අවුරුදු සැමරීම පිළිබඳ තපෝවනයේ රතන හිමිගේ මනස්ගාත

සිංහල අලුත් අවුරුද්ද සැමරීම කියන්නේ සර්වප්‍රකාරයෙන් යහපත් ක්‍රියාවක් හෝ සර්වප්‍රකාරයෙන් අයහපත් ක්‍රියාවක් නොවෙයි. මිනිසුන් එකමුතු කරවන, සමාජයේ යහපැවැත්මට හේතු වන ක්‍රියාවන් අලුත් අවුරුදු සැමරුමෙහි පවතිනවා. එසේ උවත් මිනිසුන්ව රවටන, මිනිසුන්ව මෝඩයින් කරවන, මිනිසුන්ව මිත්‍යාදෘෂ්ටිගන්වන ක්‍රියාවනුත් වර්තමානයේ ඒ තුළ දකින්න පුළුවන්. තපෝවනයේ රතන හිමි ඉහත වීඩියෝවේ පවසන සමහර කරුණු නිවැරදි නැහැ. අවුරුදු සැමරීම ගැන ධර්මානුකූලව විමසනවා නම් තමන්ගේ මනස්ගාත අදහස් පැත්තක තබා ධර්මයට අනුව විමසීමයි කළ යුත්තේ.

අවුරුදු සැමරීම ගැන ධර්මානුකූලව විමසන අයට දැක්විය හැකි පෙර මවිසින් ලියන ලද කෙටි ලිපියක් නම් "වාසනාව අතහැරගන්නා මෝඩ පුද්ගලයින්ගේ ක්‍රියාවක් වූ නැකැත් බැලීම" යන මාතෘකා ඇති ලිපිය. එහි නක්ඛත්ත ජාතකයෙන් උපුටා ගැනීමක් දැක්වෙනවා. නක්ඛත්ත ජාතකයේ ඇති ඒ සඳහනට අනුව සිංහල අලුත් අවුරුද්දට නැකත් බලමින් කටයුතු කරන අය පිළිබඳව ධර්මානුකූලව කිව හැක්කේ ඔවුන් වාසනාව අතහැරගන්නා මෝඩ පුද්ගලයින් බවයි.

අවුරුදු සැමරීම ගැන ධර්මානුකූලව විමසන අයට දැක්විය හැකි තවත් ත්‍රිපිටක සදහනක් නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ පඤ්චකනිපාතයේ උපාසකවග්ගයේ එන උපාසකචණ්ඩාල සූත්‍රය. එම සූත්‍රයට අනුව නැකැත් ක්‍රියාවන්හි යෙදෙමින් අලුත් අවුරුදු සමරන සුභනිමිති සොයන සහ කර්මය පැත්තක තබා මංගලය අදහන පුද්ගලයින්ගේ උපාසකභාවයේ දෝෂයක් ඇති බව දකින්න පුළුවන්.

අවුරුදු සැමරීම ගැන ධර්මානුකූලව විමසන අයට දැක්විය හැකි තවත් ත්‍රිපිටක සදහනක් නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දකනිකායේ සුත්තනිපාතයේ අට්‌ඨකවග්ගයේ තුවටක සූත්‍රයේ එන "ආථබ‍්බණං සුපිනං ලක‍්ඛණං, නො විදහෙ අථොපි නක‍්ඛත‍්තං" ලෙස ඇති පද. මේ පිළිබඳ මහානිද්දෙසපාළියේ (පිටු අංක 526 - 529) වැඩි විස්තර පවතිනවා. නැකැත් ඇතුළු තවත් යම් යම් දෑ ගැන බුද්ධාදීමාමක වූ මහණ තෙම අරභයා එහි සඳහන් වන්නේ  මෙසේයි: "නො කරන්නේ යැ, නො හැසිරෙන්නේ යැ, වෙසෙසින් නො හැසිරෙන්නේ යැ, මොනොවට ගෙන නො පවත්නේ යැ, නොහොත් නො ගන්නේ යැ, නො දරන්නේ යැ, නො විමසන්නේ යැ, නො සලකන්නේ යැ, නො යොදන්නේ නුයි". මෙසේ ඇති විට ධර්මයෙහි සඳහන් වන්නේ භික්ෂූන් අන් අයව නැකැත් කටයුතුවල යෙදවීම වත් නුසුදුසු බවයි.

ඉතින් තපෝවනයේ රතන හිමිම තමයි සිංහලයින්ව මෝඩකමේ සමාදන් කිරීම කර ඇත්තේ, තපෝවනයේ රතන හිමිම තමයි උපාසකයින්ව උපාසකචණ්ඩාලභාවයෙහි සමාදන් කිරීම කර ඇත්තේ, තපෝවනයේ රතන හිමිම තමයි අන් අයව නැකැත්හි යෙදවීමට කටයුතු කොට භික්ෂුවකට නුසුදුසු ක්‍රියාවක් කර ඇත්තේ. කෙටියෙන් කියුවොත් තපෝවනයේ රතන හිමි පවසන ඒ කරුණු බොහොමයක් ධර්මානුකූල නොවන හිස් කතා.

සිංහල අලුත් අවුරුද්ද සැමරීමෙහි යහපත් දෑ පවතිනවා. නමුත් සංස්කෘතිය කියා හෝ ජාතියා කියා හෝ තමන්ගේත් අනුන්ගේත් අවාසනාවට හේතු වන මෝඩකමේ සමාදන් වීම සිංහලායට ගැළපෙන්නෙත් නෑ, ඒ මෝඩකමේ සමාදන් වෙලා තමන්ගේ උපාසකභාවයට කැලැල් ඇතිකරගැනීම උපාසකයාට ගැළපෙන්නෙත් නෑ, ඒ මෝඩකමේ සමාදන් වෙලා තමන්ගේ ශාස්තෘන් වහන්සේගේ උපදෙස් නොසලකා හැර එතනිනුත් නොනැවතී ධර්මය යැයි අධර්මයෙහි අන් අයව සමාදන් කරවීම භික්ෂුවකට ගැළපෙන්නෙත් නැ.