මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි "සුරාමෙරයමජ්ජපමාදට්ඨානා" වැරදවීම

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් මජ්ඣිමා පටිපදාව යනු මධ්‍යම ප්‍රතිපදාව නොවේ යැයි කීම වරදවා කීමක් බවත්, මජ්ඣිමා යන්නෙහි අර්ථය අදත් පිළිගන්නා පරිදි මධ්‍යම යන අර්ථයම බවත් විස්තර සහිතව "මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මජ්ඣිමා පටිපදා යනු මධ්‍යම ප්‍රතිපදාව නොවේ යැයි පවසා මජ්ඣිමා පටිපදාව වැරදවීම" යන ලිපියේ පෙන්වා දී තිබෙනවා. එහිමියන් තමන්ගේ එම වැරදි මතය සනාථ කිරීමට උපයෝගී කරගන්නා එක් සාධකයක් වන්නේ "සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණී" යන්න එහිමියන් විසින්ම "සුරාමේරය මජ්ඣිපමා දට්ඨානා වේරමණී" ලෙස විකෘති කිරීම.

එම විකෘති කිරීම මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් රචිත "නිවන් දැකීමට උපකාරී වන්නේ පරම පවිත්‍ර සිරි සද්ධර්මයයි" යන ග්‍රන්ථයේ 231 පිටුවේ දැකිය හැකියි. බුද්ධ ධර්මයේ අර්ථයන් බොහෝ සේ විකෘති කර ඇති එම ග්‍රන්ථය http://deshana.sirisaddharmaya.net/siri_saddharmaya.pdf යන තැනින් ලබා ගත හැකියි.

"සුරාමෙරයමජ්ජපමාදට්ඨානා" යන්න "මදයටත් ප්‍රමාදයටත් හේතු වූ රහමෙර බීම" යන අර්ථයෙන් ත්‍රිපිටකයේ බොහෝ තැන් වල භාවිතා වී තිබෙනවා. උදාහරණයකට ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ අට්ඨක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ ගහපති වර්ගයේ ජීවක සූත්‍රය සහ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ඛුද්‌දකපාඨ පෙළෙහි දසසිකපද දැක්විය හැකියි.

"සුරාමෙරයමජ්‌ජපමාදට්‌ඨානා" යන්නෙහි ඇති "මජ්ජ" යන්නෙහි අර්ථය වන්නේ මදය, මත් බව යන අර්ථයන්. "මජ්ඣ" යන්නෙහි අර්ථය වන්නේ "මධ්‍යම" යන අර්ථය බව මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් මජ්ඣිමා පටිපදාව වරදවන ලද ආකාරය ගැන විස්තර ඇති පෙර දක්වන ලද ලිපියේ විස්තර සහිතව දක්වා තිබෙනවා. මජ්ඣිමා පටිපදාව යනු මධ්‍යම ප්‍රතිපදාව නොවේ යැයි කීමට සාධක වන පරිදි මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පස්වන ශික්ෂා පදය විකෘති කර ඇත්තේ එම ශික්ෂා පදයේ ඇති "මජ්ජ" යන්න "මජ්ඣි" ලෙස වෙනස් කිරීමෙන්.

"සුරාමෙරයමජ්ජපමාදට්ඨානා" යන්න "මදයටත් ප්‍රමාදයටත් හේතු වූ රහමෙර බීම" යන අන් දහම් සමඟ මනා සේ සැසඳෙන අර්ථවත් ලෙසින් පැවතියදී "සුරාමේරය මජ්ඣිපමා දට්ඨානා" යන විකෘති කිරීම හේතුවෙන් "මජ්ඣ" යන්නෙහි නිවැරදි අර්ථය සමඟ ගත් විට "මැදටත් ප්‍රමාදයටත් හේතු වූ රහමෙර බීම" වැනි විකෘති අර්ථයකුයි ඇති කරන්නේ. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් පංච ශික්ෂා පදයන්ගේ පස් වන ශික්ෂා පදය මෙසේ විකෘති කිරීම සූත්‍ර සහ විනය කරුණු වලට කොහෙත්ම ගැළපෙන්නේ නැහැ.

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් මනාව පවත්නා බුද්ධ භාෂිතය බොහෝ සෙයින් විකෘති අර්ථ ඇතිව අන් බොහෝ පිරිසකට දක්වා සම්මා සම්බුද්ධ සාසනයට මහත් වූ හානියක් කරනවා.