අනත්ත යනු "තමන් වසඟයේ පවත්වාගන්න බැරි බව" ද?

විශේෂ සටහන: (2017 Jan 11) මෙම ලිපියේ ආරම්භක සංස්කරණය ඉවත් කොට 2016 අප්‍රේල් 3 වන දින පහත දැක්වෙන කෙටි සටහන එක් කරණ ලදී. ඒ එම ආරම්භක සංස්කරණය වඩාත් පැහැදිලි බවින් යුතු වන සේ වෙනස් කිරීම සුසුදු යැයි සිතූ බැවින් සහ ත්‍රිපිටකයේ පවතින සමහර සූත්‍ර සමඟ මා (කමල් වික්‍රමනායක) විසින් ලියූ කරුණු වල නොගැලපීමක් තිබේ දැයි සැකයක් මතු වූ බැවිනි. පංචස්කන්ධය අනිච්ච, දුක්ඛ, හා අනත්ත ලෙස දැකිය හැකි ආකාරයන් බොහෝ ප්‍රමාණයක් ඇති බව මෑත කාලයේදී දක්නා ලදී. උදාහරණයකට "නිත්‍ය නැත", "වෙනස් වේ", "සෙලවේ" ආදී ආකාරයන් ගණනාවකින් පංචස්කන්ධයේ අනිච්ච ලක්ෂණය දැකිය හැක. පංචස්කන්ධයේ දුක්ඛ සහ අනත්ත ලක්ෂණයන්ද එබදුම පරිදි ආකාර ගණනාවකින් දැකිය හැක. ඊට අමතරව "වෙනස්වීම" යන්න අනිච්ච ලෙස දැකීමකැයි සමහර තැන්වල යෙදී තිබුනද "වෙනස්වීම" යන්න සංස්කාරයන්ගේ දුක ලෙස ද යෙදී ඇති බවක් පෙනේ. පහත දැක්වෙන කෙටි සටහනෙහි දක්වා ඇති "අසාර" යන වචනයද ත්‍රිපිටකයේ වෙනස් වෙනස් අර්ථ වලින් යෙදී ඇත්දැයි සැකයක් මතුව තිබේ. "අසාර" යන වචනය "අරටුව මෙන් නොවේ" යන අර්ථයෙන් ගතහොත් එය අනිච්ච ලක්ෂණය දැක්වීමට භාවිතා කල හැකි බවක් පෙනේ. "අසාර" යන චවනය "අරටුවක් නැත" යන අර්ථයෙන් ගතහොත් එය අනත්ත ලක්ෂණය දැක්වීමට භාවිතා කල හැකි බවක් පෙනේ. මෙසේ වන්නට හේතුව ධර්මයේ යෙදන සමහර වචන වල විවිධ අර්ථයන් තිබීම විය හැක.

සැක මඟහරවා ගැනීම පිණිසත්, දොස් තිබුනි නම් එම දොස් නිවැරදිව හඳුනාගෙන නිවැරදි වීම පිණිසත් මේ වන විට කටයුතු කෙරෙමින් පවතී. එම කරුණු වල පැහැදිලි බවක් ඇති කර ගැනීම පිණිස පාලි වචන වල අර්ථ කෙබඳුද, සිංහල වචන වලින් කවර වචන සුදුසුද, කවර වචන නුසුදුසුද, කවර අර්ථයන් ගැලපේද, කවර අර්ථයන් නොගැලපේද, අන් සූත්‍ර සමඟ ගැළපීම් කෙබඳුද, පාලි සහ සිංහල ධර්ම ග්‍රන්ථයන්ගේ මුද්‍රණ දෝෂ ආදිය නිසා වචන විකෘති වීම් සහ අර්ථ විකෘති වීම් සිදුව ඇත් දැයි ආදී ලෙස දැඩිව විමසා බලා තීරණය කිරීමට සිදුවේ. මේ සඳහා යම් කාලයක් ගත විය හැක. එනමුත් එසේ කිරීමෙන් අනිච්ච, දුක්ඛ, හා අනත්ත ලක්ෂණයන් දැකිය හැකි ආකාරයන් ගණනාවක් පිළිබඳ විස්තර සහ දහම් කොටස්හි පෙර නොදැන සිටි වර්ගීකරණයන් හඳුනා ගැනීමට හැකි උවහොත් එම වර්ගීකරණයන්ද මනා අර්ථ සහිතව ගෙන හැර දැක්වීමට මතු කාලයකදී හැකි වේ යැයි සිතමි.

අනත්ත යන්නෙහි අර්ථය අසාර (සාරයක් නැති බව) යන්නයි. මෙහි පැවති ලිපිය වැඩි විස්තර අඩංගුව සංස්කරණය කිරීමක් සුදුසු යැයි සිතූ බැවින් තාවකාලිකව ඉවත් කර ඇත.