රාජගිරියේ අරියඥාණ හිමි සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට මුදල් දිය යුතු අයුරක් පැවසීම

රාජගිරියේ අරියඥාණ හිමි ඉහත දැක්වෙන වීඩියෝවේ විනාඩි 15, තත්පර 21න් පමණ පසු ස්වාමීන් වහන්සේලාට මුදල් දීම ගැන මෙසේ පවසනවා:

...
අනිත් එක දැන් හුගාක් වෙලාවට අපි දානෙ පූජා කරනකොට ස්වාමීන් වහන්සේලාට මුදල් ඇන්ලොප් පූජා කරනවා. ඒක අපිට එපා කියලා කවදාක්වත් කියන්න බැහැ.
...
ඒ නිසා යම් හෙයකින් ඔබලා දානය වෙලාවේ ස්වාමින් වහන්සේට මුදල් පූජා කරනවා නම් කොයි වෙලාවකවත් ඒ මුදල් සංඝයා උදෙසා සාංඝික කරන තැන තියන්න යන්න එපා. සාංඝික කරන තැන අටපිරිකර ඇතුළු සෙසු පිරිකර තියන්න. ඒ මුදල් ඇන්ලොප් ටික වෙන කොහෙ හරි තියලා තියන්න. තියලා ඒ සියල්ල සාංඝික කළාට පස්සෙ ඒ මුදල් ඇන්ලොප් බෙදලා දෙන්න.
...

ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදය විස්තර වන්නේ මෙහෙම:

"යම් මහණෙක් රන් රිදී මසු කහවණු තෙමේ ගණී නම් හෝ අනුන් ලවා ගන්වා නම් හෝ ලඟ තබන ලද්දක් ඉවසා නම් හෝ නිසඟිපචිති වේ"

රූපියශික්ෂාපදයට අනුව ලඟ තබන මුදල් වත් පිළිගැනීමට භික්ෂූන් වහන්සේලාට අවසරයක් නැහැ. "ඒ මුදල් ඇන්ලොප් ටික වෙන කොහෙ හරි තියලා තියන්න. තියලා ඒ සියල්ල සාංඝික කළාට පස්සෙ ඒ මුදල් ඇන්ලොප් බෙදලා දෙන්න." යැයි කීමත් නොමනා කීමක්මයි.

පහත දැක්වෙන්නේ නා උයනේ අරියධම්ම හිමි විසින් භික්ෂූන්ට මුදල් කැපද යන්න ගැන කෙරෙන විස්තරයක්:

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතන වග්ගයේ ගාමණී සංයුත්තයේ ගාමණි වග්ගයේ මණිචූළක සූත්‍රයේ මෙසේ සඳහන්:

ගාමිණී, යමකුට රන්රිදී කැප වේ නම් ඔහුට පස්කම් ගුණ ම කැප වේ. යමකුට පස් කම්ගුණ කැප වේ නම් එකාන්තයෙන් අශ්‍රමණ ධර්ම ඇත්තෙක. අශාක්‍යපුත්‍රීය ධර්ම ඇත්තෙකැ යි මෙය දරන්නෙහි ය. ගාමිණී වැලි දු මම මෙසේ කියමි. තණවලින් ප්‍රයෝජන ඇත්තහු විසින් තණ සෙවිය යුතු ය. දැවවලින් ප්‍රයෝජන ඇත්තහු විසින් දැව සෙවිය යුතු ය. ගැලින් ප්‍රයෝජන ඇත්තහු විසින් ගැල සෙවිය යුතු ය. පුරුෂයාගෙන් ප්‍රයෝජන ඇත්තහු විසින් පුරුෂයා සෙවිය යුතු ය. ගාමිණී, කිසි අයුරකින් රන්රිදී ඉවසිය යුතු ය, සෙවිය යුතු යයි මම නො ම කියමි යි.

