පෙරේදා දිනයේ මම ලියූ "කමල් වික්‍රමනායකගේ වසල සූත්‍රය" යන ලිපියට සබැඳි තවත් ලිපියක් ලියන්න මට හිතුනා. ඒ මා වෙත වසල චෝදනාව මට එල්ල කළ මගේ මිත්‍රයාට අනුග්‍රහ පිණිස සහ මගේ ලිපි කියවන අන් අයගේ වැඩි දහම් දැනුම පිණිස.
සත්පුරුෂයින් තමන්ට නින්දා අපහාස කරන අයට අනුග්‍රහ පිණිස දහම් දෙසන්නේ නෑ. එබඳු අයට දහම් දෙසීම සදාචාරසම්පන්න ක්‍රියාවක් නොවෙයි. ඉන් හානියක් සිදුවෙනවා. අනික එවන් අවස්ථාවන්හිදී දහම් අසා වටහා ගන්න හැකි විවෘත්ත මානසිකත්වයකිනුත් නෙවෙයි ඒ අය ඉන්නේ. ඒ නිසා එබඳු අවස්ථාවන්හිදී සුදුසු බව බලා නිශ්ශබ්දව සිටීම, ඔවුන්ව මඟහැරීම හෝ ඔවුන්ව නිග්‍රහයට පත් කිරීමයි සුදුසු. ඒත් මට වසලයා සහ පිස්සා යැයි චෝදනා කළ මගේ මිත්‍රයාගේ ස්වභාවය ගැන මම දිගු කලක සිට දන්නවා. මම සලකන්නේ ඔහු මට ඒ චෝදනා එල්ල කළේ මම වැටී ඉන්නවා යැයි ඔහු හිතන ආගාධයෙන් මාව ගොඩ ගැනීමේ අදහසින් කියලා. ඒ නිසා මම ඔහුට අනුග්‍රහ පිණිස දහම් පැහැදිලි කරන්න පසුබට වන්නේ නැහැ.
පෙර ලිපියේ මම සඳහන් කර සිටියා මගේ මිත්‍රයා මගේ සහ අන් අයගේ සාර්ථකත්වය සැසඳීමේ මිම්ම ලෙස කාමයන් භාවිතා කළ බව. මෙම ලිපියෙන් මම ඒ පිළිබඳ වැඩි විස්තර සඳහන් කරනවා.
විස්තර කිරීමේ සහ වටහා ගැනීමේ පහසුව පිණිස මම මිල මුදල් ආදි භෞතික සම්පත් පිළිබඳ සඳහන් කරන්නම්. මෙම ලිපියේ පණ්ඩිතයා යන වචනය මම භාවිතා කර ඇත්තේ කාම පරිභෝග කරන පණ්ඩිතයින්ව දැක්වීම සඳහායි.
මිල මුදල් ආදී භෞතික සම්පත් මිනිසුන්ට ප්‍රිය උපදවනවා. කාම පරිභෝග කරන පණ්ඩීතයිනුත් මේ සම්පත්වල ප්‍රයෝජනවත් බව දකිනවා. ඒත් පණ්ඩිතයින් මේ සම්පත්වල තවත් පැතිකඩක් දකිනවා. ඒ තමයි මේවායින් දුක හටගන්නා බව. ඒ කොහොමද? ඒ කාමයන් කෙරෙහි බැඳීම සසර නැවත ඉපදීමටත්, එබැවින් නැවත ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන්ට හේතු වන බැවින්. ඒ නිසා මිල මුදල් ආදී භෞතික සම්පත් කෙරෙහි ඇලීම දුක බදා ගැනීමක් ලෙසයි පණ්ඩිතයින් දකින්නේ. ඒ නිසා පණ්ඩිතයින් මේ කාම සම්පත් පරිභෝග කරන්නේ එයින් මිදෙන අදහස් ඇතිව. වෙනත් වචනවලින් කියුවොත් නිස්සරණ ප්‍රඥාවෙන්.
