පාසැල් වයසේ සිට මගේ කිට්ටු මිත්‍රයෙක් වූ අයෙක් වසර කිහිපයකට පසු මා හට පෙරේදා දින උදේ කාලයේ දුරකථන ඇමතුමක් ගෙන තිබුණා. මුල් අවස්ථාවේ ඔහුගේ දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්වීම මඟහැරුණු බැවින් පැය කිහිපයකට පසු මම ඔහුට දුරකථන ඇමතුමක් ගත්තා. මදක් ආ ගිය තොරතුරු කතා බහ කළ පසු ඔහු මා වෙත වසලයා, පිස්සා යැයි චෝදනා එල්ල කරන්න ගත්තා. මේ වසල චෝදනාව ඇසූ ගමන් මට සිනහ පහළ වුනා. මේ චෝදනාව මගේ මිත්‍රයා මා වෙත එල්ල කළේ මිත්‍රත්වයෙන්. මම ඔහුගේ චෝදනාව හොඳින් අසා සිටියා. වසර කිහිපයක් මා සමඟ කතා බහක් නොකර සිටි ඔහු මා පිළිබඳ බාහිරින් බලා සිට මගෙන් නොවිමසා මා පිළිබඳව ඇත්ත සහ බොරු මිශ්‍ර මහා පරිමාණ ව්‍යාකූල අදහස් ඇතිකරගෙන ඇති බවයි ටික වෙලාවක් යන විට මට වැටහුණේ.
මගේ මිත්‍රයා සහ මම ආකල්පවලින් සෑහෙන්න වෙනස්. මම සමාජයේ බොහෝ දෙනකුට වඩා වෙනස් ආකල්ප ඇති අයෙකු බව මමත් දන්නවා. මේ ආකල්පමය වෙනස්කම්වලට අනුරූපව මම චර්යාවන්ගෙන්ද වෙනස්. සමාජයේ බොහොමයක් දෙනා ජීවිතයේ ලබන්න උත්සාහ ගන්නා දේවල් ලබාගන්න මම දැඩි උත්සාහයක් ගන්නේ නැහැ. උදාහරණයකට මීට වසර දහයකට පමණ කාලයකට පෙර කාලයකදී මුදල් භාවිතය පිළිබඳ මට දැඩි පිළිකුල් බවක් තිබුණා. එය යම් ප්‍රමාණයකට සමනය වූයේ වසර කිහිපයකට පසුවයි. ඒ වුනත් තාමත් මට යම් ලැජ්ජාවක් සහ අපහසුවක් තිබෙනවා මුදල් භාවිතය ගැන.
තවත් දෙයක් කිවහොත් මම අනාගතයේ වැඩි සැප පිණිස වර්තමානයේ විඳින්න පුළුවන් දුක් විඳින්න පසුබට නොවන අයෙක්. ඉන් කියවෙන්නේ නෑ මම වර්තමානයේ සැප විඳින්න අකමැති අයෙකු බව. ඒත් වර්තමානයේ විඳීන්න පුළුවන් ප්‍රමාණයේ අපහසුතාවයක් විඳ ඒ හේතුවෙන් අනාගතයේ වැඩි සැපක් විඳින්න පුළුවන් නම් කුමට ද ඊට පසුබට වන්නේ? කුමට ද ඒ ආයෝජනය නොකරන්නේ?
දරුවන් ගැන කල්පනා කර බැලුවොත් මම වැඩි අවධානයක් යොමු කරන්නේ ඔවුන්ගේ ගුණයහපත්කම් සහ දෘෂ්‍ටිය නිවැරදි වීම ගැන. හැබැයි සමාජය සමඟ ගැටෙන දරුවන්ගේ ගුණයහපත්කම් සහ දෘෂ්‍ටිය නිවැරදිව පවත්වාගැනීම අතිශයින්ම දුෂ්‍කර සහ අභියෝගාත්මක බවයි මම දකින්නේ. දරුවන්ගේ යහළු යෙහෙලියන්ගේ ආකල්ප, පාසැල්වල කටයුතු ආදිය දරුවන්ගේ ගුණයහපත්කම් සහ දෘෂ්‍ටිය කෙරෙහි බලපෑම් ඇති කරනවා. ඒ හැම දේකටම එකඟ වීම දුෂ්‍කරයි. අනෙක් අතට ඒ හැම දේකටම ප්‍රායෝගිකව එරෙහි වීමත් දුෂ්කරයි. ඒ නිසා සමහර අවස්ථාවන්හිදී මම සාර්ථකත්වයක් ලැබුවත් තවත් සමහර අවස්ථාවලදී සමාජය මාවත් යටකරගෙන ගිය මාව ආසාර්ථක බවට පත්කළ අවස්ථා මම දැක තිබෙනවා.
