මහව ඤාණාලෝක හිමි සමඟ කෙරුණු සංවාදයක් - නිග්ගය්හවාදි පණ්ඩිතයෝ සහ දුසිල්වත් බාලයෝ

මහව ඤාණාලෝක හිමි සමඟ දෙදහස් විසි එක වසරේ අගෝස්තු මස විසිතුන් වන දා සහ සැප්තැම්බර් මස පස් වන දා ශාසනික කටයුත්තක් පිළිබඳව දුරකථනයෙන් සාකච්ඡා කෙළෙමි. පහත දැක්වෙනුයේ ඊට පසු ඇති වූ විද්‍යුත් තැපැල් හුවමාරුවකි.

--

Date: Sun, 5 Sep 2021 15:02:18 +0530
From: Trekmentor <info@trekmentor.com>
To: "Ven. Mahawa Gnanaloka"
Subject: මවිසින් ලියන ලද ලිපි
Body:

පින්වත් ස්වාමීන් වහන්ස,

මවිසින් ලියන ලද ලිපිවලට පහත සබැඳියෙන් යොමු විය හැකියි:

http://www.trekmentor.com/si/enlighten

තෙරුවන් සරණයි!

කමල්

--

Date: Sun, 5 Sep 2021 21:31:25 +0530
From: Gnanaloka Maho
To: Trekmentor <info@trekmentor.com>
Subject: Re: මවිසින් ලියන ලද ලිපි
Body:

තෙරුවන් සරණයි මහත්මයා,
මම ඔබතුමාගේ ලිපි ශීර්ෂ කිහිපයක් බැලුවා. ඉතා කෙටි අදහස් කිහිපයක් බැලුවා. එහි දී ඔබ තුමාගේ ශාසනික අදහස අහපු මම ඇති කරගත් මතය හරි ද යන්න ගැටළුවක් ඇති වුණා.

කොහොම මාර්ග ඵල ලැබුවත් මම හිතන්නේ යම් හරි ශීල ගුණයක් රකින ස්වාමීන් වහන්සේලාට වඩා පන්සිල්වත් රකින් නැති දුසිල්වත් ගිහියන්ට ගරු කරන එක නම් ආර්ය ශ්‍රාවකයෙක් අතින් වෙන්න බැරි දෙයක් කියලයි මම අහපු කියපු ධර්මයට අනුකූල වෙන්නේ.

මේ ස්වාමීන් වහන්සේලා සිල්පදයක් දෙකක් කඩනවා ඇති. (මම දන්නේ නෑ). ඒත් රකින ශීලය නම් උසස්. මම අහල තියෙනවා අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ මේ දක්වා සංඝාදිසේස ඇවතකට පත් වෙලා නැති බව. මේක ගිහියෙකුට කරන්න පුලුවන් දෙයක් නම් නෙමෙයි. සමහර පැවිද්දන්ටවත් කරන්න බැරි දෙයක්.

මම මාර්ගඵල නො ලැබුවට ත්‍රිපිටකය යම් පමණකට නමුත් කියවා, ඉගෙන ගෙන තවත් පිරිසකට යහපත් සෙ මඟ පෙන්වමින්, ශීලය ආරක්ෂා කරගෙන මහණ දම් පුරන කෙනෙක්. ඒ මම ඉගෙන ගත් කියවූ ධර්මය අනුව නම් මහත්මයා කර්මය හා කර්මඵලය කියන දෙය ගැන තව ටිකක් හිතන්න කියලා මතක් කරන්න කැමතියි. මේ භාවිතා කරල තියෙන සමහර වචන සමහර කෙනෙකුට ගැලපෙන්න පුළුවන්. ඒත් උතුම් ශීලයක් රකින කෙනෙකුට කරන අපහාසයක් වුණොත් විපාකය හරිම භයානකයි. ඒ ගැන හිතන්න කියන මතක් කිරීම සත්පුරුෂයෙක් විදිහට කරන්න කැමතියි.
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් මෙසේ පවසති. (සූවිසිගුණය, පි. 451)
“මේ බුදුසස්නෙහි දී උසස් තත්වයතට පැමිණීමේ අපේක්ෂාවක් නැතිව ලිහිල් ලෙස පිළිවෙත් පුරන භික්ෂුව විසින් පුරන්නේ ද තථාගතයන් වහන්සේ විසින් දක්වා වදාරා ඇති ඒකාන්තයෙන් ම නිවනට පමුණුවන සුප්‍රතිපත්තිය ම ය. එබැවින් ලිහිල් ලෙස පිළිවෙත් පුරන වර්තමාන පෘථග්ජන භික්ෂූන් ද සුප්‍රතිපන්නයන් බව කිව යුතු ය“

