මාන්කඩවල සුදස්සන හිමිගේ නරිවාද ලබුවිජ්ජා සම්භාෂණය - 2 (2020-01-04)

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාව මුණගැසෙන්නට කලක පටන් මට උවමනාවක් තිබුනත් එහි යෑමට අවස්ථාවක් මට ඇති වූයේ මේ වසරේ ජනවාරි දෙවන දා. පිවිසීම මදක් දුෂ්කර උවත් ආරණ්‍ය සේනාසනය රමණීයයි. ජනවාරි හතර වෙනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පවත්වන්නට යෙදී තිබූ ත්‍රිපිටක පූජාව නිසා ආරණ්‍යයේ භික්ෂූන් වහන්සේලා නොමැති වේ දෝයි සිතමිනුයි මම එහි ගියේ. කාර්යාලයේ සිටි මහත්මයෙක් ආරණ්‍ය සේනාසනයේ ස්ථාන කිහිපයක් මට පෙන්වූවා. එතුමාට පින්. තවද මගේ වාසනාවට කොළඹට වැඩම කිරීමට පෙර යම් කටයුතු කිහිපයක නියැලෙමින් සිටි එක් භික්ෂූන් වහන්සේ නමක් අහඹු ලෙස හමුවන්නට ද හැකි වූවා.

එබඳු රමණීය ආරණ්‍ය සේනාසනයක් පැවතියදී බුදුසසුන රැකීම පෙරදැරිව රටේ නොයෙක් තැන්වලට වැඩම කිරීම එහි වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලාට වෙහෙසක් මයි. ආරණ්‍ය සේනාසනයේ ඉදිවෙමින් පවත්නා සීමා මාලකය මගේ අවධානය යොමු වූ ස්ථානයක්. සීමා මාලකයටත් වඩා මගේ සිත ගියේ එම ගොඩනැගිල්ලේ ඉහළ මහලක ඉදිවෙමින් පවතින ලංකාවේ සහ ලොව පුරා ඇති ධර්ම ග්‍රන්ථ ආදිය හැකි පමණින් එක්රැස් කොට අන් අයට භාවිතා කිරීමට පහසුකම් සැලසීමට සහ සංරක්ෂණය කිරීම පිණිස භාවිතා කිරීමට නියමිත පුස්තකාලය වෙත. මෙම පුස්තකාලයෙන් ලැබෙන සේවාව දෙස් විදෙස් බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි. මෙබඳු වටිනා ක්‍රියාවකට රාජ්‍යය අනුග්‍රහයත් ලැබෙනවා නම් තමයි සුදුසු. එනමුත් එසේ වන බවක් ගැන මම දැනුවත් වූයේ නෑ. ඒ ගැන විශේෂයෙන් අසන්නට මට අතපසු වුවත් එම ඉදිකිරීම් කටයුතු දායකයින්ගේ පරිත්‍යාග මත සිදුවන බව දැනගන්නට හැකි වූවා.

මට කොත්මලේ කුමාරකස්සප හිමිව මුණගැසීමට තිබූ උවමනාව නිසාත්, එහිමියන්ට ද මාව මුණගැසීමට තිබූ උවමනාව නිසාත් ජනවාරි තුන්වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී එහිමියන්ව හමුවීමට හැකි වූවා. පසු දින පැවැත්වීමට නියමිතව තිබූ ත්‍රිපිටක පූජාව නිසා කාර්යය බහුලත්වයක් තිබුනත් එහිමියන් සමඟ සුළු කාලයක් හෝ සාකච්ඡා කිරීමට අවස්ථාවක් මා වෙත ලබා දීම කෘතඥතා පූර්වකව සිහිපත් කරනවා.

දීර්ඝව සාකච්ඡා කරන්නට කාලය ප්‍රමාණවත් නොවුනත් එම සාකච්ඡාවේදී බුදුසසුනේ උන්නතිය වෙනුවන් ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා කෙබඳු ආකාරයේ කටයුතු කරනවාද යන්නත්, නරිවාද ලබුවිජ්ජා සම්භාෂණය පිළිබඳවත්, ධර්මගොඩ කොපිරයිට්‍නන්ද පව්කාර ලොකු හිවල්හාමි පිළිබඳවත්, අන් කරුණු කිහිපයක් පිළිබඳවත් සුළුවෙන් සුළුවෙන් සාකච්ඡා කෙරුනා. හැකි විටෙක නැවත සාකච්ඡා කළ යුතු අදහසින් එම සාකච්ඡාව අවසන් කෙරුනා.

