ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලා බුදුසසුන වෙනුවන් අමිල මෙහෙයක් කෙරුමට උත්සුක වීම

බෞද්ධයා රූපවාහිනියේ විකාශය වූ වැඩසටහනක් දැක්වෙන ඉහත වීඩියෝවේ අවසානයට ආසන්නව මාන්කඩවල නන්දරතන හිමි මෙසේ පවසනවා දකින්න පුළුවන්:

[ 00:53:06 ]

ඒ වගේම බෞද්ධ පින්වතුනි, ඔබට විශේෂ යමක් අපි සිහිපත් කළයුතු වෙනවා. මේ සිදුකරගෙන යන දුර්මතයන් දුරු කොට සම්බුද්ධ ශාසනය සුරක්ෂා කිරීමේ අරමුණින් අප විසින් සිදු කරන විභජ්ජවාද ධර්ම සම්භාෂණ වැඩසටහන් කිහිපයක් අපි අනාගතයේ සූදානම් කරලා තියෙනවා. ඒ අනුව මේ මාර්තු මාසයේ දාසය වෙනිදා මහියංගණ රාජමහා විහාරයේ දී අපේ මහාසංඝරත්නය වැඩම කරවලා විභජ්ජවාද ධර්ම සම්භාෂණයක් අපි සූදානම් කරලා තියෙනවා. ඒ වගේම ජූනි විසි දෙවෙනි දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අපේ පූජනීය මහාසංඝරත්නය හය දහස්නමක් පමණ වැඩම කරවලා සුවිශේෂී විභජ්ජවාද වැඩසටහනක් දියත් කොට මේ සිදුකරන ශාසන විනාශයෙන් බුදුසසුන ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බෞද්ධ ජනතාවට ඒ පිළිබඳවත් අපි සිහිපත් කරනවා. එහිදී විශේෂයෙන් අපි ත්‍රිපිටක රීඩර් පන්දහසක් පූජා කිරීමට බලාපොරොත්තු වෙනවා හාමුදුරුවන් වහන්සේලාට. මොකද මහාසංඝරත්නයගේ දැනුම දියුණු වෙන්න, ත්‍රිපිටක ධර්ම ඥාණය දියුණු කිරීම සඳහා. ඒ වෙනුවෙනුත් ඔබට දායකත්වය දැරිය හැකි බවත් මේ වෙලාවෙදී ශාසනාලයෙන් යුක්තව සිහිපත් කරනවා.

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ මාන්කඩවල සුදස්සන හිමි, මාන්කඩවල නන්දරතන හිමි, කොත්මලේ කුමාරකස්සප හිමි ඇතුලු යම් පැවිදි සහ ගිහි පිරිසක් ඒ කරන්න උත්සුක වන්නේ බුදුසසුන වෙනුවෙන් කළයුතු අමිල මෙහෙයක් සඳහායි. සංඝයාගේ සමඟියක් ඇති වේ නම් ඉන් බුදුසසුනේ චිරස්තිථියටත්, සංඝයාගේ අභිවෘද්ධියටත් ලැබෙන පිටිවහල අති විශාලයි. ඉන් ගිහියන්ට ලැබෙන ප්‍රතිලාභය ද අති දැවැන්තයි. කෙරුමට අපහසු ක්‍රියාවක් උවත් ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලාගේ සහ ඒ අනුව කටයුතු කරන අන් පැවිදි සහ ගිහි පිරිසගේ එම උත්සාහය බෙහෙවින්ම ප්‍රශංසනීයයි.

යම් කිසි පුද්ගලයෙක් තමාට හිත පිණිසත්, අන් අයට හිත පිණිසත් ක්‍රියා කරයි නම් එම පුද්ගලයා සතර වර්ගයක පුද්ගලයින් අතර අග්‍ර ද ශ්‍රෙෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවරද වෙනවා. ඒ කවර සතර වර්ගයක පුද්ගලයින් අතුරෙන් දැයි යන්න ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ චතුක්ක නිපාතයේ දුතියපණ්ණාසකයේ අසුරවග්ගයේ ඡවාලාත සූත්‍රය ඇසුරෙන් දැනගන්න පුළුවන්. ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ හිමිවරුන් ඇතුලු යම් පැවිදි සහ ගිහි පිරිසක් තමන්ගේ හිත පිණිස ක්‍රියා කරමින් සංඝ සමඟිය ඇතිකෙරෙන සහ එබැවින් අන් බොහෝ දෙනාගේ ද හිත පිණිස වන ඉහත ආකාරයේ ක්‍රියාවන්හි යෙදේ නම් එම පුද්ගලයින් ඡවලාත සූත්‍රයේ සඳහන්ව ඇති පරිද්දෙන් එම සතර පුද්ගලයින් අතර අග්‍ර ද ශ්‍රෙෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවරද වෙනවා.

එම උතුම් ක්‍රියාවට දායකත්වය දැක්විය හැකි ගිහි පින්වතුන් ද ඒ සඳහා උපරිමයෙන් දායක වේවා! ශ්‍රමයෙන් වේවා, අවශ්‍ය කෙරෙන උපකරණ ආදියෙන් වේවා, ආහාර පානාදියෙන් වේවා, ගමනාගමන පහසුකම් සැලසීමෙන් වේවා, නොයෙකුත් වියදම් පියවා ගැනුමට මුදලින් වේවා, අන් අයට දැන්වීමෙන් වේවා, වචන මාත්‍රයකින් වේවා, අන් ලෙසකින් වේවා එම උතුම් ක්‍රියාවට දායකත්වය දැක්විය හැකි ගිහි පින්වතුන් ද ඒ සඳහා උපරිමයෙන් දායක වේවා!

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ හිමිවරුන්ගේත් ඒ අනුව කටයුතු කරන අන් පැවිදි සහ ගිහි පිරිසගේත් එම උත්සාහය සාර්ථක වේවා!

ගෞතම බුදුසසුන ලොව බොහෝ කල් බැබළේවා!