මණිචූළක සූත්‍රයට අනුව රන්රිදි කැප යැයි සලකා ක්‍රියා කරන භික්ෂූන් වහන්සේලා ඒකාන්තයෙන්ම අශ්‍රමණ ධර්ම ඇති, අශාක්‍යපුත්‍රීය ධර්ම ඇති අය ලෙසයි සලකන්න වෙන්නේ.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මූල පණ්ණාසකයේ ඕපම්ම වග්ගයේ අරියපරියෙසන සූත්‍රයේ බුදුරජානන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට ආර්යපර්යේෂණය සහ අනාර්යපර්යේෂණය යන සෙවීම් දෙක ගැන විස්තර කර ඇති අයුරු දැකිය හැකියී. එහි දී රන්රිදී යනු ජාතිධර්ම, ජරාධර්ම සහ සංක්ලේශධර්ම ලෙස සඳහන් කොට එම සෙවීම අනාර්යපර්යේෂණය ලෙස මෙසේ දක්වා තිබෙනවා:

7. මහණෙනි, ආර්යපර්යේෂණය ය, අනාර්යපර්යේෂණයයි මේ සෙවීම් දෙකකි.

මහණෙනි, අනාර්යපර්යේෂණය කුමක් ද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුඟුලෙක් තෙමේ ජාතිය ස්වභාව කොට ඇත්තේ ජාතිධර්මයක් (ජාතිය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තේ ජරා ධර්මයක් (ජරාව ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ ව්‍යාධිධර්මයක් (ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ මරණය ස්වභාව කොට ඇත්තේ මරණ ධර්මයක් (මරණය ස්වභාවකොට ඇත්තක්) ම සොයයි. තෙමේ ශෝකය ස්වභාවකොට ඇත්තේ ශෝක ධර්මයක් (ශෝකය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ කෙලෙසන ස්වභාව ඇත්තේ කෙලෙසන ස්වභාව ඇත්තක් ම සොයයි.

8. මහණෙනි, කුමක් ජාතිධර්ම යයි කියන්නේ ද? පුත්‍රදාරාවෝ ජාතිධර්මයෝයි. දැසි දස්හු ජාතිධර්මයෝයි. එළුබැටළුවෝ ජාතිධර්මයෝයි. කුකුළන් හා ඌරෝ ජාතිධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ජාතිධර්මයෝ ය. රන් රිදී ජාතිධර්මය. මහණෙනි, මේ පඤ්චකාමගුණ උපධීහු ජාතිධර්මයෝ ය. මෙහි තෘෂ්ණාවෙන් බැඳුණා වූ මුසපත් වූ බැසගත්තා වූ මේ ලෝ වැසි තෙමේ ජාතිය ස්වභාව කොට ඇත්තේ ජාතිධර්මයක් ම සොයයි.

9. මහණෙනි, කුමක් ජරාධර්මයයි කියන්නේ ද? පුත්‍රභාර්යාවෝ ජරාධර්මයෝ ය. දැසිදස්හු ජරාධර්මයෝ ය එළු බැටළුවෝ ජරාධර්මයෝ ය. කුකුළන් හා ඌරෝ ජරාධර්මයෝය. ඇත් ගව අස් වෙළඹහු ජරාධර්මයෝය. රන්රිදී ජරාධර්මය. මහණෙනි, මේ පඤ්චකාමගුණ ජරාධර්ම වෙති. මේ ලෝවැසි, තෙමේ මෙහි ගැට ගැසුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තේ ජරාධර්මයක් ම සොයයි.

10. මහණෙනි, කුමක් ව්‍යාධිධර්මයයි කියන්නේ ද? පුත්‍ර භාර්යාවෝ ව්‍යාධිධර්මයෝ ය. දැසිදස්හු ව්‍යාධිධර්මයෝ ය. එළු බැටළුවෝ ව්‍යාධිධර්මයෝය. කුකුළන් හා ඌරෝ ව්‍යාධිධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ව්‍යාධිධර්මයෝ ය. මහණෙනි, මේ පඤ්චකාමගුණ උපධීහු ව්‍යාධිධර්මයෝ ය. මේ ලෝවැසි තෙම මෙහි ගැටගැසුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ ව්‍යාධිධර්මයක් ම සොයයි.

11. මහණෙනි, කුමක් මරණධර්මයයි කියන්නේද? මහණෙනි, පුත්‍ර භාර්යාවෝ මරණධර්මයෝ ය. දැසිදස්හු මරණධර්මයෝ ය. එළුබැටළුවෝ මරණධර්මයෝ ය. කුකුළන් හා ඌරෝ මරණධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු මරණධර්මයෝ ය. මහණෙනි, මේ උපධීහු මරණධර්මයෝ ය. මේ ලෝ වැසි තෙමේ මෙහි ගෙතුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ මරණය ස්වභාව කොට ඇත්තේ මරණධර්මයක් ම සොයයි.

12. මහණෙනි, කුමක් ශොකධර්මයයි කියන්නේද? මහණෙනි, පුත්‍ර භාර්යාවෝ ශොකධර්මයෝ ය. දැසිදස්හු ශොකධර්මයෝ ය. එළුබැටළුවෝ ශොකධර්මයෝ ය. කුකුළන් හා ඌරෝ ශොකධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ශොකධර්මයෝ ය. මහණෙනි, මේ උපධීහුය. මේ ලෝවැසි තෙමේ මෙහි වෙළුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ශොකය ස්වභාව කොට ඇත්තේ ශොකධර්මයක් ම සොයයි.

13. මහණෙනි, කුමක් සංක්ලේශධර්මයයි කියන්නේද? අඹුදරුවෝ සංක්ලේශධර්මයෝ ය. දැසිදස්හු සංක්ලේශධර්මයෝ ය. එළුබැටළුවෝ සංක්ලේශධර්මයෝ ය. කුකුළන් හා ඌරෝ සංක්ලේශධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු සංක්ලේශධර්මයෝ ය. රන්රිදී සංක්ලේශධර්මයෝ ය. මහණෙනි, මේ උපධීහු සංක්ලේශධර්ම වෙත්. මේ ලෝවැසි තෙම මෙහි ගෙතුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ සංක්ලේශධර්ම වූයේ සංක්ලේශධර්මයක් ම සොයයි. මහණෙනි, මේ අනාර්යපර්යේෂණයි.

අරියපරියෙසන සූත්‍රයට අනුවත් රන්රිදී සෙවීම යනු ශ්‍රමණ ධර්මට නොගැළපෙන අනාර්ය වූ ජාතිධර්මයක් සෙවීමක්, ජරාධර්මයක් සෙවීමක් සහ කෙලෙසන ස්වභාව ඇත්තක් සෙවීමක් ලෙස දැකිය හැකියී.

රාජගිරියේ අරියඥාණ හිමි විසින් සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් කටයුතු කිරීමට පෙළඹවීම ධර්මයට සහ විනයට නොගැළපෙන ක්‍රියාවක්. එහිමියන් පවසන එම කරුණු අසන භික්ෂූන් වහන්සේලාත් මුදල් පිළිගැනීම සුදුසු දෙයක් යැයි වරදවා හිතන්න පුළුවන්, ගිහියනුත් මුදල් දීම සුදුසු දෙයක් යැයි වරදවා හිතන්න පුළුවන්. එය ගිහි පැවිදි දෙපිරිසේම පිරිහීමට කාරණාවක්.

නා උයනේ අරියධම්ම හිමිගේ ඉහත දක්වන ලද දේශනාව ශ්‍රවණය නොකෙරුවා නම් එය ශ්‍රවණය කොට මුදල් පිළිගන්නා භික්ෂූන් වහන්සේලාට සිදුවන්නේ කුමක් දැයි එම වීඩියෝවේ කියවෙන දෑ ගැනත් හිතා බලන්න.

නො කැප දෑ කැප යැයි  සිතන අය සහ කැප දෑ නො කැප යැයි සිතන අය පිළිබඳව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්‍රයේ මෙසේ සඳහන් වෙනවා:

මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් නො කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.

පහත දැක්වෙන්නේ භික්ෂූන් වහන්සේලාට මුදල් දීම ගැන රාජගිරියේ අරියඥාණ හිමි පවසන කරුණු අඩංගු වෙනත් වීඩියෝවක්: