"කමල් වික්‍රමනායකගේ වසල සූත්‍රය" යන නමින් මම පළ කළ පළමු සහ දෙවන ලිපියට අමතරව තුන් වන ලිපියකුත් පළ කිරීම සුදුසු යැයි මට හිතුණා. මා වෙත වසල චෝදනාව එල්ල කළ මගේ මිතුරා පැවසූ තවත් කරුණු ආශ්‍රිතව ලියන මෙම ලිපියෙහි සඳහන් කරුණු බුදු සසුනෙහි හික්මෙන බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වේ යැයි මම හිතනවා.
බුදු සසුනේ හික්මෙන ගිහි අය තමන්ගේ පවුලේ ස්වාමියා, බිරිඳ හා දරුවන් කෙරෙහි කෙසේ කළ යුතු ද? මම සමාජ සම්මතය පසෙක ලා මවාගත් අමුතු ලෝකයක ද ජීවත් වන්නේ? මගේ මිතුරාට අමතරව තවත් අය මගේ මිතුරා මෙන් මට චෝදනා එල්ල කර තිබෙනවා ද? අන් අය මට කවර හෝ අලාභයක්, හිංසාවක් හෝ අභූත චෝදනාවක් එල්ල කළහොත් ඊට කිසිදු ප්‍රතික්‍රියාවක් නොකර ඉවසා සිටීම, නොතකා සිටීම, අතහැර දැමීම, මගේ පාඩුවේ සිටීම ද නිවැරදි බුද්ධ ශ්‍රාවකයෙකු ලෙස මම කළ යුත්තේ? මගේ මිතුරා සහ මම ගත් විට අප දෙදෙනා අතුරෙන් හැබෑවටම පිස්සා කවුද, වසලයා කවුද? මම ද, මගේ මිතුරා ද? මෙම ලිපියෙන් ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කෙරෙනවා.
පවුලක් කියලා කියන්නේ සුවිශේෂී බැඳීම් ඇති අන්‍යෝන්‍ය උපකාර ඇතිව එකට දිවි ගෙවන පිරිසක්. ස්වාමියා, බිරිඳ සහ දරුවන් ප්‍රධාන ලෙසත් ඊට අමතරව ස්වාමියා සහ බිරිඳගේ මවුපියවරුන් ආදී ආදිතමයින් පවුලේ සමීප හෝ පවුලේම සාමජිකයින් ලෙස ගන්න හැකියි. පෙර ලිපියෙහි මම සඳහන් කර සිටියා "මිල මුදල් ආදී භෞතික සම්පත් සුළුවෙන් නොව විපුල ලෙස ලබන්න උත්සාහ කරන්න. කොටසක් අනාගතය සඳහා ඉතිරි කරන්න. ලෝභ නැතිව විය පැහැදම් කර තමන්ව සතුටු කරගන්න. අන් අයටත් සතුටින් බෙදා දෙන්න. දන් පින් ආදී දෑත් බොහෝ කරන්න. හැබැයි නිස්සරණ ප්‍රඥාවෙන් ඒ දේවල් කරන්න." ලෙස. ඒ ආකාරයට ගිහි ගෙයි වසන අයට තම පවුලේ අන් සාමාජිකයින්වත් තමන් උපයාගන්නා සම්පත්වලින් තෘප්තියට පත් කරන්න පුළුවන්. එතැනදී මිනිසුන්ගේ සාමාන්‍ය දැනීමෙන් ඔබ්බට ගොස් නිස්සරණ ප්‍රඥව ගැන වැඩි පැහැදිලි කිරීමක් කරන්න මම කැමතියි.
