"කන්නේ ජීවත් වෙන්ඩ ද, ජීවත් වෙන්නේ කන්ඩ ද?" යන ප්‍රශ්නය පාසැල් අවධියේ පටන් මට අසන්නට ලැබී තිබෙනවා. සමහර අවස්ථාවලදී මේ ප්‍රශ්නය මතුවන්නේ අනුන්ට විසුළු කිරීමේදී හෝ අනුන්ට දොස් නැඟීමේදී. තවත් සමහර අවස්ථාවලදී මේ ප්‍රශ්නය මතුවන්නේ ජීවිතයේ යථා ස්වභාවය ගැන විමසීමේදී. ජීවිතයේ යථා ස්වභාවය ගැන විමසීමේදී මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වන්නේ "ජීවත් වෙන්නේ කන්ඩ" යන්න බව ජීවිතයට වැඩි බරක් නොදෙන අය සාමාන්‍යයෙන් පවසනවා. උත්සාහවත්, වීර්යවත් අය සාමාන්‍යයෙන් පවසන්නේ මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර "කන්නේ ජීවත් වෙන්ඩ" යන්න බවයි. මේ පිළිතුරු කෙතරම් දුරට නිවැරදි දි?
සාමාන්‍ය පුද්ගලයෙකු කාම තෘෂ්ණාවෙන් යුක්තයි. මේ පුද්ගලයා තුළ කෑම පිළිබඳ නොසිඳුණු ආසාවක් පවතිනවා. මේ නිසා සාමාන්‍ය පුද්ගලයෙකු අරභයා ජීවත් වෙන්නේ කන්ඩ යැයි කීමේ වරදක් නැහැ.
සාමාන්‍ය පුද්ගලයෙකු භව තෘෂ්ණාවෙන් යුක්තයි. මේ පුද්ගලයා තුළ ජීවිත් වීම පිළිබඳ නොසිඳුණු ආසාවක් පවතිනවා. මේ නිසා සාමාන්‍ය පුද්ගලයෙකු අරභයා කන්නේ ජීවත් වෙන්ඩ යැයි කීමේ වරදකුත් නැහැ.
මේ නිසා සාමාන්‍ය පුද්ගලයින් අරභයා "කන්නේ ජීවත් වෙන්ඩ" යැයි කීම සහ "ජීවත් වෙන්නේ කන්ඩ" යැයි කීම යන කීම් දෙකම නිවැරදියි. නොයෙකුත් පුද්ගලයින් ගැන විමසීමේදී ඒ ඒ පුද්ගලයා තුළ මේ එක් ස්වභාවයකට වඩා අනෙක් ස්වභාවය වැඩිපුර පවතින්න පුළුවන්. එකම පුද්ගලයකු ගැන විමසුවත් යම් යම් අවස්ථාවන් හිදී මේ එක් ස්වභාවයකට වඩා අනෙක් ස්වභාවයට වැඩි නැඹුරුවක් පවතින්න පුළුවන්.
කාම තෘෂ්ණාවත්, භව තෘෂ්ණාවත්, විභව තෘෂ්ණාවත් නැසූ අරහත් බව සාක්ෂාත් කළ පුද්ගලයකු ගැන විමසුවොත් ඒ උතුම් පුද්ගලයා "ජීවත් වෙන්නේ කන්ඩ" යැයි කීම කොහෙත්ම ගැළපෙන්නේ නැහැ. භව තෘෂ්ණාව නැසූ බැවින් ඒ පුද්ගලයාට ජීවත් වීමේ ආසාවකුත් නැහැ, විභව තෘෂ්‍ණාව නැසූ බැවින් ඒ පුද්ගලයාට බලෙන් මැරෙන්න ආසාවකුත් නැහැ. ඒ උතුම් පුද්ගලයා ආයුෂ අවසානය බලාපොරොත්තුවෙන් දිවි ගෙවනවා. මේ නිසා එබඳු පුද්ගලයින් අරභයා "කන්නේ ජීවත් වෙන්ඩ" යැයි කීම නිවැරදි උවත් එය ජීවත් වෙන්ඩ ඇති ආසාවක් නිසා කරන දෙයක් නොවෙයි. එතැන ඇත්තේ ආයුෂ අවසානය තෙක් ආහාර කෙරෙහි පවත්නා කායික අවශ්‍යතාවය ඉටු කිරීම.
බුදු සසුනේ හික්මෙන මහණුන් භෝජනයෙහි මාත්‍රඥ විය යුතු බව බුදුරජානන් වහන්සේ දේශනා කොට තිබෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිමනිකායේ මජ්ඣිමපණ්ණාසකයේ ගහපති වග්ගයේ සෙඛ සූත්‍රයේ ඒ පිළිබඳ ආනන්ද හිමියන්ගේ පැවසීමක් මෙසේ සඳහන්ව තිබෙනවා:
මහානාමය, කිසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක භොජනයෙහි මාත්‍රඥ වෙයි යත්: මහානාමය, මෙසස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ආහාරය ආභරණ කෙරෙයි. කෙළි පිණිස නො මැ වෙයි, මද පිණිස නො වෙයි, සැරසුම් පිණිස නො වෙයි, විභූෂණ පිණිස නො වෙයි. මේ කය සිටීම පිණිස යැපීම පිණිස වෙහෙස සන්සිඳීම පිණිස බඹසරට අනුග්‍රහ පිණිස මතුයෙක් මැ වෙයි. මෙසේ පැරැණි බඩගිනි වේදනා නසමි. අලුත් වේදනා නූපදවමි. මා ගේ ජීවිතයාත්‍රා ද අනවද්‍යභාවය ද පහසු විහරණ ද වන්නේ යැ යි. මෙසෙයින් මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක භොජනයෙහි මාත්‍රඥ වූයේ වෙයි.
කය සැකසී ඇති ආකාරය නිසා රසවත් ආහාර අනුභවය අරහත්වය ලැබූ පුද්ගලයින්ටත් පහසුවක්. ඉන් මෙහා අය ගැනත් එසේමයි. රසවත් ආහාර නොකා සිටීම තෘෂ්ණාව ක්ෂය කිරීමට ක්‍රමයක් නොවෙයි. ඒ නිසා බුද්ධ ශ්‍රාවකයින් රසවත් ආහාර නොකා සිටිය යුතු යැයි කීම ගැළපෙන්නේ නැහැ. කාමභෝගී ගිහියන් ගැන සැලකීමේදී ඔවුන් විසින් උත්සාහයෙන් වීර්යයෙන් රසවත් ආහාර දැහැමිව උපයා ගනු ලැබ නිස්සරණ ප්‍රඥාවෙන් ඒ ආහාර වළඳනු ලැබීම අගය කළ යුතු ක්‍රියාවක්.