ඒ නිසා පැවිද්දන් අදාළ කරගෙන කරන ප්‍රකාශවල දී ප්‍රවේසම් වන ලෙස සත්පුරුෂ උපදෙසක් දීමට මම කැමතියි. මහත්මයාගේ භාෂාව එසේ යෙදීමේ හේතුව දැන ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් මට නැහැ. කුමන හේතුවක් නිසා හෝ ආර්ය ශ්‍රාවකයෙක් විසින් කිසිම දිනක කිසිම ආකාරයකට සුපටිපන්න ගුණයෙන් යුතු සිල්වත් භික්ෂුවකට අපහාස වචනයක් නම් භාවිතා නොකරන බව සක් සුදක් සේ පැහැදිලියි. මන්ද ඔහු ආපසු නො හැරෙන ශ්‍රද්ධාවක් ඇති අයෙක් නිසා.

කලින් කියවා ඇත් නම් නැවතත් අවධානයෙන් කියවන ලෙස මෙත් සිතින් යුතුව මතක් කරමි, සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයේ බුදුරජාණන් වහන්සේ කොසොල් මහරජුට දුන් අවවාදය.
‘‘චත්‌තාරො ඛො මෙ, මහාරාජ, දහරාති න උඤ්‌ඤාතබ්‌බා, දහරාති න පරිභොතබ්‌බා. කතමෙ චත්‌තාරො? ඛත්‌තියො ඛො, මහාරාජ, දහරොති න උඤ්‌ඤාතබ්‌බො, දහරොති න පරිභොතබ්‌බො. උරගො ඛො, මහාරාජ, දහරොති න උඤ්‌ඤාතබ්‌බො, දහරොති න පරිභොතබ්‌බො. අග්‌ගි ඛො, මහාරාජ, දහරොති න උඤ්‌ඤාතබ්‌බො, දහරොති න පරිභොතබ්‌බො. භික්‌ඛු, ඛො, මහාරාජ, දහරොති න උඤ්‌ඤාතබ්‌බො, දහරොති න පරිභොතබ්‌බො. ඉමෙ ඛො, මහාරාජ, චත්‌තාරො දහරාති න උඤ්‌ඤාතබ්‌බා, දහරාති න පරිභොතබ්‌බා’’ති.

තෙරුවන් සරණයි.

මෙයට,
පෘථග්ජන,
මහව ඤාණාලෝක හිමි.

Mahawa Gnanaloka Thero - embedded image in email

--

Date: Mon, 6 Sep 2021 00:48:39 +0530
From: Trekmentor <info@trekmentor.com>
To: Gnanaloka Maho
Subject: Re: මවිසින් ලියන ලද ලිපි
Body:

පින්වත් ස්වාමීන් වහන්ස,

යම් සේ වරදට යොමු වූ තැනැත්තෙකු යැයි සිතා අනුකම්පා සිතැතිව ඒ තැනැත්තාව යහමගට යොමුකර ලීමේ අරමුණින් නොයෙක් අයුරින් දහම් ගෙන හැර දක්වන්නේ ද එය සත්පුරුෂ ක්‍රියාවක්මයි. ඔබ වහන්සේ මේ ගන්නා ලද සත්පුරුෂ උත්සාහය කරුණු කොට ඔබ වහන්සේට වහ වහා චතුරාර්යය සත්‍යය අවබෝධ වේවා!

කෙසේ නමුත් ඔබ වහන්සේ ලියා ඇති දෑ ට අනුව ඔබ වහන්සේට ශාස්තෘන් වහන්සේ පිළිබඳව ද මහත් වූ කුකුසක් තිබිය යුතු යැයි සිතමි. ඒ කිම ද යත් රජවරුන්ට මහරජ යැයි අමතන ලද බුදුරජානන් වහන්සේ සමහර පැවිද්දන්ට මෝඝ පුරුෂයා යැයි දොස් කීම ඔබ වහන්සේ ලියා ඇති කරුණුවලට අනුව බුදුරජානන් වහන්සේ විසින් කර ඇති මහත් වරදක් ලෙස ඔබ වහන්සේගේ දැකිය යුතු යැයි සිතෙන බැවිනි. එකරුණින් බුදුරජානන්වන්සේගේ ආර්යය භාවය පිළිබඳව ද, පැවිදි භාවය පිළිබඳව ද ඔබ වහන්සේට මහත් වූ කුකුස් පැවතිය යුතු යැයි ඔබ වහන්සේ ලියා ඇති දෑ ට අනුව පෙනේ. බුදුරජානන් වහන්සේ තුළ සංඝයා කෙරෙහි ගරුත්වයක් පැවතුනා යැයි කීම ගැන ද ඔබ වහන්සේ ලියා ඇති දෑට අනුව සැක ඇති කර ගත යුතු බව පෙනේ.

ස්වාමීනී, ඔබ වහන්සේ අසා ඇති ධර්මයට අනුව තවත් මහා පටලැවිල්ලක් වේ. ඔබ වහන්සේ පවසන දෑ ට අනුව බුදුරජානන් වහන්සේ විසින් පනවන ලද විනයෙහි ද හිලක් ඇති බව පෙනේ. ඔමසවාද ශික්ෂාපද විස්තරයේ අවසානයට ඇවැත් නැති අය ලෙස අර්ථය පෙරටු කොට කියන්නහු, ධර්මය පෙරටු කොට කියන්නහු සහ අනුශාසනය පෙරටු කොට කියන්නහු ද අයත් වේ. බුදුරජානන් වහන්සේ කෙසේ නම් එබඳු පැණවීමක් කලා දැයි යන්න ඔබ වහන්සේට මහත් ප්‍රහේලිකාවක් විය යුතු යැයි සිතමි. ඔබ වහන්සේට අනුව බුදුරජානන් වහන්සේගේ ඒ පැණවීමට අනුව පෙර යම් පුද්ගලයින් විසින් අර්ථය පෙරටු කොට, ධර්මය පෙරටු කොට සහ අනුශාසනය පෙරටු කොට යම් ගැරහීම් කරන ලද නම් ඒ සියල්ලෝම ආපසු නොහැරෙන ශ්‍රද්ධාවක් නැති ආර්යය භාවය නොලත් හිස් පුද්ගලයින් යැයි සක්සුදක් සේ දක්නේ යැයි යන අදහස ඔබ වහන්සේ තුළ පැවතිය යුතු යැයි සිතමි. එකරුණින් ඔබ වහන්සේ විනය පිටකය දොස් සහිත සේ දකිනවා ද යන සැකය ද ඇතිවේ.

තව ද ස්වාමීන් වහන්ස ධම්මපදපාළියේ පණ්ඩිතවග්ගයේ පළමු ගාථාව ද මට සිහි වේ:

නිධීනංව පවත්තාරං යං පස්සෙ වජ්ජදස්සිනං
නිග්ගය්හවාදිං මෙධාවිං තාදිසං පණ්ඩිතං භජෙ
තාදිසං භජමානස්ස සෙය්‍යො හොති න පාපියො

අටුවාවේ නිග්ගය්හවාදිං යන වචනයට දී ඇති අරුත නම් ඔබ වහන්සේ අසා ඇති ධර්මයට අනුව ඒකාන්තයෙන්ම නොගැළපෙන්නකි. එකරුණින් ඔබ වහන්සේ අටුවාව ද දොස් සහිත සේ දකිනවා විය යුතු යැයි සිතමි.

සැකෙවින් කියුවොත් ත්‍රිපිටකයේ, අටුවාවේ එසේ දක්වා ඇති බුදුරජානන් වහන්සේ සහ ආර්යය ශ්‍රාවක පණ්ඩිතයෝ ඔබ වහන්සේ අසා ඇති ධර්මයට අනුව දුසිල්වත් බාලයින්ගේ ගණයට යති.

තෙරුවන් සරණයි!

කමල්

--

සබැඳි:

  1. ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තියපාළියේ ඔමසවාද ශික්ෂාපදය
  2. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දකනිකායේ ධම්මපදපාළියේ පණ්ඩිතවග්ගය
  3. ධම්මපදට්ඨකතාවේ පණ්ඩිතවග්ගවණ්ණනාව