නිස්සරණ ප්‍රඥාවෙන් කටයුතු කරන අයෙක් ප්‍රිය ස්වාමීයා කෙරෙහි, ප්‍රිය බිරිඳ කෙරෙහි සහ ප්‍රිය දරුවන් කෙරෙහි කෙබඳු අදහස් ඇතිව කටයුතු කිරීම ද සුදුසු? සාමාන්‍යයෙන් පවුලක මේ කියපු සාමාජිකයින් අතර පවතින්නේ කාම නිශ්‍රිත ප්‍රිය බවක්. අතිරේකව යම් ගරුත්වයක් සහිත බවක්, මෛත්‍රී සහගත බවක්, අනුකම්පා සහගත බවක්, උපකාරක බවක් ආදී ස්වරූපයන් නිශ්‍රිත ප්‍රිය බවකුත් එකිනෙකා අතර පවතින්න පුළුවන්. මෙහිදී පවුලේ සාමාජිකයෙකුගේ පවුලේ අන් අය කෙරෙහි පවත්නා කාම නිශ්‍රිත ඇල්ම ගැන විශේෂයෙන් සලකා බලමු. ඒ ඇල්ම නැත්තට නැති නොකරන තාක් වැඩි ඇල්මක් පැවතුනත් අඩු ඇල්මක් පැවතුනත් ඒ සාමාජිකයාගේ සසර පැවැත්මට ඒ ඇල්ම හේතු වෙනවා. ඒ හේතුව නිසා ප්‍රිය ස්වාමියා කෙරෙහි, ප්‍රිය බිරිඳ කෙරෙහි, ප්‍රිය දරුවන් කෙරෙහි බැඳීමත් දුක බදා ගැනීමක්ම තමයි. ප්‍රියා ස්වාමියා වේවා, ප්‍රිය බිරිඳ වේවා, ප්‍රිය දරුවන් වේවා, ආර්යය දැක්ම නම් මේ සියල්ලෝම ජාති ධර්මයි, ජරා ධර්මයි, ව්‍යාධි ධර්මයි, මරණ ධර්මයි, ශෝක ධර්මයි, කෙලෙසන ස්වභාව ඇති බැවින් සංක්ලේෂ ධර්මයි. ඒ බව අරියපරියෙසන සූත්‍රයේ දකින්න පුළුවන්.
මේ යථාර්ථය දකින යම් ස්වාමියෙක් සිය ප්‍රිය බිරිඳට සත්‍ය ලෙසම අනුකම්පා කරනවා නම්, සත්‍ය ලෙසම මෛත්‍රීය කරනවා නම්, සත්‍ය ලෙසම ඇය දුකට පත්වෙනවාට අකමැති නම්, සත්‍ය ලෙසම ඇගේ සුවයට කැමතියී නම් කුමක් ද කළ යුත්තේ? කරන්න තියෙන්නේ මේ යථා ස්වභාවය ඇයටත් පහදා දී ඇය තුළ තමන් (ස්වාමියා) කෙරෙහි සහ දරුවන් කෙරෙහි පවත්නා ඇල්මත් දුරු කෙරෙන නිස්සරණ ප්‍රඥාව ඇය තුළ ඇති කිරීම සහ ඇයට ඒ ප්‍රඥාවෙන් ස්වකීය දිවියේ ඉතිරිය ගත කිරීමට උපකාර කිරීම.
යම් බිරිඳක් සිය ප්‍රිය ස්වාමියාට කළ යුත්තෙත් ඕකයි. දෙමාපියන් සිය ප්‍රිය දරුවන්ට කළ යුත්තෙත් ඕකයි, දරුවන් සිය ප්‍රිය දෙමාපියන්ට කළ යුත්තෙත් ඕකයි.
ඔන්න ඔය ආකාරයේ පවුලක් තමයි සාර්ථක පවුලක් වන්නේ. ඔන්න ඔය ආකාරයේ පවුලක සමාජිකයින් තමයි සුවයෙන් සුවයට පත්වන්නේ. ඔන්න ඔය ආකාරයේ පවුලක සාමාජිකයින් තමයි ජයග්‍රහණය ලබන්නේ.
