මීවනපලානේ පචෝරිස් හිමි තථාගතයන් වහන්සේ හා සම්බන්ධ ස්ථාන හතරක් ගැන මුසා දෙසීම

තථාගතයන් වහන්සේ මෙහි උපන් සේක යැයි ද, මෙහි අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කළ සේක යැයි ද, මෙහි අනුත්තර ධර්මචක්‍රය පවත්වන ලද සේක යැයි ද, මෙහි අනුපාදිශේෂ නිර්වාණධාතුවෙන් පිරිනිවන් පෑ සේක යැයි ද සලකා සැදැහැවත් කුලපුත් හට දක්නට සුදුසු, සංවේග උපදවන ස්ථාන හතරක් ගැන බුදුරජානන් වහන්සේ ආනන්ද හිමිට පවසා ඇති අයුරු ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහා වර්ගයේ මහාපරිනිර්වාණ සූත්‍රයේ (219 පිටුව) සඳහන් වෙනවා. බුදුරජානන් වහන්සේ උපන්නේ ලංකාවේ යැයි මනස්ගාතයක් පවසන මීවනපලානේ පචෝරිස් හිමි ඉන්දියාවේ සහ නේපාලයේ පිහිටා ඇති එම ස්ථාන හතර ලංකාවේ මේ මේ තැන් වල ඇතැයි ස්ථාන හතරක් දක්වා තිබෙනවා. මීවනපලානේ හිමි බොහෝ දෙනා නොමඟ යවනා, බොහෝ පව් රැස් කරගන්නා මනෝ විකාර දේශකයෙකු බව ඒ පවසන විස්තර වලට අනුව ද වටහා ගන්න පුළුවන්.

ඉහත දැක්වෙන වීඩියෝවේ කාලය 0:35:39 න් පමණ ඉදිරියට ආසන්නයේ සඳහන්ව ඇති පරිදි මීවනපලානේ හිමි අදාළ ස්ථාන හතර ගැන මෙසේ පවසා තිබෙන බව දකින්න පුළුවන්:

චත්තාරො ඨානානි කියන මාගධි භාෂාවේ මේ වචන ටික ඉතාමත්ම වැදගත්. එක දේශාංශක රේඛාවක් තුල එක සමානව පිහිටි ස්ථාන හතරක්. එක සමානව, එක දේශාංශකයක පිහිටි බුද්ධ ශක්තිය බලපවත්වන ස්ථාන හතරක්.

තවද එම වීඩියෝවේ කාලය 0:39:30 න් පමණ ඉදිරියට ආසන්නයේ සඳහන්ව ඇති පරිදි මීවනපලානේ හිමි එම ස්ථාන හතර ගැන මෙසේ ද පවසා තිබෙනවා:

මේ ස්ථාන හතර, දැන් මේක අපි දන්නැතුවට ඇමරිකාවේ නාසා ආයතනයෙන් ඇවිල්ලා මේක මැන්නා ඒරියල් ෆොටෝග්‍රාෆ්ස් වලින්. දශමයක් එහා නෑ, මෙහා නෑ, ඔය හතර එක රේඛාවක සම සමාන දුරින් ඔය ස්ථාන හතර තියෙන්නේ. ඒ නිසා මේක තමා චත්තාරො ඨානානි.

මීවනපලානේ හිමි එම ස්ථාන හතර ලංකාවේ බඹරගල, හිරිවඩුන්න, ඉසින්බැස්සගල හා බුදුගල පිහිටා තිබෙන බවයි පවසන්නේ. YouTube වෙබ් අඩවියේ Parama Nibbana Dharmayathanaya යන නමින් පවත්වාගෙන යනු ලබන මීවනපලානේ හිමිගේ දහම් ප්‍රචාරය කෙරෙන වීඩියෝ නාලිකාවේ "බුදුන් උපන් දේශය දැන ගැනීම සහ නිවන් දැක ගැනීම" යන මාතෘකා ඇතිව පළ කොට ඇති වීඩියෝවක විස්තරයෙන් අදාළ ස්ථාන හතරේ පිහිටීමට අනුරූප අක්ෂාංශ සහ දේශාංශ සොයා ගත හැකියි. එම තොරතුරු අන්තර්ජාලයේ වෙනත් තැන් කිහිපයක ද දැකිය හැකියි. එම අක්ෂාංශ සහ දේශාංශ මෙසේයි:

8.567707, 80.481675 - ඉසින්බැස්ගල
8.022746, 80.735792 - හිරිවඩුන්න
7.289069, 80.760788 - බඹරගල
6.633791, 80.875546 - බුදුගල

අදාළ ස්ථාන හතර සිතියමක දැක්වූවොත් ඒ මෙසෙයි:

එම ස්ථාන හතර එකම දේශාංශක රේඛාවක පිහිටා නැහැ. දෙපසින්ම ඇති ඉසින්බැස්සගල සහ බුදුගල අතර තිරස් අතට දුර කිලෝ මීටර් 43.5 කට ආසන්නයි. එම දුර ආසන්න ලෙස ගණනය කිරීම සඳහා https://www.movable-type.co.uk/scripts/latlong.html යන තැන ඇති ආකාරයේ ගණකයක් භාවිතා කිරීම පහසුයි.

