මෙම ලිපියෙන් විස්තර කෙරෙන්නේ අධිකරණය දක්වා ගිය මමත් මගේ බිරිඳත් අතර ආරවුලක් පිළිබඳවයි.
මගේ බිරිඳ මට විරුද්ධව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 29187/24 යටතේ 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනතට අනුරූපව නඩුවක් ගොනු කොට තිබෙනවා. එය සලකා බැලූ මහෙස්ත්‍රාත් අධිකරණය 2024 මාර්තු 12 දින මට විරුද්ධව අතුරු ආඥාවක් නිකුත් කොට තිබෙනවා.
එම පනතට අනුව නිකුත් කෙරෙන අතුරු ආඥාවකින් කෙරෙන්නේ තාවකාලික බැඳීමක් ඇතිකරලීම. හුදෙක් මේ මේ දෙවල් කරන්ඩ එපා කියලයි ඉන් කියැවෙන්නේ. පුද්ගලයෙක්ව හිරේ දැමීමක් හෝ දඩ ගැසීමක් ඉන් සිදුවන්නේ නෑ.
අදාළ පනතේ 20 වගන්තිය මෙසේයි:
20.
(අ) මේ පනත යටතේ වූ, ඉල්ලීමක ඉල්ලුම්කරුගේ හෝ වගඋත්තරකරුගේ අනන්‍යතාවය දැනගත හැකි පරිදි එම ඉල්ලුම්කරුගේ හෝ වගඋත්තරකරුගේ නම හෝ වෙනත් කාරණයක්; හෝ
(ආ) ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ නඩු තීන්දුවක් හැර, මේ පනත යටතේ යම් අධිකරණයක පවතින නීති කෘත්‍යයකට අදාළව යම් කාරණයක් මුද්‍රණය කරන හෝ ප්‍රකාශයට පත් කරන යම් තැනැත්තකුට,
අවුරුදු දෙකක් දක්වා වූ කාලසීමාවක් සඳහා දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ බන්ධනාගාරගත කිරීමකින් සහ දඩයකින් හෝ දඩුවම් කරනු ලැබිය යුතු ය.
මට එන චෝදනාවන් සමාජයෙන් සඟවා ඉන්න මම කැමති නැහැ. ඒ නිසා එම නඩුව පිළිබඳ මෙම වෙබ් අඩවියේ සටහන් තබන්න මට උවමනාවක් තිබුණත් ඉහත වගන්ති හේතුවෙන් අදාළ නඩුව සම්බන්ධව කිසිවක් ප්‍රසිද්ධ කිරීමට නොහැකි බවක් මතුව තිබුණා. ඒත් මේ වන විට එම නඩුවට අදාළව ගරු අභියාචනාධිකරණයේ විභාග වූ MCR/1/25 නඩුවේ ආඥාවක් ගරු අභියාචනාධිකරණය විසින් අන්තර්ජාලයට මුදා හරිනු ලැබ තිබෙනවා. ඒ හේතුවෙන් එම ආඥාව පිළිබඳ යම් සීමිත අදහස් දැක්වීමක් කිරීමට හැකියාවක් ලැබී තිබෙනවා.
අදාළ ආඥාවේ පිටපතක් ගරු අභියාචනාධිකරණයේ වෙබ් අඩවියෙන් හෝ මෙතැනින් ලබාගන්න පුළුවන්: MCR-0001-25-order.pdf
අදාළ ආඥාව කියවා බැලුවොත් දකින්න පුළුවන් මම නිර්දෝෂීය යන ස්ථාවරයේ මම ඉන්නා බව. එත් මම ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා කරලා තියෙනවාද, කරලා නැද්ද, කවුද හරි, කවුද වැරදි, කුමක් ද සිදුව ඇත්තේ ආදී දෑ පිළිබඳ මේ අවස්ථාවේදී තර්ක විතර්ක කිරීමට නොයන මෙන් මම ඉල්ලා සිටිනවා. ඒ පිළිබඳ විස්තර දැක්වීමට මෙය අවස්ථාව නොවෙයි.