මෙහෙම කිව්වාම මේකත් හරි හැටි තේරුම් ගන්න බැරිව මේකටත් විස්සෝප වන හිස් පුද්ගලයින් ලෝකයේ ඉන්නවා. එතකොට සැමියාට ඕනෑ දෙයක් උනාවෙ කියලා ද ඉන්න කියන්නේ, බිරිඳට ඕනෑ දෙයක් උනාවේ කියලා ද ඉන්න කියන්නේ, දරුවන්‍ට ඕනෑ දෙයක් උනාවේ කියලා ද ඉන්න කියන්නේ? ඔහොම ඉන්න ගියාම මොන ගොඩ යෑමක් ද? කෝ සතුට? ඒ වාගේ හිතන මෝඩයින්ගෙන් මං අහන්නේ මං එහෙම දෙයක් කිව්වා යැ?
දැන් මගේ මිත්‍රයාගේ අදහස් ගැන බලමු. මගේ මිත්‍රයා මිල මුදලින්, යාන වාහනවලින්, කීර්තියෙන් සාර්ථකත්වය ගැන විස්තර මට දැක්වූවා.
මගේ මිත්‍රයාගේත් මගෙත් වෙනස කුමක් ද? මගේ මිත්‍රයා දුක බදා ගන්නවා. මම සැප බදා ගන්නවා. මගේ මිත්‍රයා අන් අයවත් දුක බදා ගන්න යොමු කරනවා, මම අන් අයවත් සැප බදා ගන්න යොමු කරනවා.
මෙහෙම වුනහම අපි දෙදෙනාගෙන් කවුද සැබෑවටම පිස්සා? කවුද සැබෑවටම වසලයා?
අපි දෙදෙනාගෙන් කවුද සැබෑවටම සිහි බුද්ධියෙන් කටයුතු කරන කෙනා? කවුද සැබෑවටම අන් අයට පිහිට වෙන කෙනා?
අපි දෙදෙනාගෙන් කවුද රැවටුණු කෙනා? කවුද ඇත්තයි කියලා හිතෙන් මවාගත් බොරුවක් තුළ ජීවත් වන්නේ? කවුද සැබෑ ලෝකයේ ජීවත් වන්නේ?
දහම් තේරුම් ගන්න බැරිව සමාජ සම්මත බොරුවෙන් රැවටුණු මගේ මිත්‍රයා සමාජ සම්මතයට එකඟව කටයුතු කිරීමේ වටිනාකම ගැනත් මට දේශනා කළා. සමාජයේ මිනිස්සු හොඳයි කියන දේට මමත් හොඳයි කියන්න ඕනෑ යැ? සමාජයේ මිනිස්සු නරකයි කියන දේට මමත් නරකයි කියන්න ඕනෑ යෑ? සාමාජයේ මිනිස්සු සැප කියලා හිතන් දුකේ වැටුනාට මමත් එහෙම කරන්න ඕනෑ යෑ? සාමාජයේ මිනිස්සු සැප කියලා හිතන් අන් අයවත් දුකට යොමු කළාට මමත් එහෙම කරන්න ඕනෑ යෑ?
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතන වග්ගයේ සළායතන සංයුත්තයේ දේවදහ වග්ගයේ සගය්හ සූත්‍රයේ ගාථා කිහිපයකින් මේ ස්වභාවය අපූරුවට විස්තර කෙරෙනවා:
පාලියෙන්:
රූපා සද‍්දා රසා ගන්‍ධා ඵස‍්සා ධම‍්මා ච කෙවලා
ඉට‍්ඨා කන‍්තා මනාපා ච යාවතත්‍ථිති වුච‍්චති.සදෙවකස‍්ස ලොකස‍්ස එතෙ වො සුඛසම‍්මතා
යත්‍ථ චෙතො නිරුජ‍්ඣන‍්ති තං තෙසං දුක‍්ඛසම‍්මතං.සුඛන‍්ති දිට‍්ඨමරියෙභි සක‍්කායස‍්සුපරොධනං
පච‍්චනීකමිදං හොති සබ‍්බලොකෙන පස්සතංයං පරෙ සුඛතො ආහු තදරියා ආහු දුක‍්ඛතො
යං පරෙ දුක‍්ඛතො ආහු තදරියා සුඛතො විදූ.පස‍්ස ධම‍්මං දුරාජානං සම‍්මූළ‍්හෙත්‍ථ අවිද‍්දසු
නිවුතානං තමො හොති අන්‍ධකාරො අපස‍්සතං.සතඤ‍්ච විවටං හොති ආලොකො පස‍්සතාමිච
සන‍්තිකෙ න විජානන‍්ති මගා5 ධම‍්මස‍්ස අකොවිදා.භවරාගපරෙතෙභි භවසොතානුසාරිභි
මාරධෙය්‍යානුපන‍්නෙහි නායං ධම‍්මො සුසම‍්බුධො.කො නු අඤ‍්ඤත්‍ර මරියෙභි පදං සම‍්බුද‍්ධමරහති.