දරුවන් ගැනම මම හිතන තවත් දෙයක් තමයි මමත් නැති කාලයක ඔවුන් වයසට ගොස් තනිව තමන්ගේ කටයුතු කරගන්න බැරි තරම් දුර්වල වූ විට ඔවුන්ට කවර පිළිසරණක් ඇති කරන්න මට හැකිද යන්න.
සමාජය ගැන මම කවර ආකල්ප ඇතිව කටයුතු කරනවා ද යත් මම සිතනුයේ සමාජයේ බොහෝ දෙනාගේ සැනසීමට මම කටයුතු කළ යුතුයි යන්නයි. බුදු දහමින් සැනසීම ලබා ගැනීමට සමාජයේ බොහෝ දෙනා යොමු කළ යුතු යැයි සිතන ගමන් ඊට ආනුශංගික ලෙස යහපත් රාජ්‍ය පාලනයක් ලංකාව තුළ ස්ථාපනය කරන්නට කටයුතු කළ යුතු යැයි මම හිතනවා.
යහපත් රාජ්‍ය පාලයනයක් ලංකාව තුළ ස්ථාපනය කරන්න වෙහෙසෙන විට ඊට හේතු වන ලෙස මම විවිධ පුද්ගලයින්ගේ, පිරිස්වල සහ ආයතනයන්හි නොමනා ක්‍රියාවන්ට විරුද්ධව පුද්ගල තරාතිරම් සහ පෞද්ගලික බැඳියාවල් නොබලා දැඩි ප්‍රතිපත්තියක සිට කටයුතු කිරීම ද කරනවා. මේ සමහර ක්‍රියාවන් සමාජයේ බොහෝ දෙනා නොකරන මට්ටමේ ක්‍රියාවන්. උදාහරණයකට අධිකරණ පද්ධතියේ ගුණාත්මක බව වැඩි කරන්නේ කෙසේද, නීතිඥයින් අධිකරණවලදී බොරු කීමට යොමුව සිටීම නවත්වන්න කවරක් කළ යුතු ද ආදී දෑ පිළිබඳ බොහෝ දෙනා කටයුතු නොකළත් මම ඒ පිළිබඳ සක්‍රීයව කටයුතු කරනවා. මෙහිදී මට ඇති අදහස වන්නේ මම වත් මේවා නොකරොත් වෙන කවුරු කරයි ද යන්න. මොකද මම කරන මේ සමහර දේවල් පිළිබඳව සක්‍රීයව කටයුතු කරන අයගේ අඩුවක් මම දකිනවා.
ඉතින් ඔය විදිහට මම කරන කටයුතු පිළිබඳ යම් යම් ප්‍රමාණවලින් දැක ඇති මගේ මිත්‍රයාට මාව පෙනී ඇත්තේ මම තමනුත් විනාශ වෙලා අන් අයවත් විනාශ කරන්න යොමු වූ වෛරී සහගත අයෙකු ලෙස. මේ අදහස ඔහු තුළ මුල්බැසගෙන ඇති බවයි මට වැටහුනේ. උදාහරණයකට ඔහු යම් දහම් දේශනාවක් අහන විට එහි වසලයෙකු ගැන කියවුණු විට ඔහුට මාව මතක් වුනාලු. ඒ නිසා මගේ මිත්‍රයා තුළ මා වසලයෙකු යැයි මුල්බැසගත් අදහසක් ඇතිව ඇති බවයි මට වැටහුනේ.
