රාජගිරියේ අරියඥාණ

රාජගිරියේ අරියඥාණ හිමි යනු මහ රහතුන් වැඩි මඟ ඔස්සේ නම් ලිපි පෙලක් ලිවීමෙන් පසු බොහෝ සෙයින් ලංකාවේ ජනප්‍රිය වූ භික්ෂූන් වහන්සේ නමකි. එම හිමියන් විසින් ලියන ලද ලිපි බොහෝ පිරිස් කියවති, දේශනා කරන ලද ධර්ම දේශනාවන් බොහෝ පිරිස් ශ්‍රවණය කරති.

රාජගිරියේ අරියඥාණ හිමියන් කුසල්, අකුසල් සහ දිව්‍ය, ප්‍රේත ස්වභාවයන් පිළිබඳව බොහෝ කරුණු පවසයි. එම හිමියන් පවසන බොහෝ කරුණු බුදු පියානන් පවසා ඇති අයුරින්ම වේ. නමුත් ගැටලුව වන්නේ රාජගිරියේ අරියඥාණ හිමියන් ධර්මයට සහ විනයට නොගැළපෙන කරුණු බොහෝ ප්‍රමානයක්ද පැවසීමයි. එම අධාර්මික කරුණු පැවසීම නිර්වාණ මාර්ගය වසන සුළුය. එම අධාර්මික කරුණු පැවසීම සම්බුද්ධ ශාසනය අතුරුදහන් කිරීම පිණිස පවතී. මතුපිටින් මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යැයි දහම් දෙසුවද එහිමියන් පවසන අධාර්මික කරුණු නිසා එහිමියන් පවසන කරුණු විමසා බැලීමකින් තොරව පිළිගන්නා බොහෝ අයට එය දුක් පිණිසම පවතී. මේ නිසා එවන් දහම් ලිපි හෝ දේශනාවන් මහ රහතුන් වැඩි මඟ දක්වන්නේ යැයි යම් යම් අය කීවද වරදවාගත් ප්‍රතිපදාවකට මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යැයි කීම නොගැළපේ.

රාජගිරියේ අරියඥාණ හිමියන් විසින් අධාර්මික කරුණු පවසනවානම් ඒ ගැන අන් භික්ෂූන් වහන්සේලා නිහඩ මන්දැයි යමෙකුට සිතිය හැක. අන් භික්ෂූන් වහන්සේලා රාජගිරියේ අරියඥාණ හිමියන් විසින් පවසන වැරදි දහම් කරුණු නිවැරදි කිරීමක් නොකරනවානම් එයින් අදහස් වන්නේ රාජගිරියේ අරියඥාණ හිමියන් විසින් වැරදි දහම් කරුණු පැවසීමක් නොකරනවා විය හැකියැයි යමෙකුට සිතිය හැක. එසේ වන්නේ රාජගිරියේ අරියඥාණ හිමියන් විසින් හෝ වෙන යම් භික්ෂූන් වහන්සේ නමක් විසින් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය මේ යැයි යම් අධර්මයක් පැවසුවද එවන් දෑ පහසුවෙන්ම යටපත් නොවන පමණට ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය අප සමාජය කෙරෙන් දුරස් වී තිබීමයි. භික්ෂු සංඝයා බෙදී වෙන්වී ඇති බැවින්, සංඝ සමගිය නොමැති කම නිසා අධර්ම සහ අවිනය කරුණු ධර්ම සහ විනය කරුණු ලෙස පහසුවෙන්ම සමාජයේ පැතිරේ. මෙය රාජගිරියේ අරියඥාණ හිමියන් ගේ ඇතුළුව අප සැමගේ අභාග්‍යයකි.

රාජගිරියේ අරියඥාණ හිමියන් විසින් පවසන දොස් සහිත දහම් කරුණු විමසා බලන විට ගම්‍ය වන්නේ රාජගිරියේ අරියඥාණ හිමියන් විසින් බුද්ධ දේශනාවන් මනා කොට ශ්‍රවනය කර හෝ ධර්මය මනා ලෙස විමසා බලා නොමැති බවකි.

