මෙම ලිපියෙන් විස්තර කෙරෙන්නේ අධිකරණය දක්වා ගිය මමත් මගේ බිරිඳත් අතර ආරවුලක් පිළිබඳවයි.
මගේ බිරිඳ මට විරුද්ධව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 29187/24 යටතේ 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනතට අනුරූපව නඩුවක් ගොනු කොට තිබෙනවා. එය සලකා බැලූ ගරු මහෙස්ත්‍රාත් අධිකරණය 2024 මාර්තු 12 දින මට විරුද්ධව අතුරු ආඥාවක් නිකුත් කොට තිබෙනවා.
එම පනතට අනුව නිකුත් කෙරෙන අතුරු ආඥාවකින් කෙරෙන්නේ තාවකාලික බැඳීමක් ඇතිකරලීම. හුදෙක් මේ මේ දෙවල් කරන්ඩ එපා කියලයි ඉන් කියැවෙන්නේ. පුද්ගලයෙක්ව හිරේ දැමීමක් හෝ දඩ ගැසීමක් ඉන් සිදුවන්නේ නෑ.
අදාළ පනතේ 20 වගන්තිය මෙසේයි:
20.
(අ) මේ පනත යටතේ වූ, ඉල්ලීමක ඉල්ලුම්කරුගේ හෝ වගඋත්තරකරුගේ අනන්‍යතාවය දැනගත හැකි පරිදි එම ඉල්ලුම්කරුගේ හෝ වගඋත්තරකරුගේ නම හෝ වෙනත් කාරණයක්; හෝ
(ආ) ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ නඩු තීන්දුවක් හැර, මේ පනත යටතේ යම් අධිකරණයක පවතින නීති කෘත්‍යයකට අදාළව යම් කාරණයක් මුද්‍රණය කරන හෝ ප්‍රකාශයට පත් කරන යම් තැනැත්තකුට,
අවුරුදු දෙකක් දක්වා වූ කාලසීමාවක් සඳහා දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ බන්ධනාගාරගත කිරීමකින් සහ දඩයකින් හෝ දඩුවම් කරනු ලැබිය යුතු ය.
මට එන චෝදනාවන් සමාජයෙන් සඟවා ඉන්න මම කැමති නැහැ. ඒ නිසා එම නඩුව පිළිබඳ මෙම වෙබ් අඩවියේ සටහන් තබන්න මට උවමනාවක් තිබුණත් ඉහත වගන්ති හේතුවෙන් අදාළ නඩුව සම්බන්ධව කිසිවක් ප්‍රසිද්ධ කිරීමට නොහැකි බවක් මතුව තිබුණා. ඒත් මේ වන විට එම නඩුවට අදාළව ගරු අභියාචනාධිකරණයේ විභාග වූ MCR/1/25 නඩුවේ ආඥාවක් ගරු අභියාචනාධිකරණය විසින් අන්තර්ජාලයට මුදා හරිනු ලැබ තිබෙනවා. ඒ හේතුවෙන් එම ආඥාව පිළිබඳ යම් සීමිත අදහස් දැක්වීමක් කිරීමට හැකියාවක් ලැබී තිබෙනවා.
අදාළ ආඥාවේ පිටපතක් ගරු අභියාචනාධිකරණයේ වෙබ් අඩවියෙන් හෝ මෙතැනින් ලබාගන්න පුළුවන්: MCR-0001-25-order.pdf
අදාළ ආඥාව කියවා බැලුවොත් දකින්න පුළුවන් මම නිර්දෝෂීය යන ස්ථාවරයේ මම ඉන්නා බව. එත් මම ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා කරලා තියෙනවාද, කරලා නැද්ද, කවුද හරි, කවුද වැරදි, කුමක් ද සිදුව ඇත්තේ ආදී දෑ පිළිබඳ මේ අවස්ථාවේදී තර්ක විතර්ක කිරීමට නොයන මෙන් මම ඉල්ලා සිටිනවා. ඒ පිළිබඳ විස්තර දැක්වීමට මෙය අවස්ථාව නොවෙයි.
ගරු අභියාචනාධිකරණය අන්තර්ජාලයට මුදා හැර ඇති අදාළ ආඥාව දෙස බැලීමේදී එහි පුද්ගලයින්ගේ අනන්‍යතාවය පිළිබඳ විස්තර අඩංගු වෙනවා. ඒ නිසා තවදුරටත් එම ආඥාවේ සඳහන් කාරණාවල් ඉහත දැක්වූ 20(අ) වගන්තිය යටතේ ආවරණය වන්නේ නෑ. තවද MCR/1/25 ඉල්ලීම ගරු අභියාචනාධිකරණයේ මේ වන විට අවසන්ව ඇති නීති කෘත්‍යයක් බැවින් ඉහත උපුටා දක්වන ලඳ පනතේ 20(ආ) වගන්තියත් එම ඉල්ලීමට මේ වන විට අදාළ වන්නේ නෑ. හුදෙක් අදාළ ආඥාවේ ඇති කරුණු කිහිපයක් පිළිබඳ පමණයි මම මේ අවස්ථාවේ සටහන් තබන්නේ.
ආඥාවේ තුන්වන පිටුවේ මෙසේ සඳහන්ව තිබෙනවා:
The case was being heard under case number TRF 8/25.
මෙය යම් අතපසුවීමක් බවයි මට හිතෙන්නේ. පළමු පිටුවේ ඇති නඩුවේ ශීර්ෂය දෙස බැලුවොත් අදාළ නඩු අංකය 29187/24 බව දකින්න පුළුවන්. TRF/8/25 කියන්නෙත් මමම ගරු අභියාචනාධිකරණයේ ගොනු කළ වෙනත් නඩුවක නඩු අංකය. TRF කේතයෙන් දැක්වෙන්නේ TRANSFER යන්නයි. එවන් නඩුවකින් යම් නඩුවක් එක් අධිකරණයකින් තවත් අධිකරණයකට මාරු කිරීමට ගරු අභියාචනාධිකරණයෙන් ඉල්ලන්න පුළුවන්. එම නඩුවත් විභාග වී අවසානයි. ඉන් මම ඉල්ලා සිටි සහනය ගරු අභියාචනාධිකරණය විසින් ලබා දුන්නා.
ආඥාවේ පස්වන පිටුවේ මෙසේ සඳහන් වෙනවා:
The Petitioner himself must accept the blame of not taking such prudent decision at the earliest.
ඉන් කියැවෙන්නේ මමම මම කළ නොකර හැරීමක් සම්බන්ධයෙන් බැනුම් ඇසිය යුතු බවයි. මේ කාරණය නම් මදක් වෙනස් ආකාරයටක ලියැවී තිබුණා නම් වඩාත් සුදුසුයි කියලයි මට හිතෙන්නේ. ඉංග්‍රීසියෙන් ආඥාවේ අදාළ කාරණාව විස්තර කරලා තිබුණත් මම සිංහලෙන් ඒ ගැන විස්තර කරන්නම්.
පනතට අනුව ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ නඩුවක ආරම්භයේදී වගඋත්තරකරුට හැකියාවක් තියෙනවා තමන් වරදක් හෝ වැරදි කර නැති මුත් උපරිමයෙන් මාස දොළහකට සීමා වන ආරක්ෂක ආඥාවක් ලෙස හැඳින්වෙන ආඥාවක් යටතේ යම් යම් සීමාවන්ට යටත් වන්න කැමති බව ගරු අධිකරණයට දන්වන්න. එවිට ගරු අධිකරණය එම ආරක්ෂක ආඥාව නඩුවේ ආරම්භයේදීම නිකුත් කරනවා. එවිට නඩු විභාගයක් ඉන් ඉදිරියට කෙරෙන්නේ නෑ. ගරු අධිකරණය තීරණය කරන උපරිමය මාස දොළහක් විය හැකි කාලයට පසුව අදාළ ආරක්ෂක ආඥාවේ බලාත්මක බව අවසන් වෙනවා.
ඊට කැමති නැති වුවොත් ආරක්ෂක ආඥාවක් නිකුත් කළ යුතු ද නැද්ද යන්න තීරණය කෙරුමට නඩු විභාගය පැවැත්වෙනවා. නමුත් ඒ නඩු විභාගය සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ උපරිම වසරකට සීමා වන ලෙස ලබා දීමට නියමිත ආරක්ෂක ආඥාවම අතුරු ආඥාව යන නමින් ක්‍රියාත්මක වන අතරතුරයි.
ඉතින් උපරිමයෙන් වසරකට සීමා වන ලෙස ලබා දීමට නියමිත ආරක්ෂක ආඥාවම අතුරු ආඥාව යන නමින් ක්‍රියාත්මක වෙමින් පැවතියදී නඩු විභාගය සඳහාම වසරකට වඩා වැඩි කාලයක් ගත වූවොත් කුමක් ද සිදුවන්නේ? වගඋත්තරකරු නඩු විභාගයෙන් වරදකරු වීමට පෙරම අතුරු ආඥාව ක්‍රියාත්මක වන කාලය ආරක්ෂක ආඥාව ක්‍රියාත්මක විය යුතු යැයි ලබා දිය හැකි උපරිම කාලයට වඩා ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ වරදකරු වෙලා ලැබිය හැකි උපරිම දඩුවම ලබන්න කලින් නඩු විභාගයට යන කාලය නිසා ඊට වඩා වැඩි දණ්ඩනයකට වගඋත්තරකරුව ලක් වෙනවා. එහි යුක්ති සහගත නොවන බවයි මගේ මතය. ගරු අභියාචනාධිකරණයේ ආඥාව කියවා බැලුවොත් දකින්න පුළුවන් අන්න එවන් තත්වයකට මුහුණ දීම නිසයි මම ගරු අභියාචනාධිකරණයේ අදාළ නඩුව ගොනු කළේ කියලා.
නැවතත් කලින් කියපු කාරණාව ගැන බලමු. නඩුව ආරම්භයේදී වරදක් හෝ වැරදි කර නැති මුත් උපරිමයෙන් මාස දොළහකට සීමා වන ආරක්ෂක ආඥාවකට කැමති වන වගඋත්තරකරුවෙකුට උපරිමයෙන් ලැබෙන දණ්ඩනය වන්නේ මාස දොළහකට ආරක්ෂක ආඥාවට අනුව යම් යම් සීමාවන්ට යටත්ව කටයුතු කිරීමට. තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමේ අදහසින් ඊට අකමැති වන කෙනෙකුගේ නඩු විභාගය කල් ගියොත් වැරදිකරු වීමට කලින්ම උපරිම දණ්ඩනයත් ඉක්මවලා දඩුවම් විඳින්න ඒ පුද්ගලයාට සිදු වෙනවා.
ඒ නිසා වරද නොපිළිගෙන ආරක්ෂක ආඥාවට ආරම්භයේදීම කැමති වීම දූරදර්ශී තීරණක් ලෙස ගැනීම සුදුසු ද? එම අදහස හැම අවස්ථාවකටම නොගැළපෙන බවයි මට හිතෙන්නේ.
ඊට එක් හේතුවක් ලෙස මට හිතෙන තත්වයක් මම පැහැදිලි කරන්නම්. පනතේ ඇති එම ප්‍රතිපාදනයට කැමති වන අයෙකුට ආරක්ෂක ආඥාවේ බලාත්මක කාලය අවසන් වූ පසු ඒ ආකාරයටම නැවතත් චෝදනා කෙරෙමින් නඩු පැවරුණොත් කුමක් ද කරන්නේ? නැවතත් එම ප්‍රතිපාදනයට කැමති වෙලා නැවත උපරිමයෙන් අවුරුද්දක කාලයකට ආරක්ෂක ආඥාවකට යටත් වෙන්න යෑ? එහෙම දිගටම වෙන්න ගත්තොත් ඒ නඩු කීමේ අවසානයක් ඇතිවන්නේ නෑ. චෝදනාව අභූත නම් සහ ඒ වාගේ දිගින් දිගටම නඩු පැවරීම් සිද්ධ වූවොත් චෝදනා ලබන්නා ඉන් දිගටම පීඩාවට පත්වීම සිදුවෙනවා. තවද අභූත චෝදනාව කරන්නාට පහසු ක්‍රමයක් ඇතිවෙනවා අධිකරණ පද්ධතිය අවභාවිතා කරමින් අභූත චෝදනාවක් කරලා චෝදනා ලබන්නාව පහසුවෙන් පීඩාවට ලක් කරන්න. අන්න ඒ නිසා මම හිතන්නේ නෑ පනතේ ඇති එම ප්‍රතිපාදනයට කැමති වීම හැම කෙනෙකුටම සාධාරණ දූරදර්ශී තීරණයක් වන බව.
එක් එක් අයට ඔය වාගේ තම තමන්ට බලපාන හේතු තියෙන්න පුළුවන්.
ඉහත හේතු දැක්වීමෙන් මම පෙන්වා දෙන්න උත්සාහ කළේ මම නිවැරදි කාරයා, මගේ බිරිඳ වැරදි කාරයා යන්න කියලා වැරදි වැටහීමක් ඇතිකර ගන්න එපා. බැලූ බැල්මට පෙනෙන නඩු නිමිත්තක් නොමැතිව නඩුවක් ආරම්භ කරන්න ගරු අධිකරණය ඉඩ දෙන්නේ නෑ. ඒ වගේම ඉදිරිපත් කෙරෙන කරුණුවල සත්‍ය අසත්‍යතාවය පරික්ෂා කර බලා නීතිමය තත්වයනුත් සලකා බලා ලබා දෙන නඩුවක විනිශ්චය කුමක් වේ දැයි පහසුවෙන් පෙර තීරණය කරන්නත් බෑ. මම පෙන්වා දෙන්න උත්සාහ කළේ ගරු අභියාචනාධිකරණ ආඥාවේ සඳහන් "The Petitioner himself must accept the blame of not taking such prudent decision at the earliest." යන්න වෙනස් ආකාරයකට ලියැවුනා නම් වඩාත් සුදුසු යැයි මම හිතන බව. මුලදීම ඒ ආකාර තීරණයකට එළැඹීම සැබෑවටම දූරදර්ශී තීරණයක් වෙනවාද යන වග පුද්ගල සහ අවස්ථානුගත කරුණු මත තීරණය කරන්න වෙන බවයි මම දකින්නේ.
ගරු අභියාචනාධිකරණ ආඥාවේ පිටු අංක හතේ පනතේ 11(2)(ආ) උපවගන්තිය පිළිබඳ සදහනක් තිබෙනවා. පනතේ එම උපවගන්තිය මෙසේයි:
(1) වන උපවගන්තියේ සඳහන් යම් තහනමක් පැනවීමේ දී - ආඥාව කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් වගඋත්තරකරුට හෝ වෙනත් යම් තැනැත්තෙකුට සිදුවිය හැකි යම් දුෂ්කරතාවයක්, පිළිබඳව අධිකරණය සැලකිල්ලට ගත යුතු ය.
යම් අයෙක් මේ උපවගන්තියට අනුව අතුරු ආඥව හෝ ආරක්ෂක ආඥාවක් පිළිබඳ ගරු මහෙස්ත්‍රාත් අධිකරණයෙන් යම් සහන ඉල්ලීම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මම මෙන්න මේ ක්‍රියාව සුදුසු යැයි යෝජනා කරනවා: ඉල්ලීම් ලිඛිතව කරන්න. වාචිකව ඉල්ලීම් කරන්න යෑමේදී සමහර විට අධිකරණය ඉල්ලීම් කරන්නවත් ඉඩ නොදෙන්න පුළුවන්. ලිඛිතව ඉල්ලීම් කිරීමට ඇති යම් නොහැකියාවක් මත වාචික ඉල්ලීම් කරනවා නම් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප වුවහොත් ඒ පිළිබඳ සටහන් තබන ලෙස ගරු අධිකරණයෙන් අයැද සිටින්න. එවිට අවශ්‍ය වුවහොත් ඉහළ අධිකරණයකට ගොස් සහන ඉල්ලන අවස්ථාවක තමන් පහළ අධිකරණයෙන් සහන ඉල්ලූ බවත් පහළ අධිකරණයෙන් සහන නොලැබුණු නිසා ඉහළ අධිකරණයට පැමිණි බවත් දක්වන්න පහසුයි.
පනත යටතේ නිකුත් කොට ඇති අතුරු ආඥාවක් නිසා සිදුවන යම් අසාධාරණයක් පිළිබඳ ගරු මහාධිකරණයට අභියාචනා කරන්න හැකියාවක් ඇත්තේ නැහැ. අභියාචනා කරන්න පුළුවන් වන්නේ නඩුව විභාග කොට අවසානයේ ආරක්ෂක ආඥාවක් නිකුත් කළ විට පමණයි. එබැවින් අතුරු ආඥාවකින් සිදුවන අසාධාරණයක් පිළිබඳ ගරු මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සහනයක් නොලැබුණහොත් කළ හැකි එක් ප්‍රතිකර්මයක් වන්නේ ගරු මහාධිකරණයට ප්‍රතිශෝධන ඉල්ලීමක් (revision application) ඉදිරිපත් කිරීම. නමුත් ප්‍රතිශෝධන ඉල්ලීම් ඉදිරිපත් කිරීමේදී සුවිශේෂී තත්වයන් (exceptional circumstances) නොතිබුණොත් ගරු මහාධිකරණය මුලින්ම ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනවා.
මම ඉදිරිපත් කළා හා යම් යම් සමානකම් ඇති නඩු පෙර කාලයේ ගරු අභියාචනාධිකරණය විභාග කළා. නමුත් මාස කිහිපයකට පෙර ගරු ශ්‍රේෂ්‍ඨාධිකරණය නිකුත් කළ SC/APPEAL/65/2025 නඩු තීන්දුවේ සඳහන් කරුණුවලට අනුව ඉදිරියට සමහර නඩු ගරු අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඵලක් වන්නේ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 145 ව්‍යවස්ථාවට අනුව ඉදිරිපත් කරන නඩුවලටත් ඒ කරුණු බලපාන බවයි මගේ දැනීම. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 145 ව්‍යවස්ථාවට අනුව ඉල්ලීමක් කිරීමේදීත් ගරු අභියාචනාධිකරණයේ ප්‍රතිශෝධන අධිකරණ බලය අවශ්‍ය වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ "enabling provisions" සහ "entrenched provisions" ගැන කතාකරන්න මේ ලිපිය සුදුසු නැතැයි මම හිතන නිසා ඒ පිළිබඳ මීට වඩා විස්තර මම මේ ලිපියේ ලියන්නේ නෑ.
යම් අයෙක් මම ගරු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලීමට පාදක වූ කාරණා මත ඉහළ අධිකරණයකින් සහන බලාපොරොත්තු වෙනවා නම් ගරු මහාධිකරණයේ ප්‍රතිශෝධන බලතල ක්‍රියාත්මක කරවා ගැනීම හෝ ගරු අභියාචනාධිකරණයේ රිට් අධිකරණ බලය ක්‍රියාත්මක කරවා ගත හැකි දැයි විමසා බලන්න. රිට් අධිකරණ බලය ක්‍රියාත්මක කරවා ගැනීමට යාමේදී සහන ලබා ගැනීමට විකල්ප ක්‍රම පවතින බව දැක්කොත් ගරු අධිකරණය රිට් අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ගරු මහාධිකරණයේ ප්‍රතිශෝධන බලතල ක්‍රියාත්මක කරවා ගැනීමේ හැකියාව තිබියදී ගරු අභියාචනාධිකරණයේ රිට් අධිකරණ බලය ක්‍රියාත්මක කරවා ගැනීමට යෑම අසාර්ථක වෙන්න පුළුවන්.
මගේ ඉල්ලීම සලකා බලා ආඥාවක් ලබා දුන් ගරු අභියාචනාධිකරණයේ K. P. ෆනෑන්ඩෝ ගරු විනිසුරු තුමාටත්, ගරු අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ගරු විනිසුරු තුමාටත්, එම කාර්යයන්ට සහය දුන් ගරු අභියාචනාධිකරණයේ කාර්ය මණ්‍ඩලයටත් මම කෘතඥ වෙනවා.