වලස්මුල්ලේ අභය බමුණාගේ වමනේ යන, බඩ යන, සෙම ගලන භාවනා

මිතුරකු විසින් දක්වන ලදුව මම ද නැරඹූ ඉහත දැක්වෙන වීඩියෝවේ වලස්මුල්ලේ අභය බමුණාගේ ගෝලයෙකු යැයි සිතිය හැකි අතුරුගිරියේ සුබෝධ නම් බමුණෙක් මෙසේ පවසන අයුරු දැකිය හැකියි:

කළු කිරණ ඉවත් කිරීමේ ක්‍රමවේදය ප්‍රතිඵලදායකයි කියලා කියන කට්ටිය චුට්ටක් අත උස්සන්න බලන්න. ඒක තව දුරටත් ඕනැ වගේ කියලා... හරි පල්ලෙහාට දාන්න. හරි, හරි, හරි.

ඒක අපි මනෝමූලිකව කරන මානසික ව්‍යායාමයක්. ඒක මේ ත්‍රිපිටකයේ තියෙන එකක් වත්, ධර්මයේ විග්‍රහ වෙන එකක් වත් නෙමෙයි, මනෝ විද්‍යාවේ විග්‍රහ කරන ඔය රිලැක්සේෂන් එක්සයිස් එකක්. ඒක අපි පාවිච්චි කරනවා දැන් මොකද මේ අපි මේ බණ භාවනා වඩාගෙන යනකොට කුණ්ඩලීණි අවධි වෙනකොට මේ ශරීරය උද්දීපනය වෙන්න ගන්නවා. එතකොට සමහර වෙලාවට මේ කුපිතවීම් ශරීර අභ්‍යන්තරයේ කුපිතවීම් වෙනවා. දැන් ගොඩක් වෙලාවට මේ භාවනා කරන්න එන ඇත්තන්ට වමනේ යන්න එනවා. දැන් මේ හිත සුද්ද වෙනකොට කයත් සුද්ද වෙන්න ගන්නවා, වමනේ යනවා, ලූස් මෝෂන් වෙනවා වගේ කරුණු කාරණාත් වෙනවා. ඒවා වෙනකොට දැන් වමනේ යන්න වගේ එනවා නං හිර කරන් ඉන්න එපා, ගිහිං ඒවා නිදහස් කරගන්න. ඒවගේම ඒ කටයුතු බලලා ඒවා කරගන්න. හේතුව ඒ ශරීරය සුද්ද වෙන එක වෙන්න දෙන්න. දැන් සමහර වෙලාවට භාවනාව වඩාගෙන යනකොට සෙම එහෙම බුරුල් වෙලා ගලාගෙන එන්න ගන්නවා. මොකද මේ කය සුද්ද වෙන්න ගන්නවා. ඒ සුද්ද වෙනකොට ඒ සෙම බුරුල් වෙලා යන ඒවා බෙහෙත් බීලා නතර කරගන්න එපා.

භාවනා කළා හෝ නො කළා, යම් අයෙකුට වමනේ යනවා නම්, බඩ යනවා නම්, සෙම ගලනවා නම් එහි යම් අසාමාන්‍යතාවයක් දකී නම් ඊට ප්‍රතිකාර ලබන්න යොමු වීම සුදුසුයි. භාවනා කළ නිසා සිරුරේ අශුද්ධ ශක්තීන් ඉවත් වන්නේ යැයි සිතා අසාමාන්‍ය වමනේ යෑම, බඩ යෑම, සෙම ගැලීම සිදුවන විට ඊට ප්‍රතිකාර නො ලබා සිටීමෙන් රෝගී බව උත්සන්න වීම හෝ අකල් මරණයට ගොදුරුවීම සිදුවිය හැකියි. භාවනාව නිසා කය සුද්ද වන විට වමනේ යෑම, බඩ යෑම, සෙම ගැලීම වේ යැයි කීම මිනිසුන් සාමාන්‍ය දැනීමෙන් දන්නා දේත් බැහැර කොට පවසන මෝඩ කථාවක් මිස ඉන් උසස් අවබෝධයක් දැක්වෙන්නේ නම් නැහැ.