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා තමන්ට ඇති සීමිත පහසුකම් භාවිතා කොට බුදුසසුන වෙනුවන් අගනා සේවයක් කෙරුමට නැඹුරුව සිටින බවයි පෙනෙන්නේ. එම හිමිවරුන්ට දැනට ඇති පහසුකම් එම හිමිවරුන්ට බුදුසසුන වෙනුවන් කළ හැකි දෑ කෙරුමට ප්‍රමාණවත් නැතැයි මම හිතනවා. ආරණ්‍ය සේනාසනයේ මේ වන විට ඉදිවෙමින් පවතින සීමා මාලකයේ වහළය සැකසීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පහලොවක් - විස්සක් තරම් වැය වනු ඇතැයි මම හිතනවා. වහළයට අමතරව කෙරුමට ඇති අතිරේක වැඩ නිමවීමට සහ එම ගොඩනැගිල්ලේම ඉදිවෙමින් පවතින පුස්තකාලයේ අභ්‍යන්තර කටයුතු සඳහා තවත් මුදල් වැය වේවි. වැඩ නිමවීමෙන් පසුවත් පුනරාවර්තන වියදම් පවතීවි. වචනයෙන් කවුරුවත් මට නොකීවත් එම හිමිවරුන්ට වැඩි පහසුකම් ඇත්නම් එම පහසුකම් බුදුසසුනේ උන්නතිය වෙනුවෙන් සකසුරුවම්ව භාවිතා කරනු ඇතැයි මම හිතනවා. මේ ලිපිය කියවන හැකියාව ඇති පින්වතුන් ඒ පිළිබඳ උත්සුක වෙත්වා! පහත දැක්වෙන්නේ මුදල් පරිත්‍යාග යොමු කළ හැකි ආරණ්‍ය සේනාසනයේ සංවර්ධන අරමුදලට අදාළ බැංකු ගිණුමේ විස්තර:

බැංකුව: සම්පත් බැංකුව
ශාඛාව: අනුරාධපුර සුපර් ශාඛාව
ගිණුමේ නම: ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසන සංවර්ධන සමිතිය
ගිණුමේ අංකය: 102161004187

මුදල් පරිත්‍යාග කෙරුමට කැමති අය එම ගිණුමට මුදල් දැමීමට පෙර ආරණ්‍ය සේනාසනය සමඟ සම්බන්ධ වී ගිණුම පිළිබඳ විස්තරවල නිරවද්‍යතාවය පරික්ෂා කර බැලීමත්, තමන් සහ තමන් කරන පරිත්‍යාග පිළිබඳ විස්තර ආරණ්‍ය සේනාසනයට දැනුම් දීමත් වඩාත් සුදුසුයි. මුදල් පරිත්‍යාග කරත් නොකරත් සෘජුවම ආරණ්‍ය සමඟ සම්බන්ධ වී අවශ්‍ය කටයුතු කර දෙන්න කැමති අයට ඊටද අවස්ථාව තිබෙනවා.

"චිරං තිට්ඨතු ලොකස්මිං සම්මාසම්බුද්ධසාසනං,
තස්මිං සගාරවා නිච්චං හොන්තු සබ්බෙපි පාණිනො."

සබැඳි:

  1. මාන්කඩවල සුදස්සන හිමිගේ නරිවාද ලබුවිජ්ජා සම්භාෂණය (2018-08-11)
  2. නරිවාද ලබුවිජ්ජා සම්භාෂණයේ තේමා ගීතය 2020-01-04
  3. ලබුනෝරුවකන්ද නරිවාද ශාසන සමීක්ෂා 2019-01-05
  4. නරිපණ්ඩිත කොත්මලේ කුමාරකස්සප හිමිගෙන් "අපි නොදන්න මහමෙව්නාව"
  5. ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල්හාමි අභිධර්මය ගැන කීමට කට අරියි. මූසල හිවල් නද පැතිරෙයි.