සද්ධර්මය වැරදි ලෙසින් ග්‍රහනය කර ගැනීම විෂ සහිත සර්පයෙකුගේ ගෙල වෙනුවට ශරීරය හෝ වලිගයෙන් අල්ලා ගන්නවා වැනි යැයි බුදු පියානන් පැවසූ බව අලගද්දූපම සූත්‍රයේ සඳහන්ව ඇත. එසේ වන්නේ ගෙලෙන් නොව ශරීරයෙන් හෝ වලිගයෙන් අල්ලා ගතහොත් එම සර්පයා විසින් දෂ්ඨ කිරීමෙන් එම සර්පයා අල්ලා ගත් පුද්ගලයා මරණයට හෝ මරණ මාත්‍ර දුකට පත්වන බැවිනි. එලෙසම රාජගිරියේ අරියඥාණ හිමියන් විසින් බුද්ධ දේශනාවන් විකෘති ලෙස ඉදිරිපත් කරමින්, බුදු පියානන් නොපැවසූ දේ පැවසුවායැයි කියමින්, විනය කරුණු විකෘති කරමින්, ආර්ය මහා සංඝරතනයේ ඇති ගුණයන් නැතැයි පවසමින්, සංඝ බේදයට තුඩු දෙන කටයුතු කරමින් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදන් වීම පිණිස හේතු වන ක්‍රියා කිරීම බොහෝ දෙනාට දුක් ගෙන දීමට හේතු වේ.

බොහෝ ගිහියන්ට රාජගිරියේ අරියඥාණ හිමියන් විසින් පවසන දහම් කරුණුවල දොස් සහිත බවක් නොපෙනේ නම් එය විමතියට කරුණක් නොවේ. එසේ වන්නේ බොහෝ ගිහි පින්වතුන්ට බුදු පියානන් විසින් මනා සේ දේශනා කොට ඇති ධර්ම විනය කරුණු ගැන මනා අවබෝධයක් නොතිබීමයි. බොහෝ අය බොහෝ සෙයින් දහම් අසා ඇති නමුත් බොහෝ ගිහි පිරිස් එම දහම් ප්‍රමාණවත් තරමින් විමසීමක් කර නොමැත. දහම් අසන්නට පෙළඹෙන බොහෝ ගිහි පිරිස් අසනා කරුණු මනා ලෙස නොවිමසීම නිසා බුදු දහම යැයි අසන්නට ලැබෙන කුමක් උවද එපමනකින්ම නිවැරදි බුද්ධ දේශනාවන් යැයි පිළිගනිති. බුදු දහමේ භාවිතා වන වචන අරුත් පැටලෙන ලෙස ඉදිරිපත් කළද බොහෝ පිරිස් එම වචන අසා පුරුදු නිසා අරුතින් පවසන්නේ දොස් සහිත දෙයක් බව නොදකිති. මෙසේ වන්නේ අසන්නන්ගේද සද්ධර්මය පිළිබඳ ඇති අවබෝධය අඩු බැවිනි.

ත්‍රිපිටකයේ පාලි බසින් ඇති සමහර දේශනාවන්ගේ නිවැරදි අරුත් කවරේ දැයි සත්‍යවශයෙන්ම බොහෝ අයට ගැටලු පවතී. බොහො වචන වල තේරුම පාලි භාෂාව භාවිතයෙන් අඩුවීම නිසා පහසුවෙන් තේරුම් ගැනීමට අපහසු ලෙස අපැහැදිලි වී ඇත. මේ නිසා අපි බොහෝ විට අපට තේරෙන පමණින් එම දහම් අරුත් ගන්වන්නට උත්සාහ කරමු. මෙහිදී අපේ අභාග්‍යයට සමහරක් විට අප නිවැරදි අරුත් යැයි තේරුම් ගන්නේ, අන් අයට පවසන්නේ වැරදි කරුණු විය හැකිය. මීට අමතරව නිවැරදි අරුත් දන්නා අපැහැදිලි බවක් නොමැති දහම් කරුණු අති මහත් ප්‍රමානයක් ත්‍රිපිටකයේ පවතී. පැහැදිලිව පවත්නා දහම් ප්‍රමාණය අප විසින් රැක ගත යුතු විට එයද අනවබෝධය නිසා විකෘති කරගැනීම සුදුසු නොවේ.

