෝග, දුක් ස්වභාවයන් අටකින් සුව වූ ලෙස දැකිය හැක්කේ කෙසේදැයි යන්න ගැන මනා විස්තරයක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ නවක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ මහා වර්ගයේ නිබ්‌බානසුඛ සූත්‍රයේ දැකිය හැකියි. පෙර පවසන ලද උපමාවේදී තුවාල ආදී රෝගවලින් සුව වීම එම රෝග ඉහත දක්වා ඇති පිළිවෙලටම සිදු වේ යැයි පැනවෙන්නේ නැහැ. නමුත් නිබ්බානසුඛ සූත්‍රයේ විස්තර වන්නේ පිළිවෙලකට අනුව අනුපූර්ව ලෙස නිරෝධ වන රෝග, දුක් ස්වරූපයන්.

නිබ්බානසුඛ සූත්‍රයේ විස්තර වන්නේ නිවන සුව ලෙස දකින්නේ කෙසේද යන්න උවත් ප්‍රථමධ්‍යානයේ සිට සඤ්ඤාවේදයිතනිරොධයට එළැඹෙන විට අනුපූර්ව ලෙස නැති වී යන රෝග, දුක් ස්වරූපයන්ට අනුව නොපසක් කරන ලද නිවන යනු එම රෝග, දුක් ස්වභාවයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදීමක්ය යන පූර්ව අදහස නිවන සාක්ෂාත් කිරීමට පෙර නිවන යනු කුමක්දැයි යම් හෝ අදහසක් ඇති කරගන්න කැමති කෙනෙකුට ඇති කරගත හැකියි. මෙසේ වටහා ගැනීමේදී ප්‍රථමධ්‍යානය ආදිය ගැන වැටහීමක් නැති අයට ශරීරයේ තුවාල ආදී රෝග අට නිසා පීඩාවට පත් පුද්ගලයා එම එක් එක් රෝගී ස්වභාවයන්ගෙන් මිදෙන විට අත්විදින සුව භාවයන් උපමා ලෙසින් සිතා ප්‍රථමධ්‍යානයට සමවැදීම සුචයකි, ද්විතීයධ්‍යානයට සමවැදීම ප්‍රථමධ්‍යානයට වඩා සුවයකි ආදී ලෙසින් හිතා නොපසක් කරන ලද නිවන යනු රෝග, දුක් ස්වභාවයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදීමක්ය යන පූර්ව අදහස ඇති කරගන්න හැකියි.

නිවන යනු ශූන්‍යතාවයක් ලෙස දැකිය හැකිද? ඉහත සඳහන් කළ නිබ්බානසුඛ සූත්‍රයේ පරිදි රෝග, දුක් ස්වභාවයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදීම එම රෝග, දුක් ස්වභාවයන්ගේ ශූන්‍යතාවයක් ලෙස දැකිය හැකියි. මෙහිදී බුදුරජානන් වහන්සේ ශූන්‍යතාවය යන වචනය භාවිතා කර ඇති ස්වරූපය ගැන පැහැදිලි වැටහීමක් ලබා ගත්තොත් මෙම වචනය අනෙකුත් දේශනාවන් සමඟ ගැළපෙන පරිදි ව්‍යාකූලත්වයක් නොමැතිව භාවිතා කළ හැකියි.

ශූන්‍යතාවය ගැන මනා විස්තරයක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ උපරි පණ්ණාසකයේ සුඤ්‌ඤත වර්ගයේ චූළසුඤ්ඤත සූත්‍රයේ දැකිය හැකියි. එම සූත්‍රයේ පරිශුද්ධ ශූන්‍යතාවය සහ පරිශුද්ධ පරමානුත්තර ශූන්‍යතාවය ලෙසින් විස්තර වන කරුණු තිබෙනවා. පරිශුද්ධ ශූන්‍යතාවයේත් නොයෙක් මට්ටම් විස්තර වෙනවා. ඊට හේතුව නම් ඒ ඒ මට්ටම් වලට අනුරූපව ශූන්‍ය බවට පත්වන කරුණු සහ අශූන්‍ය ලෙසින් පවත්නා කරුණු වෙනස් වීම.