අතුරුගිරියේ සුබෝධ බමුණා කළු කිරණ ඉවත්කිරීමේ ක්‍රමවේදය ත්‍රිපිටකයේ තියෙන එකක් වත්, ධර්මයේ විග්‍රහ වෙන එකක් වත් නොවන බව පවසාම ඒ යම් ක්‍රමවේදයකට කළු කිරණ ඉවත්කිරීමේ ක්‍රමවේදය යැයි කියන ලද ද ඒ ගැන විස්තර දක්වන අයුරු සහ රැස්ව ඉන්නා බමුණු පිරිසව ඒ ගැන උනන්දු කරවන අයුරු වීඩියෝවේ දකින්න පුළුවන්. එයින්ම පෙනෙනවා මේ මෝඩ පිරිස බුදු සසුනෙන් කෙතරම් බැහැර ද ඉන්නේ, කවර අයගේ ධර්මයන්ට මොවුන් නැඹුරූ වී ඇත් ද, කවර අයගේ ධර්මයන්ට මොවුන් අන් අයව යොමු කරවනවා ද කියා. එසේ බැහැරට යොමුවන පුද්ගලයින් බුදුරජානන් වහන්සේ ගැන හෝ බුදුරජානන් වහන්සේ දේශනා කළ ධර්මය ගැන හෝ බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැන පැහැදේවි යෑ? ඒ වෙනුවට ඒ අය අන් බමුණු සරණක්ම යනවා. අන් අයව ද බුද්ධ ධර්මයෙන් බැහැර ධර්මයන්ට යොමු කරවනවා. නිවන නම් ඔවුන්ට දුරයි!

බුදුරජානන් වහන්සේගේ දහම් දෙසීම පිළිබඳව ත්‍රිපිටකයේ "සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙති." ලෙසින් විස්තර වෙනවා. එසේ සඳහන්ව ඇති එක් සූත්‍රයක් ලෙස ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ සීලක්ඛන්ධවග්ගයේ අම්බට්ඨ සූත්‍රය දැක්විය හැකියි. එම සූත්‍රයේ ආරම්භය ආසන්නයේ එම වදන් පෙළ දැක්වෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ නෙත්තිප්පකරණයේ පටිනිද්දෙසවාරයේ දේසනාහාරවිභඞ්ගයේ ඒ යෙදී ඇති වචන වල අර්ථයන් පිළිබඳ විස්තර පවතිනවා. 22 පිටුවේ පරිපුණ්ණං යන වචනය පිළිබඳව සඳහන්ව ඇත්තේ මෙසේයි:

“පරිපුණ්ණ”න්ති පරිපූරං අනූනං අනතිරෙකං;

සිංහල පරිවර්තනයේ එය මෙසේ දැක්වෙනවා:

“පරිපුණ්ණං” යනු: හාත්පසින් පිරුණු නොඅඩු නොවැඩි වූ,

බුදුරජානන් වහන්සේගේ දහම් දෙසීම නම් එසේයි. එහි අඩුවකුත් නැහැ, වැඩියකුත් නැහැ. එය එසේ දැක නිර්මල සද්ධර්මය රැක ගන්නවා මිස ත්‍රිපිටකයේ නැති, ධර්මයේ විග්‍රහ වන්නේ නැති බාහිර දහමක් අරභයා "මෙය ද බුදුන් දෙසූ දහම් ප්‍රතිපදාවේ යෙදෙන්නන්ට ප්‍රයෝජනවත්ය. මෙය එක් කළ විට මේ අඩුපාඩුව නැතිව යයි" ලෙසින් සිතා කටයුතු කරමින් නිර්මල සද්ධර්මයට බාහිර දෑ මිශ්‍ර කිරීම බෙහෙවින්ම අගතිගාමී ක්‍රියාවක්. බාහිර දෑ බුදු දහමට මිශ්‍ර කිරීම බුදුරජානන් වහන්සේට කරන අගෞරවයක්, ධර්මයට කරන අගෞරවයක්, සංඝයාට කරන අගෞරවයක්. බුදුරජානන් වහන්සේට බැරි උනා ද කිව යුතු සියල්ල කියන්න? සද්ධර්මය අපරිපූර්ණ ද බාහිර පුද්ගලයින්ගේ කථා සද්ධර්මයට ඈදන්න? සංඝයා මදිපාඩු ඇති ප්‍රතිපදාවක් පිළිපැද නිවන් සාක්ෂාත් කරගැනීමට බාහිර සරණක් ද උපකාර කර ගත්තා ද?

සියලු අංගයන්ගෙන් පරිපූර්ණ වූ මනාව පවසන ලද බුදු සසුන පිළිබඳව "දක්නේ නො දකී" යැයි ව්‍යවහාර කළ හැකි බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ පාථිකවග්ගයේ පාසාදික සූත්‍රයේ දැක්වෙනවා. පහත දැක්වෙන්නේ එම සූත්‍රයෙන් කොටසක්:

චුන්දයෙනි, මෙ සමයෙහි යම් පමණ දෙනෙක් ශාස්තෘහු ලොවැ පහළ වූහු ද, මා සේ ලාභයෙන් යශසින් අග පත් අන් එක ද ශාස්තෘවරයකු මම් නො දකිමි. චුන්දයෙනි, මෙ සමයෙහි යම් පමණ සඟ පිරිසෙක් හෝ ගණමුළුවෙක් ලොවැ පහළ වී ද, මේ භික්ෂූසඞ්ඝයා සේ ලාභයෙන් යශසින් අග පත් අන් එක ද සඟ පිරිසක් මම් නො දකිමි. චුන්දයෙනි, සියලු කාරණයෙන් සැපැයුණු, සියලු කාරණයෙන් පිරිපුන්, අඩු ද වැඩි ද නො වූ, මොනොවට කියන ලද, සියල්ලෙන් පිරිපුන්, මොනොවට ප්‍රකාශිත වූ ශාසන බ්‍රහ්මචර්යයැ යි යමක් ඇරැබැ මොනොවට කියන තැනැත්තේ කියන්නේ ද, හෙ තෙමේ මෙ සස්න ඇරැබැ ම සියලු කාරණයෙන් සැපැයුණු … මොනොවට ප්‍රකාශිත වූ බ්‍රහ්මචර්යයැ යි මොනොවට කියනුයේ කියන්නේ ය.

13. චුන්දයෙනි, රාම පුත්‍ර උද්‍රක තෙමේ ‘දක්නේ නො දකී’ යැ යි මෙසේ වූ වචනයක් කියයි. කුමක් දක්නේ නො දකී ද? යත්: මොනොවට මුවහත් කරන ලද ඒ කරකැත්තෙක තලය හේ දකී. එහෙත් එහි මූනත වූ කලී හේ නො දකී. චුන්දයෙනි, දක්නේ නො දකි යි යනු මේ යැ යි කියනු ලැබේ. චුන්දයෙනි, රාමපුත්‍ර උද්‍රකයා විසින් ම මේ හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුනනට ම සුදුසු වූ ආර්ය නොවූ, ආශ්‍රිත නොවූ යම් වචනයෙක් කියන ලද ද, එහෙත් ‘දක්නේ නො දකී’ යැ යි මොනොවට කියන තැනැත්තේ යමක් සඳහා කියන්නේ නම්, ‘දක්නේ නො දකී’ යැ යි මේ සස්න සඳහා ම කියන්නේ ය.

කුමක් දක්නේ නො දකී ද? යත්: මෙසේ මේ සසුන් බඹසර සියලු කරුණින් සැපැයුණේ ය, සියලු කරුණින් සපිරුණේ ය. අඩුත් නැත, වැඩිත් නැත. මොනොවට දෙසන ලද්දේ ය, සියලු අංගයෙන් පරිපූර්ණ ය. මනා කොට පවසන ලද්දේ යැ’ යි මෙසේ ම හේ මෙ සස්න දකී. මෙහි මෙනම් කොටස බැහැරැ කරන්නේ ය (බැහැරැ කළ යුතුය). මෙසේ එය වඩා පිරිසිදු වෙතැ යි මෙසේ හේ නො ම දකී. මෙහි (මෙ සස්නට) මෙ නම් කොටසක් පිටතින් ඇද ගන්නේ ය (ඇද ගත යුතුය). මෙසේ එය වඩා පිරිසිදු වන්නේ යැ යි මෙසේ මෙය හේ නො ම දකී. මෙය ‘දක්නේ නො දකී’ යැ යි කියනු ලැබේ.

මොනොවට කියන තැනැත්තේ ‘සියලු අයුරින් සැපැයුණු … සසුන් බඹසර මොනවට පැවැසිණැ’ යි යමක් ඇරැබැ කියන්නේ නම්, එසේ කියන තැනැත්තේ ‘සියලු අයුරින් සැපැයුණු, සියලු අයුරින් පිරිපුන්, අඩුත් නොවූ වැඩිත් නොවූ මොනොවට වදාරන ලද, හැම ලෙසින් පිරිපුන්, බඹසර මොනොවට පවසන ලදැ’ යි මෙ සසුන් බඹසර ඇරැබැ ම එය කියන්නේ ය (කිය යුතු ය.)

බුදු සසුනෙන් බැහැර සරණ යන, බුදු සසුනෙන් බැහැරට අන් අයව ද යොමු කරවන වලස්මුල්ලේ අභය නම් මෝඩ බමුණා සේම ගෝලයිනුත් වල්මත් වී ඇති බවයි පෙනෙන්නේ. බුදු සසුන සඳහා "දක්නේ නො දකී" යැයි කියයි ද, මේ පිරිස බුදු සසුන ඒ දැකිය යුතු අයුරින් දැක නැ, නො දැකිය යුතු අයුරින් නො දැක නැහැ. මේ පිරිස සම්මාසම්බුදුරජානන් වහන්සේට අගෞරව කරනවා, ධර්මයට අගෞරව කරනවා, සංඝයාට අගෞරව කරනවා. මේ මෝඩ පිරිසගේ අන්ධබාල කථා මෝඩපහේ පුද්ගලයින්ටම ගැළපෙනවා.

අතිරේක කියවීම:

  1. වලස්මුල්ලේ අභය හිමිගේ තිරස්චීන ඉහිල් කිරීමේ අභ්‍යාසය