ගෞතම සම්මා සම්බුදු සසුන අප ලද අමිල දායාදයකි. එහි අපට තේරෙන, පැහැදිලිව වටහා ගත හැකි කරුණු ප්‍රමානය හෝ හැකි පමණින් අප රැක ගත යුතුය. අපැහැදිලි යමක් ඇත්ද එයද අඩු තරමින් ඇති ආකාරයෙන් රැක ගත යුතුය. මතු පරපුරටත් එම දායාදය විනාශ නොකර ලබා දිය යුතුය.

මේ හේතුන් නිසා රාජගිරියේ අරියඥාණ හිමියන් විසින් පවසන අපාය ගාමී, සම්බුද්ධ ශාසනයේ අතුරුදහන් වීම පිණිස පවත්නා දොස් සහිත දහම් කරුණු සමහරක් කවරේ දැයි විස්තර ඇතුව පහත ඉදිරිපත් කර ඇත. මේ පිළිබඳව විමසා බලා රාජගිරියේ අරියඥාණ හිමියන් මෙන්ම අන් අයද නිවැරදි බවට පත්වේ නම් එය ඔවුන්ගේ යහපත පිණිස හේතු වනු ඇත.

මෙහිදී රාජගිරියේ අරියඥාණ හිමියන් විසින් පවසන දොස් සහිත කරුණු දොස් සහිත කරුණු යැයි ගෙන හැර දක්වන්නේ රාජගිරියේ අරියඥාණ හිමියන්ගේත්, අන් අයගේත් යහපත පිණිසමයි. මෙසේ හෝ වැරදි දේ වැරදි යැයි දැක නිවැරදි නොවේ නම් එය රාජගිරියේ අරියඥාණ හිමියන්ටත්, අන් අයටත් කෙසේ බලපාන්නේ දැයි ඔබම විමසා බලන්න.

සංඝ සමගිය ඇති විට අධර්ම සහ අවිනය කරුණු ධර්ම සහ විනය කරුණු ලෙස සමාජයේ පැතිරීම බෙහෙවින්ම සීමා වේ. එසේ වී නම් මෙවන් ලිපි ලිවීමට හේතු කාරණාවන්ද අඩු වේ. සංඝ සමගිය ඇති විට ධර්මය, විනය පිළිබඳ යම් ගැටලුකාරී බවක් ඇති උවහොත් ඒ බව සංඝයාට කෙරෙන සුළු දැනුම් දීමකින්ම නිරාකරණය කර ගැනීමට හැකියී. මෙකල සංඝයාගේ බෙදී වෙන්වී ඇති බව ගිහි පැවිදි දෙපිරිසටම නොයෙකුත් අපහසුතා ඇති කරයි. සංඝයාගේ බෙදී වෙන්වී ඇති බව ධර්මය සහ විනය පිළිබඳව ඇති වන ගැටලුකාරී තත්වයන් නිදුකින්ම සමනය කර ගැනීමට අපහසු බවක් ඇති කරයි. සංඝ සමගිය ගිහි සහ පැවිද බුද්ධ ශ්‍රාවකයින්ට බුදු සසුනේ ඵල ලැබීමට යෝග්‍ය අවකාශයක් ඇති කරයි. ගිහි සහ පැවිදි බුද්ධ ශ්‍රාවකයින් ධර්මයට සහ විනයට වැඩි වැඩියෙන් අනුගත වී සංඝ සමගිය ඇති කර ගැනීමට යුහුසුළු වේවා!

රාජගිරියේ අරියඥාණ හිමිගේ දේශනා ආදියේ විශාල ලැයිස්තුවක් අපම සකස් කර ඇති අතර එම ලැයිස්තුව බැලීම පිණිස මෙතැනට පිවිසෙන්න:
http://www.trekmentor.org/si/content/savaka/2228

* පහත මාතෘකා ලෙස දැක්වෙන කරුණු යථා කාලයේදී විස්තර ඇතුව පැහැදිලි කෙරෙනු ඇත. එම මාතෘකා ඉදිරිපස '-' යන ලකුණෙන් දැක්වෙන්නේ එම මාතෘකාවන්ට අදාළ විස්තරයන් තවම එක් කර නොමැති බවයි. යම් මාතෘකාවකට විස්තර එක් කළ විට එම  '-' යන ලකුණ ඉවත් කෙරේ.