යම‍්පදං සම‍්මදඤ‍්ඤාය පරිනිබ‍්බන‍්ති අනාසවාති.සිංහල තේරුම:
ඉටු කැමති මනවඩන සියලු රූ සද ගඳ පහස් දහම්හු යම් තාක් ඇතැ යි කියනු ලැබේ ද,
දෙවියන් සහිත ලෝවැස්සා විසින් මොහු සුව යයි සම්මතයහ. යම් තැනෙක මොහු නිරුද්ධ වෙද්ද එය ඔවුන් විසින් දුක් යයි සම්මත ය.
සක්කායයාගේ වැලැක්ම සුව යයි ආර්ය්‍යන් විසින් දක්නා ලදි. දක්නවුන්ගේ මෙය (නුවණැත්තන්ගේ මේ දර්ශනය) මුළුලෝකයා හා විරුද්ධ වේ.
අන්හු යම්ක් සුව විසින් කියද්ද ආර්ය්‍යයෝ එය දුක් විසින් කියත්. අන්හු යමක් දුක් විසින් කියද්ද ආර්ය්‍යයෝ එය සුව විසින් දනිත්.
දැනීමට දුෂ්කර වූ දහම දකිවු. මෙහි ලා නුවණ නැත්තේ මුළා වූයේ වෙයි. කෙලෙසුන්ගෙන් වැසුණු නොදක්නවුන්ට (ඒ දහම) ගනඳුරෙක් වෙයි.
දක්නා සත්පුරුෂයන්ට එලියක් මෙන් විවර වූයේ වෙයි. දහම්හි අදක්ෂ වූ (ඒ) මෘගයෝ ළඟ වූ ද (ඒ දහම) නො දනිත්.
භවරාගයෙන් මැඩුණු භවස්‍රොතස අනුව යන මාරධෙය යි කියන ලද සසරවට පැමිණියවුන් විසින් මේ දහම සුවසේ අවබෝධ කට හැක්කේ නො වෙයි.
යම් නිර්වාණ පදයක් මනානුවණින් දැන කෙලෙස් රහිත ව පිරිනිවෙද්ද ඒ නිවන්පදය අවබෝධ කරන්නට රහතුන් හැර අන් කවරෙක් සුදුසු වේ දැ යි.
මේ සත්‍යය තේරුම් ගන්න බැරි වූ මගේ මිත්‍රයාට අමතරව තවත් හිස් පුද්ගලයයින් මට දොස් තියනවා මම දැකලා තියෙනවා, මම අහලා තියෙනවා. සමහරු හිතන් ඉන්නේ මම පහත් මානසිකත්වයකින් කටයුතු කරන අයෙක් කියලා. සමහරු ලෝකයට ඒක කියන්නත් දඟලනවා. සමහරු මට චෝදනා කරන්න මාතෘකා හොයා ගන්න බැරිව ඔවුන්ගේ වාසිය තකා මාව පහත හෙලන්න අලුත් කතා නිර්මාණයත් කරනවා. මම බුදු දහම ප්‍රචාරය කරන්න සිතා ඒ කටයුතු ආරම්භ කළ මීට අවුරුදු දොළහක පමණ කාලයක සිට හිස් පුද්ගලයන්ගේ මේ ආකාරයේ අභූත චෝදනාවන්ට මම විවිධ අවස්ථාවලදී ලක් වෙලා තියෙනවා. දැනුත් වෙනවා, ඉදිරියටත් වෙයි.
මේ තමා ලෝක ස්වභාවය. දහම් නෑසූ, ඇසුවත් දහම් වටහා ගන්න බැරි වූ මිනිස්සු තමන්ගේ මිත්‍යා දෘෂ්‍ටියෙන් සම්‍යක් දෘෂ්‍ටික මිනිස්සු මනින්න යනවා. කරන්න පුළුවන් දෙයක් යෑ? හඳට තියෙන දුර අඩි කෝදුවකින් මනින්න පුළුවනෑ? ඔවුන්ට හිතෙන්නේ ඔවුන් උසස් උසස් ප්‍රිය ස්වභාවයන් ඇසුරු කරන සාර්ථක සහ නිවැරදි පුද්ගලයින් බව. ඔවුන්ට සම්‍යක් දෘෂ්‍ටිකයින් මිත්‍යා දෘෂ්‍ටිකයින් ලෙස සහ දුකේ ගිලෙන පිරිසක් ලෙස පෙනෙනවා. තමන්ගේ ඒ රැවටීම රැවටීමක් කියලා ඒ හිස් පුද්ගලයින්ට තේරෙන්නේ නෑ. ඉතින් ඒ මෝඩ අදහසින් කාටද පිස්සා, කාටද වසලයා කියන්නේ? ඒ හිස් පුද්ගලයින්ට පිස්සා තේරෙන්නෙත් නෑ, වසලයා තේරෙන්නෙත් නෑ, ඒත් හිතන් ඉන්නේ මහා ඉහළින් ඉන්නවා කියලා. පුළුවන් වෙයිද සම්‍යක් දෘෂ්ටිකයෙකුට පිස්සා, වසලයා කියලා අඩු තරමින් මිනිසත් බව වත් මතුවට ලබන්න? මම දන්නේ බුදු දහමේ ඉතාම සීමිත ප්‍රමාණයක්. මම නොදන්නා දේ බොහෝ තියෙනවා. ඒත් මට වැටහෙන දේ නම් මගේ මිත්‍රයා කළේ අතිශයින්ම නොකළ යුත්තක්. ඔහු ඔහුට කර ගත්තේ විශාල හානියක්.
මගේ මිත්‍රයා මට කියා දෙන්න ආපු තවත් කාරණාවක් තමයි අන් අයගේ අයහපත් ක්‍රියා හමුවේ මම ඒවා නොතකා සිටීම, අතහැර දැමීම, මගේ පාඩුවේ සිටීම ආදී ආකාරයට මම හැසිරිය යුතු බව. මෙහෙම කිසිත් නොකර ඉන්න කියලා බුදුරජානන් වහන්සේ නම් දහම් දෙසලා නැහැ. එකට එක කිරීම, වෛරය, ක්‍රෝධය, පළිගැනීම වැනි දෑ වලින් වැළකෙන්න කියලා නම් බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙනවා. තමන්ට වේවා, අන් අයට වේවා යම් අයෙක් හෝ පිරිසක් සිදුකරන යම් අයහපතකදී ඊට මෛත්‍රී සිතින්, අනුකම්පා සිතින් ප්‍රතික්‍රියා නොකර ඒ හැම අවස්ථාවකදීම ඒ සිදුවීම් නොතකා හිටියොත් ලෝකය මොන වගේ වෙයිද? අසත්පුරුෂයින් විසින් සත්පුරුෂයින්ව නැති භංග කර දමාවි.
ඔවැනි දෑට මම ලක්වන බොහෝ අවස්ථාවලදී මම මට සිදුවන අලාභය හෝ අපහසුව ගැන වැඩි තැකීමක් කරන්නේ නෑ. ඒත් මම හිතනවා ඒ විදිහේ දේවල් වැළැක්වූවේ නැත්නම් යහපත් මිනිසුන්ට ඒ විදිහට ඉදිරියටත් අලාභවලට, අපහසුකම්වලට මුහුණ දෙන්න වන බව. ඒ නිසා සත්පුරුෂයින්ට කරන අනුග්‍රහයක් වශයෙන්, ඔවුන්ට කරන පූජාවක් වශයෙන් මම ඒ සමහර අවස්ථාවලදී එවැනි අයහපත් ක්‍රියා කරන්න පෙළඹුන සහ පෙළඹෙන අයව ඉන් වළක්වන්න කටයුතු කරනවා. මේ සමහර දේවල් මට දැඩි පීඩා ඇති කරනවා. සමහර වෙලාවට මටම හිතෙනවා මට කායික හිරිහැර කරාවි, මට බණිවි, මාව හිරේ දමාවි ආදී ලෙස. ඒත් මගේ සත්පුරුෂයින්ට අනුග්‍රහ කිරීමේ, සත්පුරුෂයින්ට පූජා කිරීමේ අභිලාෂය ගැන සිතා මම මට ඇතිවන අපහසුකම් ඉවසනවා.
වැරදි නොකරපු අය ලෝකේ නැහැ. මමත් වැරදි කරපු අයෙක්. ඒ නිසා මම මගේ අතීත නොමනා ක්‍රියා ගැන සිහි කරනවා අන් අය වැරදි කරනකොට මම කෙසේ කළ යුතුද කියා තීරණය කරන්න. මම හිතන්නේ නෑ මිනිස්සු වැරදි කළ පමණින් ඒ හැම විටෙකදීම ඔවුන්ට දොස් කීම වත් කළ යුතුයි කියලා. ඕක වැරදිනේ කියලා කිව්වහම යමෙකුට වැරැද්ද තේරිලා ඉන් මිදෙනවා නම් ඒ තමයි මම ඉතාම කැමති ක්‍රමය. ඒත් හැමෝටම එය ප්‍රමාණවත් නෑ. සමහරුන්ට දොස් කියන්න වෙනවා. පුද්ගලිකව අහන්නේ නැත්නම් ප්‍රසිද්ධියේ දොස් කියන්නත් වෙනවා. ඔවුන්ව වළක්වන්න ක්‍රම යොදන්න වෙනවා. සමහර අවස්ථාවල පොලිසි යන්නත් වෙනවා, ඒත් මදි නම් නඩු කියන්නත් වෙනවා. සමාජය යහපතට පත්කළ යුතු යැයි සිතන මට මේ දේවල් කරන්න වෙනවා.
අනුවණයින් අනුන්ට විරුද්ධව කටයුතු කරන්නේ තරහින්. ඒ ස්වභාවය මත ඔවුන් හිතන්නේ අන් අයත් ඒ විදිහයි කියලා. මොකද තරහින් අනුන්ට විරුද්ධව කටයුතු කිරීම ඔවුන්ට තිබෙන ප්‍රත්‍යක්ෂ අත්දැකීමක්. මම වැරදි කරන නොකරන හැමෝගේම යහපත ගැන හිතලා වැරදි කරන අයට පටහැනි යමක් කළොත් පෙර කී අනුවණයින්ට ඔවුන් අත්දැකීමෙන්ම දන්නා ඔවුන්ගේ ස්වරූපය නිසා හිතෙනවා මමත් තරහින් කටයුතු කරන්නේ කියලා. මගේ මිත්‍රයා මේ ආකාරයේ චෝදනාවකුත් මට කළා. ඔහුට පේන්නේ මම නිසැක ලෙසම තරහින් කටයුතු කරන්නෙක් ලෙස. මෙහෙමත් අනුවණකමක්? මගේ මිත්‍රයා අන්ධයි. මගේ මිත්‍රයාගෙන් පිළිබිඹු වන්නේ ඛේදවාචකයක්.
මගේ වසල සූත්‍රය අවසන් කරමින් මම මගේ මිත්‍රයාට මෙහෙම කියනවා: ඔබටත් මටත් වයස අවුරුදු පණහක් පමණ වෙනවා. මේ ජීවත් වූ කාලය තුළ මම මගේ අඩුපාඩු නිවැරදි කර ගනිමින් සෑහෙන ගමනක් ඇවිත් තිබෙනවා. වර්තමාන ලෝකයේ බොහෝ දෙනෙක් නොමැති මානයකයි මම ඉන්නේ. ඊටත් අමතරව මම ඔබට විශ්වාස කරන්න බැරි ස්වරූපයේ අනාගත ඉලක්කයක් වෙත හෙමින් හෙමින් යනවා. කෙතරම් දුර යන්න පුළුවන් වෙයිද මම දන්නේ නෑ. ඒත් ඔබ ඔබේ ජීවිතේ කාලකණ්නි කරගෙන. ඔබේ කාම සම්පත් සහ ඒ පිළිබඳ කීර්තිය වෙන අයට තබා ඔබටවත් වටින්නේ නැති බව ඔබට තේරෙන්නේ නෑ. බුදු දහම නිවැරදිවත් පැහැදිලිවත් පවතින මේ කාලයේ එයින් පහස නොලත් ඔබ අතිශයින්ම අනුවණයෙක් වෙලා. ඔබ අන්ධයි. ඔබේ වසල කතාවට මම ඔබත් එක්ක අමනාප නැහැ. ඔබ මෙන්ම මාව තේරුම් ගන්න අසමත්ව මට අභූත දොස් කියා ඇති තවත් අය මම මේ ලෝකේ ඕනෑ තරම් දැක තිබෙනවා. මම මේ ලිපි ලියුවේ ඔබේ වසල කතාවට මට තරහ ගිහිල්ලා ඔබට මගේ තරම පෙන්වන්න නොවෙයි. මේ ලිපිවල මම ඔබට නිග්‍රහ කළෙත් මගේ උසස් බවක් පෙන්වා ගන්න නෙවෙයි. මම ඔබෙත්, ඔබ මෙන් වරදවා ගත් අන් අයගේත් නිවැරදි වැටහීම සහ දහමට නැඹුරුවූ තවත් අයගේ වැඩි වැටහීම සහ ප්‍රයෝජනය පිණිසයි මේ ලිපි ලියුවේ. අනික ඔබ වැනි අය සම්‍යක් දෘෂ්‍ටිකයින්ට පිස්සා, වසලයා කියන්න යෑමෙන් සත්පුරුෂයින්ට අල්ම මාත්‍ර අපහසුවක්වත් ඇති වෙනවාට මම කැමති නෑ. ඒ නිසා සත්පුරුෂයින්ට පහසුවෙන් දිවි ගෙවන්න ඔවුන්ට අනුග්‍රහ සහ පූජාවක් වශයෙනුත් මම මේ ලිපි අදහස් කරනවා. මේ ලිපි කියවන විට ඔබට තරහ යහවා නම් මේ ලිපි අමතක කර දමන්න. මේ ලිපි ඔබව නිවැරදි බවකට පමුණුවන බවක් පෙනෙනවා නම් මේ ලියන ලද දෑ ගැන වැඩි වැඩියෙන් හිතා බලන්න. ඵලවත් යැයි ඔබටම වැටහෙනවා නම් දහම් වරදවා ගත් අන් අයටත් ඒ අයගේ සුව පිණිස ඔබට හැකි පමණින් මේ දහම් කියා දෙන්න.
ගෞතම බුදු සසුන ලොව බොහෝ කල් පවතීවා! බොහෝ දෙනා ඉන් සැනසීම ලබත්වා!