හැම ආගමක්ම එකයි ද?

Submitted by Kamal Wickramanayake on

"හැම ආගමකින්ම එකම දේ කියවෙන්නේ, ඒ උනාට වෙන වෙන වචනවලින්" යන්න සමහරු දරණ මතයක්. මෙය සත්‍යයක් ද?

මෙය සත්‍යයක් නොවේ. හැම ආගමක්ම එකක් බව පවසන අය වෙනත් වෙනත් ආගම්වල කියවෙන්නේ කුමක් දැයි පැහැදිලි අවබෝධයක් නැතුවයි එසේ කියන්නේ.

උදාහරණයකට සමහර ආගම්වල නිෂ්‍ඨාව වන්නේ සදාකාලිකව දෙවියන් සමඟ එක්වීම. බුදුදහමේ නිෂ්ඨාව වන්නේ නිර්වාණය සාක්ෂාත් කිරීම. යමෙක් මතුපිටින් බලා මේ දෙකෙන්ම කියවෙන්නේ එකම දේ යැයි ද භාවිතා කොට ඇති වචන පමණක් වෙනස් යැයි කියුවොත් එය සත්‍යයක් ද? සදාකාලිකව දෙවියන් සමඟ එක්වීම දුකේ සදාකාලික පැවැත්මක් දක්වනවා. නිර්වාණය සාක්ෂාත් කිරීම දුකේ අවසානයක් දක්වනවා. මේ හේතුවෙන් අර්ථ වශයෙන් ගත් විට සදාකාලිකව දෙවියන් සමඟ එක්වීම සහ නිර්වාණය සාක්ෂාත් කිරීම එකම වන්නේ නැහැ. එබැවින් ඒ සමහර ආගම් වචනවලින් පමණක් නොව අර්ථයන්ගෙන් ගත් විටත් බුදු දහම සමඟ සැසදෙන්නේ නැහැ. ඒවා වෙනස්.

හැම ආගමක්ම එකයි ද යන්න පිළිබඳ බුදුරජානන් වහන්සේ කුමක් පවසා ඇත් ද? ඒ පිළිබඳ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ මහාවග්ගයේ සක්කපඤ්හ සූත්‍රයේ පිටු අංක 425 සිට ඉදිරියට (අංක 20 ලෙස ලකුණු කොට ඇති කොටසේ) සඳහන්ව තිබෙනවා. විවිධ ආගම්වාද වෙනස් බවත්, ඊට හේතුවත්, අතිරේක කරුණුත් එම සූත්‍රයේ සඳහන්ව තිබෙනවා.