පරිශුද්ධ පරමානුත්තර ශූන්‍යතාවය කියන්නේ රහතන් වහන්සේ නමකට විහරණය කළ හැකි ශූන්‍යතාවයකට. එම ශූන්‍යතා විහරණයේදී බොහෝ කරුණු වල ශූන්‍යතාවයක් ඇති නමුත් දැනෙන අශූන්‍යතාවයක් ඇති බව චූළසූඤ්ඤත සූත්‍රයේ සදහන් වෙනවා.

පරිශුද්ධ පරමානුත්තර ශූන්‍යතා විහරණයෙන් වෙසෙන රහතන් වහන්සේටත් දැනෙන අශූන්‍යතාවයක් ඇති නිසා ශූන්‍යතාවය යන වචනය දුටු පමණින් එම වචනය භාවිතා වන හැම විටකම එම වචනයෙන් සර්වප්‍රකාරයෙන්ම හැම දෙයක්ම නැති ස්වරූපයක්ය දැක්වේ යැයි සිතීම නිවැරදි නැහැ. චූළසුඤ්ඤත සූත්‍රයට අනුව විමසුවොත් රහත් ඵල ලැබූ අයට දැනෙන ශූන්‍යතාවයන් ඇති බව වටහා ගන්න පුළුවන් වගේම රහත් ඵල නොලැබූ අයට දැනෙන ශූන්‍යතාවයන් ඇති බවත් වටහා ගන්න පුළුවන්.

රහත් ඵලය ලැබූ අයෙකුගේ කය බිඳීමෙන් සිදුවන පිරිනිවීමේදී නම් එම රහතන් වහන්සේ පරිශුද්ධ පරමානුත්තර ශූන්‍යතා විහරණයෙන් වෙසෙන විට දැනුනු අශූන්‍යතාවයත් ශූන්‍ය වන බව කියන්න පුළුවන්. නමුත් එම ශූන්‍ය වීම දැනෙන ස්වරූපයේ ශූන්‍යතාවයක් බව පවසන්න බැහැ. කය බිඳී පිරිනිවීමේදී මතු නූපදින ලෙසින් සර්වප්‍රකාරයෙන්ම දැනීමත් ශූන්‍ය වන බැවින් එසේ නිවී යාම, එසේ ශූන්‍ය වීම රහතන් වහන්සේගේ කය බිඳීමෙන් සිදුවන පිරිනිවීම පහන් දැල්ලක් නිවි යාම මෙන්ය යන උපමාවට අනුව වටහා ගන්න පුළුවන්. පහන් දැල්ල නිවී යාමම පහන් දැල්ල ශූන්‍ය වීම ලෙස දකින්න පුළුවන්. පෙර පැවසූ සංඥාවේදයිතනිරෝධයට සමවැදීමත් මීට යම් පමණකින් සමානයි. නමුත් එය කය බිඳී පිරිනිවීම නොවෙයි. එම සමාපත්තියට සම වැදීමට සහ ඉන් නික්මීමට රහත් ඵලය ලැබූ සමහර අයටත්, රහත් ඵලය නොලැබූ සමහර අයටත් හැකි බවට විස්තර සූත්‍රවල තිබෙනවා.

පෙර විස්තර කළ පරිදි නිවන යනු ශූන්‍යතාවයක් ලෙස දැකිය හැකියි. එම නිවීම සාක්ෂාත් කිරීමේදී, එම ශූන්‍ය වීමේදී රෝග ස්වභාවයන්, දුක් ස්වභාවයන් ශූන්‍ය වන බව පැවසිය හැකියි. ශූන්‍ය නොවූ විට රෝග ස්වභාවයන්, දුක් ස්වභාවයන් දැනෙනවා. එආකාරයෙන් විමසීමේදී නිවන හෝ ශූන්‍යතාවය යන වචනවලින් කියවෙන්නේ වැදගත්කමක් නැති හිස් බවක්ය යන අර්ථයක් ඇති වන්නේ නැහැ. එම විස්තර කිරීම් අනුව නිවන සුවයි, එම ශූන්‍යතාවය සුවයි යනු නිවැරදි කීම් බව දැකිය හැකියි.

