2025 වෙසක් පෝ දා නිමිත්තෙන් සමාජයට වැඩදායී ධර්ම දානයක් දෙමු

Submitted by Kamal Wickramanayake on

අද 2025 වසරේ වෙසක් පොහොය දිනය. බුදුරජානන් වහන්සේගේ තෙමඟුල සිහි කරමින් ධර්ම දානයක් දීම සඳහා මා සමඟ එක්වන මෙන් මෙම ලිපිය කියවන සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මෙම ධර්ම දානයේ දී සිදුකෙරෙන්නේ දීඝනිකායේ ප්‍රථම සූත්‍රය වන බ්‍රහ්මජාල සූත්‍රය තමනුත් කියවා සිහි තබා ගැනීම සහ සමාජයේ හැකි තරම් දෙනා අතර බෙදා දීම. ඒ සඳහා පහත දැක්වෙන සබැඳි භාවිතා කරන්න පුළුවන්. කැමති නම් සූත්‍රය අඩංගු PDF ගොනුව බාගත කොට විද්‍යුත් තැපැල් පණිවිඩවලට අමුණා අන් අය වෙත යවන්නත් පුළුවන්.

කවර හේතුවක් නිසාද මා බ්‍රහ්මජාල සූත්‍රය තෝරා ගත්තේ? බ්‍රහ්මජාල සූත්‍රයේ විශේෂත්වය වනුයේ දෘෂ්ටිවාද හැට දෙක එම සූත්‍රය තුළ සවිස්තරාත්මකව විස්තර වීමත් ඒ තුළින් බුදුරජානන් වහන්සේගේ අද්විතීය ඥාණය අන් දෘෂ්ටිවාද ඉදිරිපත් කරන්නන් අභිබවා යන ආකාරයත් අන්තර්ගත වීමයි. මේ සූත්‍රයේ අන්තර්ගත අර්ථය සමාජයේ බොහෝ දෙනෙක් ග්‍රහණය කර ගත හොත් ඔවුන්ට ලෝකයේ විවිධ ආගම්වාද සැසදීමටත්, ඒ විවිධ ආගම්වාද අතරින් බුදුදහමෙහි සුවිශේෂත්වය පිළිබඳ වැටහීමක් ලබා ගැනීමටත්, දෘෂ්ටි හැට දෙකේ නොපැටලී ඉන් මිදීමටත් පිටුවහලක් ලැබෙනවා. එබැවින් බ්‍රහ්මජාල සූත්‍රය සමාජයේ බොහෝ දෙනෙක් දැනගෙන සිටීම සමාජයට බෙහෙවින්ම වැඩදායී.

තථාගත බුදුරජානන් වහන්සේගේ ඇති පරිදි වූ ම ගුණ කීමට කැමති අය යම් ධර්ම කෙනෙකුගෙන් එම ගුණ මනාව කියනවා නම් ඒ ධර්ම ක්‍රමය බ්‍රහ්මජාල සූත්‍රයේ විස්තර වෙනවා. ඒ බව සූත්‍රයේම සඳහන්ව තිබෙනවා.

බ්‍රහ්මජාල සූත්‍රය සමාජයේ බොහෝ දෙනා අතර ප්‍රචලිත කෙරුමට එම සූත්‍රය දරු දැරියන්, තරුණ තරුණියන්, වැඩිහිටියන් සහ වයස්ගත පුද්ගලයින් අතර බෙදා දෙන මෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා.

බුදුරජානන් වහන්සේගේ ඇති පරිදි වූ ම ගුණ සමාජයේ බොහෝ දෙනා දැනගනිත්වා! අන් අයට යහපත කැමති වූ බොහෝ දෙනා බ්‍රහ්මජාල සුත්‍රය මනාව සමාජගත කෙරුමට මා හට උපකාර කරත්වා!

බාගත කරන්න: "DN1-Brahmajala-Sutta.pdf" (5.3MB)

අන්තර්ජාලයේ කියවන්න: "බ්‍රහ්මජාල සූත්‍රය"