බුදුන් වහන්සේ ධර්මය සිය ගුරු තනතුරෙහි තැබූ බවට මතයක් සමාජයේ පැතිර තිබෙනවා. මමත් සිතා සිටියේ එසේමයි. නමුත් දින කිහිපයකට ඉහතදී යම් මහත්මයෙක් එය එසේ නොවන බවට මා වෙත කරුණු ඉදිරිපත් කළා. ඒ පිළිබඳ පරික්ෂා කර බැලූ මමත් දුටුවේ එතුමාගේ එම අදහස නිවැරදි බවයි.
උක්ත මතය සමාජගතවීමට හේතු වන්නට ඇතැයි සිතිය හැකි වදන් ත්‍රිපිටකයේ නොයෙක් තැන්වල දක්නට පුළුවන්. පහත දැක්වෙන්නේ අදාළ උපුටා ගැනීම් දෙකක්:
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ සගාථචග්ගයේ බ්‍රහ්‌මසංයුත්‌තයේ කෝකාලිකවග්ගයේ ගාරව සූත්‍රයෙන්:
[ පාලි ]
යන්නූනාහං ය්වායං ධම්මො මයා අභිසම්බුද්ධො තමෙව ධම්මං සක්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරෙය්‍යන්ති.
[ සිංහල පරිවර්තනය ]
යම් ඒ ධර්‍මයක් මා විසින් මනාකොට අවබෝධ කරණ ලද්දේ ද, ඒ ධර්‍මය ම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වෙසෙන්නෙම් නම් මැනවැ යි.
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ පඤ්චකනිපාතයේ කකුධවග්ගයේ සීහ සූත්‍රයෙන්:
[ පාලි ]
ධම්මගරු භික්ඛවෙ තථාගතො ධම්මගාරවොති.
[ සිංහල පරිවර්තනය ]
මහණෙනි, තථාගතයෝ ධර්මය ගුරු කොට ඇතියහ. ධර්ම ගෞරව ඇතියහ.
ඉහත උපුටා දැක්වීම්වලට අනුව පාලි "ගරු" යන වචනය "ගුරු" ලෙස සිංහලට පරිවර්තනය වී ඇති බව දක්නට පුළුවන්. වර්තමානයේ සිංහල භාවිතා වන ආකාරයට අනුව "ගුරු" යන වචනය ඉහත ආකාරයෙන් යෙදී ඇති විට සාමාන්‍යයෙන් අපට සිහිවන්නේ ගුරුවරයා යන අර්ථය. එසේ වුවත් "ගුරු" යන වචනයට සිංහලෙන්ම ඇති විවිධ අර්ථ දෙස බැලීමේදී "උතුම්" ආදී අර්ථවල ද එය යෙදෙන බව පෙනෙනවා. ඒ නිසා ඉහත ආකාරයේ වදන් "බුදුන් වහන්සේ ධර්මය සිය ගුරු තනතුරෙහි තැබූ සේක." යන අර්ථයෙන් ගැනීමට හේතු වන්නට ඇත්තේ සිංහල පරිවර්තනයේ දෝෂයක් නිසා නොව සිංහල "ගුරු" යන වචනයේ අර්ථය සිංහලෙන් කියවන අය විසින්ම වරදවා ගැනීම විය හැකි බවයි මට සිතෙන්නේ.
පාලි "ගරු" යන වචනය සිංහලට පරිවර්තනය කිරීමේදී සිංහලෙන් එය "ගරු" ලෙස තිබ්බා නම් ඉහත ආකාරයේ පටලවා ගැනීමක් නොවන්න ඉඩ තිබ්බා. සිංහල පරිවර්තනයේ යම් යම් ස්ථානවල පාලි "ගරු" යන වචනය එසේ "ගරු" ලෙසම පරිවර්තනය වී ඇති ස්ථාන ද පවතිනවා. උදාහරණයකට ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිමනිකායේ උපරිපණ්ණාසකයේ දෙවදහවග්ගයේ ගෝපකමොග්ගල්ලාන සූත්‍රය (පිටු: 104 105) දක්වන්න පුළුවන්. එහිදී "සක්කත්වා ගරුකත්වා" යන පාලි වදන් "සත්කාර කොට ගරුකාර කොට" ලෙස පරිවර්තනය වී ඇති බව දක්නට පුළුවන්.
බුදුන් වහන්සේ ධර්මය සිය ගුරු තනතුරෙහි තබා නොමැති බව වටහාගැනීමට උපකාර වන බුදුන් වහන්සේගේම සෘජු ප්‍රකාශයක් ත්‍රිපිටකයේ විනය පිටකයේ මහාවග්ගපාළියේ පඤ්චවග්ගියකථා (පිටු: 16, 17) යටතේ දක්නට පුළුවන්. ඒ මෙසේයි:
[ පාලි ]
න මෙ ආචරියො අත්‍ථි සදිසො මෙ න විජ‍්ජති,
සදෙවකස‍්මිං ලොකස‍්මිං නත්‍ථි මෙ පටිපුග‍්ගලො.
[ සිංහල පරිවර්තනය ]
මට ලෝකෝත්තරධර්‍මයෙහි ඇදුරෙක් නැත. මට සමානයෙක් විද්‍යමාන නො වේ. දෙවියන් සහිත ලෝකයෙහි මාහට සම පුද්ගලයෙක් නැත.