නිවන සුවයි වැනි නිවනෙහි ස්වරූපයක් ගැන කීම සුව විදින්නෙක් ඇත හෝ සුව විදීමක් ඇත යන අර්ථයකින් කියනා කීමක් ලෙස වටහා ගැනීම නිවැරදි නැහැ. එහිදී සුව විදින්නෙක් ඇත හෝ සුව විදීමක් ඇත යන අදහසක් ඇති කර ගත් විට එය යම් පුද්ගලයෙක් ඉන්නවා හෝ ආත්මයක් තිබෙනවා හෝ පහන් දැල්ලක් නිවී යෑම යන උපමාවට අනුව දැල්ලේ යම් ප්‍රමාණයක් නිවී නොගොස් ඉතිරිව තිබෙනවා වැනි මිත්‍යා දෘෂ්ටියකට අනුරූපයි. පුද්ගලයෙකුත් නැත්නම්, ආත්මයකුත් නැත්නම්, පහන් දැල්ලක් නිවී යෑම යන උපමාවට අනුව නිවී නොගොස් ඉතිරි වූ දැල්ලේ යම් සුළු හෝ ප්‍රමාණයකුත් නැත්නම්, නිවන සුවයි වැනි නිවනෙහි ස්වරූපයක් ගැන කියන්නේ කවර ලෙසකින්ද යන්න වටහා ගැනීම පිණිස පෙර දැක්වූ නිබ්බානසුඛ සූත්‍රයේ සඳහන්ව ඇති උදායි තෙරණුවන් ඇසූ ප්‍රශ්නයට සැරියුත් තෙරණුවන් දෙන පිළිතුර විමසා බලන්න.

නිවන, නිවන් අවබෝධය, යම් යම් ශූන්‍යතා විහරණයන් ලැබ සිටින අවස්ථාවන්, ඒ ඒ ශූන්‍යතා විහරණයන්ගෙන් නික්ම සිටින අවස්ථාවන්, සංඥාවේදයිතනිරෝධයට සමවැදී සිටින අවස්ථාව, සංඥාවේදයිතනිරෝධයට සමවැදී නොසිටින අවස්ථාව, රහත් ඵලය ලැබීමට පෙර ස්වභාවය, රහත් ඵලය ලැබ කය බිඳීමට පෙර ස්වභාවය, රහතන් වහන්සේ කය බිඳී පිරිනිවීම ආදිය ගැන විමසා බැලීම මේ කරුණු ගැන වඩ වඩාත් පැහැදිලි අවබෝධයක් ඇති කරන්න හේතු වෙනවා.

නිවන සාක්ෂාත් කිරීමට පෙර නිවන යනු කුමක්දැයි යම් හෝ අදහසක් ඇති කරගන්න කැමති කෙනෙක් නොපසක් කරන ලද නිවන යනු ඉහත විස්තර කළ පරිදි රෝග, දුක් ස්වභාවයන් සේ සැලකිය හැකි කරුණුවලින් සම්පූර්ණයෙන්ම මිදීමක්ය යන පූර්ව අදහසක් ඇති කරගත හැකියි. එහිදී එම රෝග, දුක් ස්වභාවයන් මොනවාදැයි නිබ්බානසුඛ සූත්‍රය හෝ අන් සූත්‍ර ඇසුරෙන් වැඩි වැඩියෙන් වටහා ගැනීමට උත්සාහ ගැනීමත්, ධර්මයේ හැසිරීමෙන් තමන් විසින්ම එම ස්වභාවයන් දැනීමෙන් අත්දැකීමට උත්සාහ ගැනීමත් වඩ වඩාත් දහම් අවබෝධය පිණිස ඉතාම ප්‍රයෝජනවත්.

ආරොග්‍යපරමා ලාභා නිබ්බානං පරමං සුඛං,
අට්ඨඬ්ගිකො ච මග්ගානං ඛෙමං අමතගාමිනන්ති

ඉහත ගාථාව උපුටා ගැනීම: ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ පරිබ්බාජක වර්ගයේ මාගන්දිය සූත්‍රය