මිනිසුන් තුළ කාමයන්ගේ ආස්වාදය, ආදීනවය සහ නිස්සරණය පිළිබඳ ඇති අවබෝධය විවිධ මට්‍ටම්වලිනුයි ඇත්තේ. බොහොමයක් දෙනා බුදු දහම මතුපිට අතගෑමක් කරන බැවින් මේ වචන අසා තිබුණාට ඒ පිළිබඳ වැඩි අවබෝධයක් ඇති අය නොවෙයි. ආස්වාද කතා ප්‍රිය වීමත්, ආදීනව කතා අප්‍රසන්න වීමත්, නිස්සරණ කතා නීරස වීමත් ඔවුන් තුළ දකින්න පුළුවන්. භවභෝග සම්පත්, කීර්තිය, ඥාතීන්, නීරෝගී බව ආදී දෑ ඔවුන් හට ප්‍රිය උපදවන දෑ. ඒවායේ විනාශය ඔවුන්ට දරාගන්නත් අපහසුයි.
මගේ මිත්‍රයා මට ඔහුව සහ අපගේ සමකාලීන මිතුරන් සැප සම්පත් විඳින ආකාරය දක්වමින් ඔහුට පෙනෙන ඔවුන්ගේ අති සාර්ථකත්වය සහ ඔහුට පෙනෙන මගේ අති අසාර්ථකත්වය දක්වා සිටියා. ඔහුගේ සාර්ථකත්වය මැනීමේ මිම්ම වූයේ කාමයන්.
බුදුරජානන් වහන්සේගේ දහම් අසා කාමයන්ගේ ආස්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් යම් පමණකින් අවබෝධ කළ, යම් සැනසීමකින් කල් ගෙවන මට මගේ මිත්‍රයා සිතන ආකාරය හොඳ හැටි වැටහෙනවා. සැපයට දුර කාමයන්ගෙන් මනින්න බෑ. මෙය සමාජයේ බොහෝ දෙනෙකුට නොවැටහෙන්නක්. දිගු දුර දැක්මක් නොමැති වීම සහ තීක්ෂණ ප්‍රඥාවක් නොමැතිවීම හේතුවෙන් මගේ මිත්‍රයා අනාථ වෙලා.
මගේ මිත්‍රයාගේ අදහස් කොයි තරම් ප්‍රභල ද කියුවොත් ඔහු හිතාගෙන ඉන්න මම කරන පිස්සු ක්‍රියාවන් වළක්වන්න තව ටිකක් බලා සිට මට විරුද්ධව අනිවාර්යයෙන්ම නඩු දාන බවට ඔහු මට මිත්‍රශීලී තර්ජනයක් කළා. ඔහුගේ වචනවලට අනුව ඔහු හැබෑවටම එහෙම කරන්න ඉඩක් ඇති බවයි මට පෙනුනේ. මට අධිකරණය හරහා මගේ මිත්‍රයාට ධර්ම දේශනා කරන්න වෙන බවක් තමයි පෙනෙන්න තියෙන්නේ. මක් කරන්න ද ඉතින්? මම මගේ මේ වාගේ යාළු මිත්‍රාදීන් ගැන බැලුවේ නැත්නම් වෙන කවුරු බලයි ද? බැලූ බැල්මට මගේ මිත්‍රයාට උපකාර කරන්න වෙන කවුරුවත් ළඟ පාතකවත් නැති බවයි මට පෙනෙන්නේ.
මට මගේ මිත්‍රයා ඉන්න තත්වය ගැන අනුකම්පාවක් ඇති වූවත් මේ සිදුවීම මට සිනහ ඇති කරන සිද්ධියක්. මම වසලයෙක් ලු! මම පිස්සෙක් ලු! නඩුත් දානවා ලු!
සබැඳි:
- ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ චතුක්ක නිපාතයේ රෝහිතස්‌ස වග්ගයේ විපල්‌ලාස සූත්‍රය
- ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිමනිකායේ මූල පණ්ණාසකයේ ඕපම්ම වග්ගයේ අරියපරියෙසන සූත්‍රය
- ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දකනිකායේ සුත්ත නිපාතයේ උරග වග්ගයේ වසල සූත්‍රය
- ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ චතුක්ක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ භණ්‌ඩගාම වග්ගයේ පඨමඛත සූත්‍රය