භික්ෂුවක් විනය අරභයා වද වීම ගැන රාජගිරියේ අරියඥාණ හිමිගෙන් අගතිගාමී උපදෙස්

පහත දැක්වෙන්නේ "රැවුල සහ කණ්නාඩිය" යන මාතෘකා ඇතිව දිවයින පුවත් පතේ පළව ඇති සහ "අතහැරීම 1, මහ රහතුන් වැඩි මඟ ඔස්සේ" යන නමින් ප්‍රකාශයට පත් කර ඇති පොතකද අඩංගු ලිපියක වාක්‍ය කිහිපයක්. එම සම්පූර්ණ ලිපිය අන්තර්ජාලයේ බොහෝ තැන්වල දැකිය හැකියි. දිවයින පුවත් පතේ වෙබ් අඩවියේ http://www.divaina.com/2011/08/28/feature02.html යන තැනද එම ලිපිය දැකිය හැකියි.

... ඔබ විනය ගැන ගැටෙමින් ජීවත්වන්නේ නම් එයට හේතුව ඔබේ ශීලය ශක්‌තිමත් භාවයක්‌ නැතැයි ඔබ තුළ ඇති සැකය නිසාය. ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස්‌ ධර්මයකි. මෙහිදී මාන්නය ඇතිවීම ස්‌වභාවිකය. නිරතුරුවම තමා තුළින් වරදක්‌ සිදුවුණාය යන සිතිවිල්ලද, තමා නිවැරදි වුණාය යන සිතිවිල්ලද යන දෙකම තුළ ඇත්තේ ඇලීම සහ ගැටීමය. මෙය නිවන් මඟ අතරමං කරන සියුම් ස්‌ථානයකි. ශීලයෙන් ශක්‌තිමත්ව සමාධිය ඇතිකර ගනිමින් ඔබ අනිත්‍ය වශයෙන් සියල්ල දකිමින් ප්‍රඥාව වඩවාගන්න. එවිට ඔබට ඉබේම ඔබ තුළින්ම විනය රැකේවී. ශීලයෙන් පිරිහෙමින් විනයේ සරණ නොයන්න. නැවත නැවත වැරදි කරමින් නිවැරදි වීම ශාසනය රැකීමේ ප්‍රතිපදාව විය හැකිය. එහෙත් එය සැබෑ නිවන් මඟ නොවේ. ...

යම් භික්ෂුවක් විනය කරුණක් අරභයා තමන් ඇවතකට පැමිණියේ ද, නොපැමිණියේ ද ආදී ලෙස කුකුස් කරයි නම්, සැක කරයි නම්, ඒ ගැන වෙහෙස වෙයි නම් එසේ කිරීමේ නූවමනා බවක් රාජගිරියේ අරියඥාණ හිමි ඉහත ආකාරයට දක්වා තිබෙනවා. අරියඥාණ හිමි විස්තර කර ඇති එම ප්‍රතිපදාව භික්ෂූන් වහන්සේලාගේ අභිවෘද්ධිය පිණිස නොව පිරිහීම පිණිස පවත්නා ප්‍රතිපදාවක්.

යම් භික්ෂුවක් තමන් හික්මිය යුතු විනය ශික්ෂාපද පිළිබඳ අඩු සැළකිල්ලක් දක්වයි නම් එම භික්ෂූව එම ශික්ෂාපද ඉගෙන ගැනීමට මනා කොට යොමු වන්නෙ නැහැ. එසේ වූ විට තමන් කළ යුතු දෑ සහ නො කළ යුතු දෑ මොනවා දැයි මනා වැටහීමක් එම භික්ෂූවට නැතිව යනවා. කළ යුතු දෑ සහ නො කළ යුතු දෑ හරි හැටි නොදන්නා එම භික්ෂුව නො කළ යුතු දෑ කිරීමත්, කළ යුතු දෑ නොකිරීමත් එම නොදැනුවත්කමට අනුව සිදුකරනවා. එසේ වූ විට එම භික්ෂුව තමන්ගේ පරිහාණියම කැමති විය යුතුයි.

යම් භික්ෂුවක් විනය කරුණක් අරභයා තමන් ඇවතකට පැමිණියේ ද, නොපැමිණියේ ද ආදී ලෙස කුකුස් කරයි නම්, සැක කරයි නම්, ඒ ගැන වෙහෙස වෙයි නම් එසේ කිරීමම සුදුසුයි. විනය ශික්ෂාපද වඩ වඩාත් පැහැදිලිව දැන ගැනීමටත්, තමන් අතින් යම් වරදක් සිදුව ඇත්නම් එහි නිවැරදි බවට පැමිණීමටත්, තමන් කළ යුතු දෑහි මනාව නියැලීමට සහ නො කළ යුතු දෑ වලින් මනාව වෙන්ව සිටීමටත් එය උපකාර වෙනවා.

පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාල වග්ගයේ ඇති එකොළොස්වෙනි සහ දොළොස්වෙනි සූත්‍ර:

එකොළොස්වෙනි සූත්‍රය:

58. මහණෙනි, දෙදෙනකුන්ට ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ටය යත්: යමෙකුත් කුකුස් නො කළ යුත්තෙහි කුකුස් කරණුයේ ද, යමෙකුත් කුකුස් කළ යුත්තෙහි කුකුස් නො කරණුයේ ද යන දෙදෙනය. මහණෙනි, මේ දෙදෙනහට ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.

දොළොස්වෙනි සූත්‍රය:

59. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් කුකුස් නො කළ යුත්තෙහි කුකුස් නො කරණුයේ ද, යමෙකුත් කුකුස් කළ යුත්තෙහි කුකුස් කරණුයේ ද, යන දෙදෙනය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.

අතිරේක කියවීම්:

  1. රාජගිරියේ අරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම
  2. රාජගිරියේ අරියඥාණ හිමි සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට මුදල් දිය යුතු අයුරක් පැවසීම
  3. රාජගිරියේ අරියඥාණ හිමි නිවන් අනුසස් කොට ඇති උතුම් සීල ගුණය කෙලෙස් ධර්මයක් යැයි වරදවා අර්ථ දැක්වීම
  4. රාජගිරියේ අරියඥාණ හිමි සංඝයාට තම තමන් කැමති පරිදි ධර්මයට හා විනයට අනුකූල නොවන දේත් කළ හැකිය යන අර්ථ ඇති ලෙස අධාර්මික සහ අවිනය කරුණු පැවසීමෙන් ප්‍රතිපදාව වැරදවීම