කාම පරිභෝග කරන පණ්ඩිතයින් මිල මුදල් ආදී භෞතික සම්පත් දකින්නේ ඔවුන්ට ඒවා අවශ්‍ය සහ ජීවිතයට පහසුවක් ඇති කරන ලෙස. ඒවායෙහි අඩු බව සහ නොමැති වීම අපහසුතා ඇති කරන බව පණ්ඩිතයින් දන්නවා. ඒත් මිල මුදල් ආදී භෞතික සම්පත් නොමැතිවීම මත පණ්ඩිතයින් කම්පාවට පත්වන්නේ නෑ. ඒත් අනුවණයින්ට මිල මුදල් ආදී භෞතික සම්පත් නොමැති වීම කම්පාවට කාරණාවක්. ඔවුන්ගේ ඇල්ම නිසා ඔවුන්ට මිල මුදල් ආදී භෞතික සම්පත් නොමැතිවීමම ඔවුන් තුළ දුක ඇති කරනවා.
කාම පරිභෝග කරන පණ්ඩිතයිනුත් කාම සම්පත් හොයනවා, අනුවණයිනුත් කාම සම්පත් හොයනවා. මේ කාම පර්යේෂණය අසාර්ථක වූවොත් පණ්ඩිතයා එයිනුත් කම්පාවට පත්වන්නේ නෑ. ඒත් අනුවණයා එයිනුත් කම්පාවට පත් වෙනවා.
පණ්ඩිතයා කාම පර්යේෂණය සාර්ථක වුවහොත් ඉන් තෘප්තියට පත්වෙනවා. අනුවණයාත් කාම පර්යේෂණය සාර්ථක වුවහොත් ඉන් සාමාන්‍යයෙන් තෘප්තියට පත්වෙනවා. වෙනස තියෙන්නේ පණ්ඩිතයා ඉන් උද්ධාමයට පත්වන්නේ නෑ. පණ්ඩිතයා නිස්සරණ ප්‍රඥාවෙනුයි තමන්ගේ කාම පර්යේෂණයේ සාර්ථකත්වය ගැන තෘප්තිමත් වන්නේ. ඒ නිසා තමන් මෙච්චරක් හොයා ගත්තාට අන් අය මෙච්චර හොයා ගත්තේ නෑ කියලා අන් අයව පහත හෙලන්න පණ්ඩිතයා යොමුවන්නේ නෑ. ඒ වගේම තමන්ට වඩා වැඩි ලාභයක් ලැබූ අය දැක පණ්ඩිතයා අතෘප්තියට පත්වන්නෙත් නෑ. පණ්ඩිතයා ලද දෙයින් සතුටු වෙනවා. අනුවණයා වැඩි ලාභයේදී උද්ධාමයට පත්වෙනවා. අඩු ලාභයේදී අතෘප්තියට පත්වෙනවා. තමන්ට වඩා වැඩි ලාභයක් ලැබූ අය දැක අනුවණයා තව තවත් කාම පර්යේෂණයට උත්සුක වෙනවා. අනුවණයාගේ අතෘප්තිය අවසන් වන්නේ නෑ.
උදාහරණයකට මගේ මිත්‍රයා කළා වගේ කාමයන් ඇසුරෙන් තමන් සහ අපේ සමකාලීන මිත්‍රයින් මෙච්චර සාර්ථකයි, මම මෙච්චර අසාර්ථකයි කියලා මාව පහත හෙලන්න පණ්ඩිතයින් යොමු වන්නේ නෑ. මගේ මිත්‍රයාගේ ඒ සැසඳීම තුළ පවතින්නේ කාමයන් කෙරෙහි ඔහු තුළ ඇති ඇල්ම. ප්‍රිය කාමයන් කෙරෙහි ඔහුගේ ඒ ඇල්මෙන් ඔහු බැඳී ඇත්තේ දුකේ බව ඔහුට වැටහෙන්නේ නෑ. ඒ බැඳීමෙන් ඔහුට මතු දුක උරුමයි.
කාමයන් පිළිබඳ නිස්සරණ ප්‍රඥාවෙන් වසන බුද්ධ ශ්‍රාවකයින්ට කාමයන්ගෙන් පුද්ගලයින්ගේ සාර්ථකත්වය මනින්න යෑම පේන්නේ කාගේ කටින්ද වැඩිපුර කෙළ බේරෙන්නේ කියා සොයන්න යෑමක් ලෙස.