ගරු අභියාචනාධිකරණය අන්තර්ජාලයට මුදා හැර ඇති අදාළ ආඥාව දෙස බැලීමේදී එහි පුද්ගලයින්ගේ අනන්‍යතාවය පිළිබඳ විස්තර අඩංගු වෙනවා. ඒ නිසා තවදුරටත් එම ආඥාවේ සඳහන් කාරණාවල් ඉහත දැක්වූ 20(අ) වගන්තිය යටතේ ආවරණය වන්නේ නෑ. තවද MCR/1/25 ඉල්ලීම ගරු අභියාචනාධිකරණයේ මේ වන විට අවසන්ව ඇති නීති කෘත්‍යයක් බැවින් ඉහත උපුටා දක්වන ලඳ පනතේ 20(ආ) වගන්තියත් එම ඉල්ලීමට මේ වන විට අදාළ වන්නේ නෑ. හුදෙක් අදාළ ආඥාවේ ඇති කරුණු කිහිපයක් පිළිබඳ පමණයි මම මේ අවස්ථාවේ සටහන් තබන්නේ.
ආඥාවේ තුන්වන පිටුවේ මෙසේ සඳහන්ව තිබෙනවා:
The case was being heard under case number TRF 8/25.
මෙය ආඥාව ලිවීමේදී ඇතිව ඇති දෝෂයක් බවයි පෙනෙන්නේ. පළමු පිටුවේ ඇති නඩුවේ ශීර්ෂය දෙස බැලුවොත් අදාළ නඩු අංකය 29187/24 බව දකින්න පුළුවන්. TRF/8/25 කියන්නෙත් මමම ගරු අභියාචනාධිකරණයේ ගොනු කළ වෙනත් නඩුවක නඩු අංකය. TRF කේතයෙන් දැක්වෙන්නේ TRANSFER යන්නයි. එවන් නඩුවකින් යම් නඩුවක් එක් අධිකරණයකින් තවත් අධිකරණයකට මාරු කිරීමට ගරු අභියාචනාධිකරණයෙන් ඉල්ලන්න පුළුවන්. එම නඩුවත් විභාග වී අවසානයි. ඉන් මම ඉල්ලා සිටි සහනය ගරු අභියාචනාධිකරණය විසින් ලබා දුන්නා.
ආඥාවේ පස්වන පිටුවේ ගරු අභියාචනාධිකරණ විනිසුරු තුමන් මෙසේ සඳහන් කොට තිබෙනවා:
The Petitioner himself must accept the blame of not taking such prudent decision at the earliest.
ඉන් කියැවෙන්නේ මමම මම කළ නොකර හැරීමක් සම්බන්ධයෙන් බැනුම් ඇසිය යුතු බවයි. එය නම් මම පිළිගන්නේ නෑ. ඉංග්‍රීසියෙන් ආඥාවේ අදාළ කාරණාව විස්තර කරලා තිබුණත් මම සිංහලෙන් ඒ ගැන විස්තර කරන්නම්.
පනතට අනුව ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ නඩුවක ආරම්භයේදී වගඋත්තරකරුට හැකියාවක් තියෙනවා තමන් වරදක් හෝ වැරදි කර නැති මුත් උපරිමයෙන් මාස දොළහකට සීමා වන ආරක්ෂක ආඥාවක් ලෙස හැඳින්වෙන ආඥාවක් යටතේ යම් යම් සීමාවන්ට යටත් වන්න කැමති බව අධිකරණයට දන්වන්න. එවිට අධිකරණය එම ආරක්ෂක ආඥාව නඩුවේ ආරම්භයේදීම නිකුත් කරනවා. එවිට නඩු විභාගයක් ඉන් ඉදිරියට කෙරෙන්නේ නෑ. අධිකරණය තීරණය කරන උපරිමය මාස දොළහක් විය හැකි කාලයට පසුව අදාළ ආරක්ෂක ආඥාවේ බලාත්මක බව අවසන් වෙනවා.
ඊට කැමති නැති වුවොත් ආරක්ෂක ආඥාවක් නිකුත් කළ යුතු ද නැද්ද යන්න තීරණය කෙරුමට නඩු විභාගය පැවැත්වෙනවා. නමුත් ඒ නඩු විභාගය සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ උපරිම වසරකට සීමා වන ලෙස ලබා දීමට නියමිත ආරක්ෂක ආඥාවම අතුරු ආඥාව යන නමින් ක්‍රියාත්මක වන අතරතුරයි.
ඉතින් උපරිමයෙන් වසරකට සීමා වන ලෙස ලබා දීමට නියමිත ආරක්ෂක ආඥාවම අතුරු ආඥාව යන නමින් ක්‍රියාත්මක වෙමින් පැවතියදී නඩු විභාගය සඳහාම වසරකට වඩා වැඩි කාලයක් ගත වූවොත් කුමක් ද සිදුවන්නේ? වගඋත්තරකරු නඩු විභාගයෙන් වරදකරු වීමට පෙරම අතුරු ආඥාව ක්‍රියාත්මක වන කාලය ආරක්ෂක ආඥාව ක්‍රියාත්මක විය යුතු යැයි ලබා දිය හැකි උපරිම කාලයට වඩා ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ වරදකරු වෙලා ලැබිය හැකි උපරිම දඩුවම ලබන්න කලින් නඩු විභාගයට යන කාලය නිසා ඊට වඩා වැඩි දණ්ඩනයකට වගඋත්තරකරුව ලක් වෙනවා. එහි ඇති යුක්තියක් මට පේන්නේ නෑ. අභියාචනාධිකරණයේ ආඥාව කියවා බැලුවොත් දකින්න පුළුවන් අන්න එවන් තත්වයකට මුහුණ දීම නිසයි මම අභියාචනාධිකරණයේ අදාළ නඩුව ගොනු කළේ කියලා.
නැවතත් කලින් කියපු කාරණාව ගැන බලමු. නඩුව ආරම්භයේදී වරදක් හෝ වැරදි කර නැති මුත් උපරිමයෙන් මාස දොළහකට සීමා වන ආරක්ෂක ආඥාවකට කැමති වන වගඋත්තරකරුවෙකුට උපරිමයෙන් ලැබෙන දණ්ඩනය වන්නේ මාස දොළහකට ආරක්ෂක ආඥාවට අනුව යම් යම් සීමාවන්ට යටත්ව කටයුතු කිරීමට. තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමේ අදහසින් ඊට අකමැති වන කෙනෙකුගේ නඩු විභාගය කල් ගියොත් වැරදිකරු වීමට කලින්ම උපරිම දණ්ඩනයත් ඉක්මවලා දඩුවම් විඳින්න ඒ පුද්ගලයාට සිදු වෙනවා.
ඉතින් ගරු අභියාචනාධිකරණ විනිසුරු තුමා පවසලා තියෙන්නේ වරද නොපිළිගන්නා මුත් ආරක්ෂක ආඥාවට ආරම්භයේදීම කැමති වීමේ දූරදර්ශී තීරණක් ලෙස ගරු විනිසුරු තුමන් සඳහන් කර ඇති තීරණයට ආරම්භයේදීම මම නොඑළඹීම මත වැඩි දඩුවමකට මාව ලක්වීමේ දෝෂයට මමම බැනුම් ඇසිය යුත බව. ගරු විනිසුරුතුමාගේ ඒ අදහස හැමෝටම ගැළපෙන දූරදර්ශී තීරණයක් යැයි මම හිතන්නේ නෑ. ඒ ඇයි?
ඊට එක් හේතුවක් මෙසේයි. පනතේ ඇති එම ප්‍රතිපාදනයට කැමති වන අයෙකුට ආරක්ෂක ආඥාවේ බලාත්මක කාලය අවසන් වූ පසු ඒ ආකාරයටම නැවතත් චෝදනා කෙරෙමින් නඩු පැවරුණොත් මොකද කරන්නේ? නැවතත් එම ප්‍රතිපාදනයට කැමති වෙලා නැවත උපරිමයෙන් අවුරුද්දක කාලයකට ආරක්ෂක ආඥාවකට යටත් වෙන්න ද? එහෙම දිගටම වෙන්න ගත්තොත් ඒ නඩු කීමේ අවසානයක් ඇතිවන්නේ නෑ. චෝදනාව අභූත නම් සහ ඒ වාගේ දිගින් දිගටම නඩු පැවරීම් සිද්ධ වූවොත් චෝදනා ලබන්නා ඉන් දිගටම පීඩාවට පත්වීම සිදුවෙනවා. තවද අභූත චෝදනාව කරන්නාට පහසු ක්‍රමයක් ඇතිවෙනවා අධිකරණ පද්ධතිය අවභාවිතා කරමින් අභූත චෝදනාවක් කරලා චෝදනා ලබන්නාව පහසුවෙන් පීඩාවට ලක් කරන්න. අන්න ඒ නිසා මම හිතන්නේ නෑ පනතේ ඇති එම ප්‍රතිපාදනයට කැමති වීම හැම කෙනෙකුටම සාධාරණ දූරදර්ශී තීරණයක් වන බව.
උදාහරණයක් සහිතව මම තවත් හේතුවක් දක්වන්නම්. මේ දිනවල සමාජ මාධ්‍යයේ බහූලව දක්නට ලැබෙනවා දරුවෙකුගේ පීතෘත්වය තහවුරු කිරීමට ඩීඑන්ඒ පරික්ෂණයකට මුහුණ නොදීම නිසා තමන් බුදු වූවා යැයි පවසා ඇති සියම් නිකායේ මල්වතු පකිස් බූරු පාර්ෂවයේ පිටිදූවේ පකිස් බූරුවාට චෝදනා එල්ල වන බව. මුලදීම පිටිදූවේ පකිස් බූරුවා ඒ පරීක්ෂණයට ලක් වූවා නම් තමන් නිවැරදි නම් මේ වන විට පිටිදූවේ පකිස් බූරුවා ගැන නොයෙක් දෙනා සැක ඇති කර ගැනීම හෝ පිටිදූවේ පකිස් බූරුවාට දොස් ඇසීමට සිදුවන්නේ නෑ. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ පනතේ ප්‍රතිපාදනවලට අනුව වරදකරු බව නොපිළිගෙන නඩු විභාගයක් නොමැතිව ආරක්ෂක ආඥාවට යටත් වීමට කැමති වන කෙනෙකුටත් ඒ වාගේ චෝදනාවක් අනාගතයේදී ඇතිවන්න පුළුවන්. ඒ කිව්වේ අන් අය අනාගතයේදී වගඋත්තරකරුට චෝදනා කරන්න පුළුවන් නඩු විභාගය මඟ හැර ආරක්ෂක ආඥාවට කැමති වූයේ වරදකරුවෙකු නොවන නිසා නොව සැබෑවටම වරදකරුවෙකු නිසා බව. අන්න ඒ අනාගතයේ සිදුවිය හැකි ගැටලුවට අකමැති අයට පනතේ ඇති එම ප්‍රතිපාදනයට කැමති වීම දූරදර්ශී තීරණයක් වන්නේ නෑ.
මම තවත් හේතුවක් දක්වන්නම්. බොහෝ දෙනා දන්නවා විශේෂයෙන්ම බුදු දහමට අදාළව විකෘති අර්ථ සපයන අයට මම චෝදනා කරන බව. එහෙම කරන මට වෙනත් අය චෝදනා කළොත් මම ඒ චෝදනා මඟහැරලා ලිස්සලා යෑම සුදුසු ද? නිර්ණාමික අභූත චෝදනා නම් යම් යම් අවස්ථාවන්හිදී නොසලකා ඉන්න පුළුවන්. ඒත් අන් අය නාමිකව ඉදිරිපත් වෙමින් චෝදනා කළොත් මමත් ඒ චෝදනා මඟහැරලා ලිස්සලා යෑම සුදුසු ද? එහෙම කළොත් ඉන් සිදුවන්නේ අයහපතක්.
සිදුවිය යුත්තේ මම ඒ චෝදනාවට මුහුණ දීලා චෝදනාව නිවැරදි බව මුලින්ම වැටහේ නම් එය පිළිගෙන නිවැරදි වීමේ ක්‍රියා පිළිවෙතකට මුලින්ම යොමු වීම. චෝදනාව වැරදි බව පෙනේ නම් හරි වැරැද්ද නිශ්චය කරන ක්‍රියාදාමයකට එළැඹ සැබෑවටම මගේ වරදක් ඇති බව තහවුරු වුවහොත් එතැනදී හෝ මට නිවැරදි වෙන්න අවස්ථාවක් ඇති වෙනවා. චෝදනාව වැරදි නම් මගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීම මට චෝදනා කරන අයට නිවැරදි වෙන්න අවස්ථාවක් සලසනවා. චෝදනාව නිවැරදි නොවී සහ චෝදනා කරන්නා නිවැරදි නොවී ඉන්නවා නම් චෝදනාව කරන්නා අධිකරණයක් ඉදිරියේ ඉබේම නිග්‍රහයට පත්වීමෙන් අඩු තරමින් සමාජයට යහපතක් වෙනවා. නිදොස් පුද්ගලයින්ට අභූතයෙන් චෝදනා එල්ලවීම ඉන් යටපත් වෙනවා.
අන්න ඒ කාරණය නිසාත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව පිළිබඳ පනතේ අදාළ ප්‍රතිපාදනයට කැමති වීම සැමවිටම දූරදර්ශී තීරණයක් වන්නේ නැති බවයි මගේ අදහස.
මම තවත් හේතුවක් දක්වන්නම්. අන්තර්ජාතිකව බුදු දහම ප්‍රචාරයට කටයුතු කරන මට යම් අයෙක් අභූත චෝදනාවක් කළොත් වක්‍රාකාරයෙන් මගේ ශාස්තෘන් වහන්සේව ඉන් නිග්‍රහයට පත්වෙනවා දකින්න මම කැමති නෑ. මිනිසුන්ට මට චෝදනා කරන්න පුළුවන්කමක් තියෙනවා ඔන්න බුදුන් වහන්සේගේ මහ ලොකු ශ්‍රාවකයෙක් කියා ගන්නා අයෙකුගේ ක්‍රියාව කියා. ඉන් වක්‍රාකාරයෙන් මගේ ශාස්තෘන් වහන්සේව පහත් කොට තැකීමක් සිදුවෙනවා. ඒ නිසා යමෙක් මට අභූත චෝදනා කළොත් ධාර්මිෂ්ඨව එම චෝදනාව සංසිදුවීමට කටයුතු කිරීමයි මට කළ හැකි දූරදර්ශී ක්‍රියාව ලෙස මම දකින්නේ.
ඉහත හේතු දැක්වීමෙන් මම පෙන්වා දෙන්න උත්සාහ කළේ මම නිවැරදි කාරයා, මගේ බිරිඳ වැරදි කාරයා යන්න කියලා වැරදි වැටහීමක් ඇතිකර ගන්න එපා. එම හේතු දැක්වීමෙන් මම පෙන්වා දෙන්න උත්සාහ කළේ ගරු අභියාචනාධිකරණ විනිසුරුතුමා ආඥාවේ සඳහන් කර ඇති "The Petitioner himself must accept the blame of not taking such prudent decision at the earliest." යන්නෙන් කියැවෙන දූරදර්ශී තීරණයක් ලෙස ගරු අභියාචනාධිකරණ විනිසුරු තුමා සඳහන් කර ඇති දේ හැම විටම දූරදර්ශී තීරණයක් නොවිය හැකි බව. එය සැබෑවටම දූරදර්ශී තීරණයක් වෙනවාද යන වග පුද්ගල සහ අවස්ථානුගත කරුණු මත තීරණය කරන්න වෙන බවයි මම දකින්නේ.
ගරු අභියාචනාධිකරණ ආඥාවේ පිටු අංක හතේ පනතේ 11(2)(ආ) උපවගන්තිය පිළිබඳ සදහනක් තිබෙනවා. පනතේ එම උපවගන්තිය මෙසේයි:
(1) වන උපවගන්තියේ සඳහන් යම් තහනමක් පැනවීමේ දී - ආඥාව කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් වගඋත්තරකරුට හෝ වෙනත් යම් තැනැත්තෙකුට සිදුවිය හැකි යම් දුෂ්කරතාවයක්, පිළිබඳව අධිකරණය සැලකිල්ලට ගත යුතු ය.
යම් අයෙක් මේ උපවගන්තියට අනුව අතුරු ආඥව හෝ ආරක්ෂක ආඥාවක් පිළිබඳ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් යම් සහන ඉල්ලීම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මම මෙන්න මේ ක්‍රියාව සුදුසු යැයි යෝජනා කරනවා: ඉල්ලීම් ලිඛිතව කරන්න. වාචිකව ඉල්ලීම් කරන්න යෑමේදී සමහර විට අධිකරණය ඉල්ලීම් කරන්නවත් ඉඩ නොදෙන්න පුළුවන්. ලිඛිතව ඉල්ලීම් කිරීමට ඇති යම් නොහැකියාවක් මත වාචික ඉල්ලීම් කරනවා නම් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප වුවහොත් ඒ පිළිබඳ සටහන් තබන ලෙස ගරු අධිකරණයෙන් අයැද සිටින්න. එවිට අවශ්‍ය වුවහොත් ඉහළ අධිකරණයකට ගොස් සහන ඉල්ලන අවස්ථාවක තමන් පහළ අධිකරණයෙන් සහන ඉල්ලූ බවත් පහළ අධිකරණයෙන් සහන නොලැබුණු නිසා ඉහළ අධිකරණයට පැමිණි බවත් දක්වන්න පහසුයි.
පනත යටතේ නිකුත් කොට ඇති අතුරු ආඥාවක් නිසා සිදුවන යම් අසාධාරණයක් පිළිබඳ ගරු මහාධිකරණයට අභියාචනා කරන්න හැකියාවක් ඇත්තේ නැහැ. අභියාචනා කරන්න පුළුවන් වන්නේ නඩුව විභාග කොට අවසානයේ ආරක්ෂක ආඥාවක් නිකුත් කළ විට පමණයි. එබැවින් අතුරු ආඥාවකින් සිදුවන අසාධාරණයක් පිළිබඳ ගරු මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සහනයක් නොලැබුණහොත් කළ හැකි එක් ප්‍රතිකර්මයක් වන්නේ ගරු මහාධිකරණයට ප්‍රතිශෝධන ඉල්ලීමක් (revision application) ඉදිරිපත් කිරීම. නමුත් ප්‍රතිශෝධන ඉල්ලීම් ඉදිරිපත් කිරීමේදී සුවිශේෂී තත්වයන් (exceptional circumstances) නොතිබුණොත් ගරු මහාධිකරණය මුලින්ම ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනවා.
මම ඉදිරිපත් කළා හා යම් යම් සමානකම් ඇති නඩු පෙර කාලයේ ගරු අභියාචනාධිකරණය විභාග කළා. නමුත් මාස කිහිපයකට පෙර ගරු ශ්‍රේෂ්‍ඨාධිකරණය නිකුත් කළ SC/APPEAL/65/2025 නඩු තීන්දුවේ සඳහන් කරුණුවලට අනුව ඉදිරියට සමහර නඩු ගරු අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඵලක් වන්නේ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 145 ව්‍යවස්ථාවට අනුව ඉදිරිපත් කරන නඩුවලටත් ඒ කරුණු බලපාන බවයි මගේ දැනීම. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 145 ව්‍යවස්ථාවට අනුව ඉල්ලීමක් කිරීමේදීත් ගරු අභියාචනාධිකරණයේ ප්‍රතිශෝධන අධිකරණ බලය අවශ්‍ය වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ "enabling provisions" සහ "entrenched provisions" ගැන කතාකරන්න මේ ලිපිය සුදුසු නැතැයි මම හිතන නිසා ඒ පිළිබඳ මීට වඩා විස්තර මම මේ ලිපියේ ලියන්නේ නෑ.
යම් අයෙක් මම ගරු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලීමට පාදක වූ කාරණා මත ඉහළ අධිකරණයකින් සහන බලාපොරොත්තු වෙනවා නම් ගරු මහාධිකරණයේ ප්‍රතිශෝධන බලතල ක්‍රියාත්මක කරවා ගැනීම හෝ ගරු අභියාචනාධිකරණයේ රිට් අධිකරණ බලය ක්‍රියාත්මක කරවා ගත හැකි දැයි විමසා බලන්න.
මගේ ඉල්ලීම සලකා බලා ආඥාවක් ලබා දුන් ගරු අභියාචනාධිකරණයේ K. P. ෆනෑන්ඩෝ ගරු විනිසුරු තුමාටත්, ගරු අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ගරු විනිසුරු තුමාටත්, එම කාර්යයන්ට සහය දුන් ගරු අභියාචනාධිකරණයේ කාර්ය මණ්‍ඩලයටත් මම කෘතඥ වෙනවා.