විවාහයකින් පවුලකට එක්වන දුවක් හොඳ දුවක් වන්නේ කෙසේද?

ඉක්මනින් විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින යම් දියණියක් තමන්ට උයන්නට සහ ගෙදර වැඩකටයුතු පිරිසිදුව පිළිවෙළකට කළ හැකි නිසා තමන් එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින පවුලට හොඳ දුවක් වන්නට තමන්ට හැකි වනු ඇතැයි අන්තර්ජාලයේ යොදා තිබූ සටහනක් මගේ නෙත ගැටුනා. මම ඈගෙන් මෙසේ ඇසුවා:

"හ්ම්ම්ම්... හොඳ දුවෙක් වීමට කවර ගුණාංගවලින් සම්පූර්ණ විය යුතු ද?"

සංවාදයට එක් වූ තවත් තැනැත්තියකගෙන් මම මෙසේත් ඇසුවා:

"එහෙනම් පියුමාලිට කියන්න පුළුවන්ද "හොඳ දුවෙක්" කියලා කියන කොට හොඳ කියන්නේ මොනවා නිසා ද කියලා? මේ පාර මං අදහස් කරන්නේ මොකක්ද හොඳ දුවකගේ ඇති අවසාන අගය, අවසාන වටිනාකම යන්න. පවුලේ අයට මැරෙනකම් රසට කන්ඩ හැකි වීමද හොඳ දුවකගේ ඇති අවසාන වටිනාකම?"

ඇසූ ප්‍රශ්න දෙකටම මට සෑහීමට පත්විය හැකි පිළිතුරු ලැබුණේ නැහැ. සැකෙවින් කියුවොත් ඔවුන්ගේ අදහස වූයේ බොහෝ ගුණාංග ඇති බවත් ඒවා කෙටියෙන් පැහැදිලි කිරීම අපහසු බවත්.

පහත දැක්වෙන්නේ ඒ පිළිබඳ මමම දැක්වූ අදහස (සුළු සංස්කරණ සහිතව):

"එක් කාරණයකින්ම හොඳ දුවක් විස්තර කරනවා නම් මෙහෙම විස්තර කරන්න පුළුවන්: විවාහයකින් පවුලකට එක්වන යම් දුවකට ඒ පවුලේ පුද්ගලයින්ගේ ප්‍රඥාවේ අභිවෘද්ධියක් ඇති කළ හැකි නම් අන්න ඒ දුව හොඳ දුවක්. කරුණු දෙකකින් හොඳ දුවක් විස්තර කරනවා නම් මෙහෙම විස්තර කරන්න පුළුවන්: විවාහයකින් පවුලකට එක්වන යම් දුවකට ඒ පවුලේ පුද්ගලයින්ගේ මෙලොව අභිවෘද්ධියත්, පරලොව අභිවෘද්ධියත් ඇති කළ හැකි නම් අන්න ඒ දුව හොඳ දුවක්."

නොලිව්වත් පසුව මට මෙහෙමත් සිතුණා:

"එහෙම නැති දුවලාට මෙහෙම කියන්න පුළුවන්: නැතුවට හොඳ දුවලා."