මේ පිළිබඳ තවත් වටහා ගන්න සුදුසු ත්‍රිපිටක සූත්‍රයක් වන්නේ සංයුත්ත නිකායේ නිදාන වග්ගයේ කස්සප සංයුත්තයේ මිළ්හක සූත්‍රය. ධනය රැස් කිරීම පමණක් නොව තමාට ලැබෙන දේ නිසා මත් වී අන් අයට වඩා උසස් බවක් දැනීමට සිත් ඇති කර ගැනීම එම සූත්‍රයේ දැක්වෙන ගොමවලින් පිරී ඉතිරී ගිය, ගොමවලින් හොඳටම බඩ පිරුණු, තමන් ඉදිරියේ විශාල ගොම ගොඩකුත් ඇති ගොම කන කුරුමිණියෙක් තමන්ගේ ඒ ධනය නිසා මත්ව අන් අය පහත හෙලන්න සිත් ඇති කර ගැනීම සමඟ සසඳා බලන්න පුළුවන්.
මමත් මගේ මිත්‍රයාත් ඉගෙන ගත්තේ මහජන මුදලින්. ඒ මුදල් ආවේ අපේ රටේ දුප්පත් පොහොසත් හැමෝගෙම මහන්සියෙන්. ඉන් ඉගෙන ගත් අපි පොහොසත් වෙලා අපි ඉගෙන ගත්තේ අන් අයගේ මුදලින් බව අමතක කරලා අපි එක එක්කෙනාගේ පොහොසත්කම් සසඳලා එකිනෙකාට පරිභව කරන්න යෑම සුදුසුද? අපි කොච්චර හම්බ කළත් අපේ බත් පත අපිට දායාද කරන්න අපිට නැති බැරි අවස්ථාවේ උදවු කළේ කවුද? දුප්පතුන්ගෙනුත් පිහිටෙන් ඉගෙන ගත් අපි කොහොමද අපේ හම්බකිරීම් ගැන ආඩම්බර වෙලා එකිනෙකා හෙලා දකින්නේ? මේ විදිහටත් හිතන මට මගේ මිත්‍රයාගේ සැසඳීම ගැන පිළිකුළක් ඇතිවෙනවා.
ගිහි ගෙය වසන පුද්ගලයින් මිල මුදල් ආදී භෞතික සම්පත් ලබා ගැනීම කෙරෙහි උත්සුක කිරීමේ සහ සුදුසු අවස්ථාවන්හිදී ඒ අරඹයා ඔවුන්ව ගැරහීමට ලක් කිරීමේ වරදක් මම දකින්නේ නෑ. සාමාන්‍යයෙන් එය හොඳ ක්‍රියාවක්. හැබැයි තම තමන්ගේ තරාතිරම් සසඳා එකිනෙකා හෙලා දකින්න නොවේ. අනික ඔය කාරණාව හැමෝටම එක ලෙස සුදුසු වන්නේත් නෑ. එහි පුද්ගල ප්‍රතිබද්ධ බවකුත් තිබෙනවා. උදාහරණයකට මම කෑම තිබුණාට සහ බඩගිනි තිබුණාට කන පුද්ගලයෙක් නොවෙයි. ඉහත විස්තර කළ ආකාරයේ දැනුමක් තිබුණාට, අන් බොහෝ අයට වඩා සමහරක් කර්මාන්තයන්හි යම් යම් කුසලතාවයන් තිබුණාට සහ අවශ්‍යතාවයත් තිබුණාට මම එතෙකින් කාම පර්යේෂණයට නැවෙන අයෙකුත් නෙවෙයි. මේ හේතු ගැන මගේ මිත්‍රයාට ඇති වැටහීමකුත් නැහැ. සදාචාරසම්පන්න බව, ගුණයහපත්කම් පිළිබඳ මගේ මිණුම් වෙනස්. මගේ මිත්‍රයාට ඔවැනි දෑ ගැන කීමත් මේ අවස්ථාවේ නම් වැඩක් නෑ.
ගිහි ගෙය වසන අයට මම කියන්නේ මෙසේයි: මිල මුදල් ආදී භෞතික සම්පත් සුළුවෙන් නොව විපුල ලෙස ලබන්න උත්සාහ කරන්න. ලෝභ නැතිව ඒවා විය පැහැදම් කර තමන්ව සතුටු කරගන්න. අන් අයටත් සතුටින් බෙදා දෙන්න. දන් පින් ආදී දෑත් බොහෝ කරන්න. හැබැයි නිස්සරණ ප්‍රඥාවෙන් ඒ දේවල් කරන්න. විවේකය සොයන්න, ධර්මය අසන්න, ධර්මය දරන්න, ධර්මය විමසන්න, ධර්මයේ හැසිරෙන්න, ධර්මයේ ඵල ලබන්න, කාමයන්ගෙන් සම්පූර්ණයෙන් වෙන් වීම අපේක්ෂා කරන්න, ඒ වෙනුවෙන් කටයුතු කරන්න, දුකේ අවසානය දකින්න.
ඇයි මම භෞතික සම්පත් සුළුවෙන් නොව විපුල ලෙස ලබන්න උත්සාහ කරන්න කියා කීවේ? මම මින් අදහස් කළේ සාමාන්‍යයෙන් සිතිය යුතු ආකාරය. ඒත් මේ ප්‍රමාණය පුද්ගලානුබද්ධවත් වෙනස් වෙන්න පුළුවන්, කාලානූරූපිවත් වෙනස් වෙන්න පුළුවන්. ධනය ගොඩ ගැසීමේ තෘෂ්‍ණාවෙන් බැහැරව නිස්සරණ ප්‍රඥාවෙන් කටයුතු කරන අයට ධනයෙන් සමාජයට බොහෝ යහපත් දෑ කළ හැකියි. ප්‍රධාන වශයෙන් මම ඒ දානමය චේතනාව සහ සමාජ යහපත සලකායි විපුල යන වචනය භාවිතා කළේ. එවන් දානමය කටයුතු කරන්න තම තමන් ඉන්නා පරිසරය කෙතරම් උපකාරී වෙනවාද, තමන්ගේ එවන් අභිලාශයන් කොයි ආකාරද, තමන්ට ඊට ඇති වෙනත් හැකියාවන් කොයි ආකාරද, තමන්ගේ දිවියේ මුඛ්‍ය පරමාර්ථය සාක්ෂාත් කරගැනීමට බාධාවක් නොවන ධනය හොයන්න වෙහෙසීමේ තමන්ට සුදුසු මට්‍ටම කුමක් ද ආදී දෑ ගැන සලකා බලා තමන්ට සුදුසු භෞතික සම්පත් ප්‍රමාණය ගැන ඇගැයීමක් කර ගැනීම සුදුසුයි. අනික වඩාත් සැපවත් ජීවිතයක් ගත කිරීම නිස්සරණ ප්‍රඥාවෙන් කටයුතු කරන කෙනාටත් පහසුවක් මිස අපහසුවක් නෙවෙයි. නිස්සරණ ප්‍රඥාවෙන් කටයුතු කරනවා නම් පහසුවෙන් ධනය ඇති කර ගන්නත් පුළුවන් නම් නාඩු හාල් බත් කන අයට බාස්මතී කෑම අගුණයෑ?
මගේ මිත්‍රයාට මහත් ප්‍රශ්නයක් වූ තවත් මගේ හැසිරීමක් වූයේ ඇයි මම නීතිඥයින් අධිකරණවල බොරු කියන එක වළක්වන්න කටයුතු කරනවා වැනි දේවල්වල නිරත වෙන්නේ යන්න. ඉන් ඒ පිරිස්වලට පීඩාවක් ඇතිවෙනවා. ඒ බව මමත් දන්නවා. මගේ මිත්‍රයා මට දහම් පද ඇසුරින් කියා දෙන්නත් පෙළඹුනා ඇයි මම ඒ වාගේ ක්‍රියා නොකළ යුත්තේ කියා. ඔහු මට කීවේ අතහැරීම ගැන. ඇයි මම අතහරින්නේ නැත්තේ? ඇයි මම ඒ අයට පීඩාකාරී දේවල් කරන්න හඹා යන්නේ? මගේ ඒ ක්‍රියාවන් බුදු දහමට හාත්පසින් විරුද්ධයි නේද? මා වෛරයෙන් නේද අන් අයට පීඩාකාරී වන ඒ දේවල් කරන්නේ?
මගේ මිත්‍රයාට මෙතැනදිත් පැටලුනා. මම හැබෑවටම දන්නවා මම ඒ කරන දේවල්වලින් ඒ පුද්ගලයින්ව දැඩි පීඩාවට පත්වන බව. ඔවුන්ගේ කීර්තිය සහ රස්සාවල් නැතිවෙන්න වුවත් පුළුවන්. ඔවුන්ගේ ඥාතීන් දුකට පැමිණෙන්නත් පුළුවන්. ඒත් මෙතන මා තුළ ඇත්තේ වෛරී සහගත චේතනාවක් නෙවෙයි. මට ඇත්තේ මෛත්‍රී සහගත චේතනාවක්. මම ඔවුන්ට අනුකම්පා කරනවා. අධිකරණ පද්ධතිය කියන්නේ සමාජයට සුවීශේෂී සේවාවක් කරන සමාජ ව්‍යුහයක්. පීඩාවන්ට පත්ව සහන ඉල්ලා එන අයට යුක්තිය, සාධාරණත්වය ඉටුවිය යුතු අධිකරණ තුළ බඩ වෙනුවෙන් බොරු බේගල් කියමින් පීඩාවට පත්වූවන්ට තව තවත් දුක් ඇතිකරමින් දිගින් දිගටම පාප ක්‍රියාවන්ගේ යෙදෙන පුද්ගලයින් තමන්ටත් සමාජයටත් කරන්නේ බරපතල හානියක්. එවන් අයට මතුවට උරුම වන්නේ නිරය. ඔවුන්ව හිරේ දාලා හරි ඔවුන් ඒ කරන සමාජ හානිය වැළැක්වූවොත් සහ ඒ ක්‍රමයෙන් ඔවුන් දිගින් දිගටම කරන පවුකම් වළක්වා ඔවුන් නිරයේ වැටීම වැළැක්වූවොත් මම ඔවුන්ව අඩු දුකට පත් කරලා මහා පරිමාණ දුකින් මුදවා ගැනීමක් කරනවා. මෙහෙම හිතන මම ද වෛරක්කාරයා? මට ද දහම් වැරදුනේ?
මම නම් හිතන්නේ මේ ආකාරයට හරි මගේ මිත්‍රයාට දහම් කියා දෙන මගේ මිත්‍රයාට ඇසුරු කරන්න මම සිටීම මගේ මිත්‍රයාගේ භාග්‍යයක් කීයලා. මොකද මට බැණ වැදුනත් වදෙන් පොරෙන් හරි මගේ මිත්‍රයාට දුක් නිම කරන්න උපකාර කරන්න හැකියාවක් මට තියෙනවා කියලයි මම හිතන්නේ. තමන්ගේ ඒ භාග්‍යය මගේ මිත්‍රයාට තේරෙන්නේ නැත්නම් මම මොනවා කරන්නද? මගෙන් සිසිලසක් ඇති කරගන්න මගේ මිත්‍රයාට අවකාශය තියෙනවා.
අනිත් අතට මම ගින්දරක් වගේ කියලයි මම හිතන්නේ. ප්‍රදුෂ්‍ට සිත් ඇතිව මට හිරිහැර කරන්න ආවොත් මගේ මිත්‍රයා නොසෑහෙන්න පිච්චෙයි. අපායේ ගින්දරින් පිච්චීම ගැනම සිතා ගැනීම සුදුසුයි කියලයි මට හිතෙන්නේ. මම ගැන බොරු කියලා මට විරුද්ධව නඩු දැම්මොත් මට සිද්ධ වෙනවා තමන්ව විනාශ කර ගැනීම වළක්වන්න මගේ මිත්‍රයාව හිරේ දාලා හරි නවත්වන්න. අනේ, අයියෝ, මට මෙහෙම කරන්නේ ඇයි, මම මොකක්ද කරපු වරද, මගේ බිරිදට සහ දරුවන්ට දැන් මොකක්ද වෙන්නේ, ඇයි මට මෙච්චර වෛර කරන්නේ ආදී ප්‍රශ්නවලට මම නම් ඒ වෙලාවට උත්තර දෙන්න යන්නේ නෑ. අපායේ වැටෙනවාට වඩා ඕවා සුළු දේවල්නේ? යාළුවෙක් වුනහම එහෙම හිරේ දාලා හරි අපායෙන් බේරලා මම මගේ මිත්‍රයාට උදව් කරන්න එපැයි? එහෙම නොකරොත් නුවණැති මිනිසුන් මට දොස් කියයි හැකියාව තිබියදීත් මම මගේ යාළුවාට උදව් කළේ නෑ කියලා. මටමත් හිතෙන්න පුළුවන් හැකියාව තිබියදීත් මම මගේ යාළුවාට උදව් කළේ නෑ කියලා.
දන්න කියන අය අපායේ වැටෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී ඔන්න ඔහෙ වැටුනාවේ කියලා ඉන්න පුළුවන් යෑ මෛත්‍රී සිත් ඇති, අනුකම්පා සිත් ඇති අයට?
සබැඳිය: