රාජගිරියේ අරියඥාණ හිමි ධර්මයට හා විනයට නොගැළපෙන කරුණු අඩංගු කොට අට මහා අකුසල් පැනවීම

ඉහත වීඩියෝවේ විනාඩි 5, තත්පර 59 න් පමණ ඉදිරියට:

දැන් මේ අට මහා කුසල් තියෙනවා කියන්නේ නිරතුරුව පිං වැඩෙන දේවල්නේ, නේද? මේ අට මහා කුසල් වගේම නෝනා අට මහා අකුසල් තියෙනවා කියන කාරණෙත් අපි හිතන්න ඕනෑ. ඒක හිතන්න ඕනෑ නේද? ...
...
අපි පංසලකට ගිහිල්ලා විහාරස්ථානයකට ගිහිල්ලා අපි මල් ටික පූජා කරලා අර ගෙනියන ඉටි බෑග් එක කොතන හරි දාලා එනවා නම්, හඳුන්කූරු පෙට්ටිය පත්තුකරලා හඳුන්කූරු ටික හිස් පෙට්ටිය එතන දාලා එනවා නම්, පොල්තෙල් බෝතලේ ගෙනිහිල්ලා පහන් ටික පත්තු කරලා හිස් පොල්තෙල් බෝතලේ බෝධින්නාන්සෙ ලඟ දාලා එනවා නම්, එහෙම නැත්නම් අර පහන් පත්තු කළාට පස්සෙ අතේ ගෑවිලා තියෙන දැලි ටික අරන් අර සුදු බිත්තියේ පිහදාලා එනවා නම්, නෝනා ඒ කරන මොහොතක් පාසා අට මහා අකුසලයක් බවට පත්වෙනවා.
...
... සමහර පිංවතුන්ලා පංසලට නැත්නම් ආරණ්‍යට ගිහිල්ලා බලු පැටව් ගිහිල්ලා නැත්නම් පූස් පැටව් ගිහිල්ලා දානවා. ...
...
... කොයි වෙලාවකවත් නොගැළපෙන ඇඳුම් ඇඳගෙන පංසලට යන්න එපා. ...
...
... ඒ නිසා කොයිම වෙලාවකවත් මේ ආරණ්‍ය භූමිය, පංසල් භූමිය තුළ මෙවැනි වැරදි හැසිරීම් වලට යන්න එපා. ...
...
... ඒ වගේම කොයිම වෙලාවකවත් ගමේ පංසලේ ආරණ්‍යයේ ස්වාමීන් වහන්සේලාගේ දුර්වලතාවයක්, වැරැද්දක් තිබ්බොත් ඒ දුර්වලතාවය, වැරැද්ද විවේචනය කරන්න යන්න එපා. ...
...

ඉහත වීඩියෝවේ විනාඩි 14, තත්පර 23 න් පමණ ඉදිරියට:

ගරු ස්වාමීන් වහන්ස අට මහා අකුසල් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවාද?

මෙහෙමයි, අට මහා අකුසල් කියලා බුදුරජාණන් වහන්සේ කොතැනකවත් දේශනා කරලා නැහැ. දැන් අපි ඒක නුවණින් දකින්න ඕනෑ. කුසල් වැඩෙන කුසල් තියෙනවා නම් අකුසල් වැඩෙන අකුසලුත් තියෙන්න ඕනෑ. තියෙන්න එපාය නේද? එතකොට ඒ වගේ හිතලා අපේ යහපත උදෙසා අපි මේවා ගලපාගන්නවා.

ඉහත වීඩියෝවේ විනාඩි 17, තත්පර 14 න් පමණ ඉදිරියට:

මං සූත්‍රගත ධර්මයක ඒ වචනෙ අහලා නෑ.

http://www.trekmentor.com/si/content/book/592 යන තැන ඇති ලිපියෙන් භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැතය යන්න ධර්මයට හා විනයට නොගැළපෙන්නක් බව විස්තර ඇතිව දැක්වෙනවා.

රාජගිරියේ අරියඥාණ හිමි විසින් අට මහා අකුසල් මෙසේ යැයි කරන පැනවීම ඇසුරෙන් අඥාන භික්ෂූන් විසින් සද්ධර්මය අතුරුදහන් කරනා ආකාරයක් වටහා ගැනීමට පුළුවන්. පිරිසිදු ධර්මය සහ විනය අපැහැදිලි වී, වැසී යන පරිදි අධර්මය සහ අවිනය කරුණු කළවම් කර එවන් කථාවන්ට "අට මහා අකුසල්" වැනි නම් යොදා සමාජ ගත කළ විට අති බහුල පිරිසක් බුදු දහම මේ යැයි එම අධර්ම අවිනය කරුණුද පිළිගැනීමට යොමුවෙනවා. ඊටම අනුව ඔවුන්ගේ සෙසු ක්‍රියාවනුත් පවතිනවා. එම වරදවා ගැනීම් දෙව් මිනිසුන්ගේ බොහෝ දුක් පිණිස සහ අහිත පිණිසයි පවතින්නේ. සද්ධර්මය අපැහැදිලි වී අතුරුදහන් වෙනවා.

රාජගිරියේ අරියඥාණ හිමි පවසන පරිදි භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැතය ආදී අධර්ම අවිනය මතයන් ධර්මය සහ විනය යැයි සමාජයේ පැතිරවීම බුදු සසුන තුළ මානයෙන් මත්ව තමන්ගේ උසස් බව ගැන හිතනා අඥාන භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා, ධර්මය විනය ලෙස අධර්ම අවිනය කරුණු දේශනා කොට ගිහියන්ගෙන් තමන්ට එල්ල විය හැකි චෝදනාවන්ගෙන් තමන්ව රැක ගැනීමට එය පිටිවහලක් කරගන්නා භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා, බුදු සසුන තුළ නොයෙක් ආකාරයේ දුසිල්වත් ක්‍රියා කරන භික්ෂූන්ගේ පැවැත්මට රුකුල් දෙනවා. එය ගිහි පැවිදි දෙපිරිසේම අහිත පිණිස සහ බුදු සසුන වහ වහා අතුරුදන් වීමට හේතුවක් වෙනවා.