ස්ථාන හතර එකම දේශාංශක රේඛාවක පිහිටා නොමැති බැවින් "එක දේශාංශක රේඛාවක් තුල එක සමානව පිහිටි හතරක්. එක සමානව, එක දේශාංශකයක පිහිටි බුද්ධ ශක්තිය බලපවත්වන ස්ථාන හතරක්." යැයි පවසමින් මීවනපලානේ හිමි එම ස්ථාන හතර එකම දේශාංශක රේඛාවක පිහිටා තිබෙන බව දැක්වීම අසත්‍යයක් බව දකින්න පුළුවන්.

එකම දේශාංශක රේඛාවක තබා එම ස්ථාන හතර එකම රේඛාවකවත් නොවෙයි පිහිටා තිබෙන්නේ. ඒ බව සිතියම දෙස බැලීමෙන් තහවුරු කර ගත හැකියි. ඒ අනුව "මේ ස්ථාන හතර, දැන් මේක අපි දන්නැතුවට ඇමරිකාවේ නාසා ආයතනයෙන් ඇවිල්ලා මේක මැන්නා ඒරියල් ෆොටෝග්‍රාෆ්ස් වලින්. දශමයක් එහා නෑ, මෙහා නෑ, ඔය හතර එක රේඛාවක සම සමාන දුරින් ඔය ස්ථාන හතර තියෙන්නේ. ඒ නිසා මේක තමා චත්තාරො ඨානානි." යැයි පවසමින් මීවනපලානේ හිමි එම ස්ථාන හතර එකම රේඛාවක පිහිටා තිබෙන බව දැක්වීම ද අසත්‍යයක්.

අදාළ ස්ථාන හතරේ අක්ෂාංශ සහ දේශාංශ භාවිතා කොට එම ස්ථාන අතර දුරවල් ආසන්න ලෙස ගණනය කරන්න පුළුවන්. ඒ අනුව එම ස්ථාන අතර දුරවල් මෙසෙයි:

67 km - ඉසින්බැස්සගල සහ හිරිවඩුන්න ස්ථාන අතර දුර ආසන්න වශයෙන්
82 km - හිරිවඩුන්න සහ බඹරගල ස්ථාන අතර දුර ආසන්න වශයෙන්
74 km - බඹරගල සහ බුදුගල ස්ථාන අතර දුර ආසන්න වශයෙන්

එසේ ඇති විට "මේ ස්ථාන හතර, දැන් මේක අපි දන්නැතුවට ඇමරිකාවේ නාසා ආයතනයෙන් ඇවිල්ලා මේක මැන්නා ඒරියල් ෆොටෝග්‍රාෆ්ස් වලින්. දශමයක් එහා නෑ, මෙහා නෑ, ඔය හතර එක රේඛාවක සම සමාන දුරින් ඔය ස්ථාන හතර තියෙන්නේ. ඒ නිසා මේක තමා චත්තාරො ඨානානි." යැයි පවසමින් මීවනපලානේ හිමි එම ස්ථාන හතර සම සමාන දුරින් පිහිටා තිබෙන බව දැක්වීම ද අසත්‍යයක්.

මහාපරිනිර්වාණ සූත්‍රයේ දැක්වෙන බුදුරජානන් වහන්සේ පවසා ඇති සැදැහැවත් කුලපුත් හට දක්නට සුදුසු, සංවේග උපදවන ස්ථාන හතර ඉන්දියාවේ සහ නේපාලයේ පිහිටා තිබියදී එම ස්ථාන හතර ලංකාවේ මේ මේ තැන් වල ඇතැයි ඉහත විස්තර කළ පරිදි අසත්‍යය පවසන මීවනපලානේ හිමි අරභයා "පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේ" යැයි කෙසේ කියන්නද?

මීවනපලානේ පචෝරිස් හිමි බොහෝ දෙනා නොමඟ යවනා, බොහෝ පව් රැස් කරගන්නා මනෝ විකාර දේශකයෙකු බව මෙම ලිපියේ දක්වන ලද විස්තර වලට අනුව ද වටහා ගන්න පුළුවන්.

අතිරේක කියවීම්:

  1. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ ජන්බුද්වීප බොරුව
  2. බුදුන් වහන්සේ පා ගමනින් බුද්ධගයාවේ සිට ඉසිපතනයට වැඩම කිරීම පිළිබඳ මීවනපලානේ පචෝරිස් හිමි නොනිසි සැක ඉපදවීම
  3. බුදු දහමේ කියැවෙන මහා නදීන් පහ