කමල් වික්‍රමනායකට ගරු අභියාචනාධිකරණ දැඩිව අවවාද කිරීම

Submitted by Kamal Wickramanayake on

පසුගිය බදාදා සහ බ්‍රහස්පතින්දා (2026-01-21, 22) යන දෙදින දී ගරු අභියාචනාධිකරණය මට දැඩි ලෙස නිග්‍රහ කොට දැඩි අවවාද ලබා දුන්නා. මේ නිග්‍රහ කිරීමේත් අවවාද කිරීමේත් ප්‍රමාණය කෙතරම් දැයි කීවොත් එම දින දෙක තුළ විවෘත්ත අධිකරණයේ දී බොහෝ දෙනා ඉදිරිපිට පැයක් පමණ හෝ ඊටත් මදක් වැඩි කාලයක් ගරු අධිකරණයේ වටිනා කාලය මිඩංගු කරමින් ගරු අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ගරු විනිසුරු තුමා සහ K. P. ෆනෑන්ඩෝ ගරු විනිසුරු තුමා මට අවවාද කළා.

කුමක් අරභයා ද මේ දේ සිදුවූයේ? මම ගරු අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කොට තිබුණා යම් රාජ්‍ය පාලනයට අදාළ කාරණාවක් සම්බන්ධව. ඊට අදාළව මම ලියූ යම් ලේඛන දෙකක් මගේ නොදැනුවත්කම නිසා වැරදි ආකෘතියකට අනුව ලියා තිබීමෙන් ඇතිවූ ව්‍යාකූලත්වයක් මතයි ගරු විනිසුරුතුමන්ලා මාව නිග්‍රහයට පත්කරමින් දැඩිව අවවාද කළේ.

මගේ ඉල්ලීමේ (නඩුවේ) පැවති අඩුපාඩු හේතුවෙන් මම නඩුව ඉල්ලා අස්කර ගැනීමට ද කටයුතු කළා.

ගරු විනිසුරුතුමන්ලා මගෙන් සිදු වූ වරදට මට වෙනත් දඩුවම් ලබා දුන්නේ නැහැ.

අධිකරණයේ වටිනා කාලය මිඩංගු කරමින් ගරු විනිසුරුතුමන්ලා මාව දැඩි දෝෂදර්ශනයට ලක් කරන අතරතුර ගරු විනිසුරුතුමන්ලා නන් අයුරින් මගේ වරදේ ස්වභාවය පෙන්වා දෙමින් මට නිග්‍රහ කළා. මාවම ඉලක්ක කරමින් ඒ ලබා දුන් දැනුම සහ අවවාද අන් ක්‍රමයකට පහසුවෙන් ලැබිය නොහැකි අතිශයින්ම වටිනාකමකින් යුක්ත දැනුම් සහ අවවාද සමූහයක් ලෙසයි මම දකින්නේ.

පුද්ගලයෙක් වරදක් කළ විට ඒ පුද්ගලයා කෙරෙහි දයානුකම්පාවෙන් ඒ පුද්ගලයාව නිග්‍රහයට පත්කොට නිවැරදි භාවයෙහි පිහිටුවන පුද්ගලයින් සමාජයේ සුලභ නෑ. එසේ පුද්ගලයින්ව නිවැරදි භාවයට පත්කිරීම උතුම් පුද්ගලයින්ගේ ස්වභාවයක්.

තවද මම හිතන්නේ මා අතින් වැරදි වන විට මාව දැඩි නිග්‍රහයට පත්විය යුතු අයෙකු ලෙසින්. ඒ නිසා ගරු විනිසුරුතුමන්ලා මාව මනාවම නිග්‍රහයට පත් කළ බවයි මම දුටුවේ.

මගේ වරදක් දැක මා කෙරෙහි දයානුකම්පාවෙන් මාව දැඩි ලෙස නිග්‍රහයට පත්කොට මාව නිවැරදි භාවයේ පිහිටුවීමට කටයුතු කරන්නන් මට යහපතක් කරන්නන් ලෙසයි මම දකින්නේ. ගරු විනිසුරුතුමන්ලාගේ දැඩි නිග්‍රහයත් දැඩි අවවාද කිරීමත් මම කිසිසේත්ම බලාපොරොත්තු නොවූ සිදුවීමක් වුවත් එය මා ලැබූ වාසනාවක් ලෙස මම සලකනවා. මට යහපතක් කරන්නට කැමති අයෙක් වටිනා නිධානයක් මා අතටම දුන්නා හා සමානව මම එය දකිනවා.

මා කෙරෙහි දයානුකම්පාවෙන් මාව දැඩි ලෙස නිග්‍රහයට පත්කොට මාව නිවැරදි භාවයෙහි පිහිටුවීමට කටයුතු කිරීම පිළිබඳ මම එම ගරු විනිසුරුතුමන්ලාට අතිශයින්ම කෘතඥ වෙනවා. නීතිය පිළිබඳ බෙහෙවින්ම වියත් එම ගරු විනිසුරුතුමන්ලාගෙන් අවවාද ලැබීම මහත් භාග්‍යයක් කොට මම දකිනවා.

ගරු විනිසුරුතුමන්ලා මා කෙරෙහි කෙසේ කළ යුතු දැයි විරුද්ධ පාර්ෂවයේද කැමැත්ත විමසමින්, විරුද්ධ පාර්ෂවයේ ඉල්ලීම්වලටද සවන් දෙමින් කටයුතු කරන ලද බව මම නිරීක්ෂණය කළා. එසේ කටයුතු කිරීම ඔවුන් කෙරෙහි සාධාරණව කටයුතු කිරීමක් ලෙසයි මම දකින්නේ. මගේ විරුද්ධ පාර්ෂවය කෙරෙහි ඒ ආකාරයට කටයුතු කරමින් ගරු විනිසුරුතුමන්ලා අපක්ෂපාතීත්වය ද ප්‍රදර්ශණය කළා. ඒ ක්‍රියාවන් දෙකම පිළිබඳව ද මට ඇත්තේ කෘතඥපූර්වක හැඟීමක්.

එම ගරු විනිසුරුතුමන්ලාට ස්තූති කරමින් පෞද්ගලිකව ලිපියක් හෝ සාමාන්‍ය අධිකරණ කාර්ය පටිපාටියට අනුව මෝසමක් හරහා ස්තූති කරන්න මට හිතුනත් ඒ ක්‍රියාවන්හි දෝෂ සහිත බව සලකා මම ඒ අදහස් මත ක්‍රියා නොකිරීමට තීරණය කළා. විශේෂයෙන්ම අනාගතයේ මා කෙරෙහි පක්ෂපාතීත්වයක් ඇතිකර ගැනුම පිණිස මම ගරු විනිසුරුතුමන්ලාව වංක සිතින් වර්ණනා කරන ලදැයි පෙනෙන්න ඉඩ සැලසීමට මම කැමති නැහැ. අධිකරණ විනිසුරුතුමන්ලා සමඟ නොමනා බැඳීම් ඇතිකර ගැනීම මගේ අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට බාධා කෙරෙන මටම කරදරයක් විය හැකි ක්‍රියා ලෙසයි මම දකින්නේ. නඩුවල තීන්දු මට වාසි වූවත් නොවූවත් මම ගරු විනිසුරුතුමන්ලාගේ අපක්ෂපාතිත්වයම අගය කරනවා.

ගරු අභියාචනාධිකරණය කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවා ඇති සුවිශේෂී උත්තරීතර ආයතනයක්. එම ආයතනය සැම විටෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව පැවතිය යුතු වනවා සේම එහි කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව සිදුවන බව ප්‍රදර්ශණය වීමත් අවශ්‍ය වෙනවා. ගරු අභියාචනාධිකරණයේ සියලු දෙනාටම අඛණ්ඩව එසේ කටයුතු කෙරුමට ශක්තියත් ධෛර්යයත් මම ප්‍රාර්ථනා කරනවා.