''කවුද මේ උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවො...?''

පහත දැක්වෙනුයේ උක්ත වීඩියෝව යූටියුබ් වෙබ් අඩවියේ පළ කර ඇති සේපාල් අමරසිංහ නම් තැනැත්තෙකු සමඟ එම වීඩියෝවේ ප්‍රතිචාර යටතේ කෙරුණු සංවාදයක්:

  1. Trekmentor
    Fri, 08 Nov 2019 20:48:10 +0530
    Sepal Amarasinghe  
    > සමාජ දේශපාලනික දේ යනු,  
    > සම්පුර්ණයෙන්ම ලෞකික දේ ය  
    > ඒවා ගැන කටයුතු කිරීම එකී ලෞකික  
    > සමාජයේ ජීවත් වන පිරිස විවිධ අන්දමින්  
    > විවිධ හැලහැප්පීම් මැද සිදුකර ගනී  
    > නමුත්, යම් විටෙක එයට ආගම මැදිහත්  
    > වනවා යනු, එය සාමාන්‍ය ලෞකික සමාජයට  
    > කෙරෙන අනියම් බලහත්කාරයකි  
    > කිසිම ආගමකින් හෝ ආගම් නියෝජනයකින්  
    > අප එවැන්නක් බලාපොරොත්තු වන්නේ නැත  
    > බලාපොරොත්තු විය යුතු ද නැත...'  
     
    බුදු දහම ඔබ හිතාගෙන ඉන්න ආකාරයේ ආගමක් නොවේ. බුදුරජානන් වහන්සේත් සාමාන්‍ය මිනිසුන්ගේ හැලහැප්පීම් නිරාකරණය කිරීමට කටයුතු කළ අවස්ථා තිබෙනවා. ගිහි සමාජයේ මනා පැවැත්මට බුදුසසුන බලපානවා සේම බුදුසසුනේ මනා පැවැත්මට ගිහි සමාජය බලපානවා. ඒ නිසා ගිහියන් සහ පැවිදි ප්‍රජාව එකිනෙකාගේ යුතුකම් පිළිබඳ උත්සුක වනවා සේම එය බලාපොරොත්තු වීමද දෙපිරිසේම සුභසිද්ධිය පිණිස හේතු වනවා. දෙපිරිසම නුසුදුසු ලෙස අන් පිරිසගේ කටයුතුවලට බාධා නොකර කටයුතු කිරීමයි සිදුවිය යුත්තේ. දේශපාලකයින් අගතිගාමී ලෙස හැසිරෙන විට ඉන් සමාජයටත්, බුදුසසුනටත් සිදුවන අගතිය සලකා එම අගතිගාමී ක්‍රියා පිළිවෙත්වලින් දේශපාලකයින්ව බැහැර කොට ධාර්මික පාලනයක් වෙත යොමුකරවීමට භික්ෂූන් කටයුතු කරනවා නම් එහි යහපත් ප්‍රතිඵල දේශපාලකයින්ට සේම අන් ගිහියන්ටත් ලැබෙනවා. දේශපාලනික ප්‍රවාහයන් සමඟ එක්ව ඉන්නා භික්ෂූන්ව තමයි ගැරහිය යුත්තේ. එහෙම නැතුව ගිහි සමාජය යහපතට යොමු කරවන භික්ෂූන්ව අගය කළ යුතු අය. ඔබ එතැනදී පටලවාගෙන. කොහොම නමුත් උඩුදුම්බර කාශ්‍යප හිමි වෙන ආකාරයකට උත්සාහ කරානම් තමයි හොඳ.  
     
    "උඩුදුම්බර කාශ්‍යප හිමිගේ නොමනා මාරාන්තික උපවාසය"  
    http://www.trekmentor.com/si/content/book/1301
    1. Sepal Amarasinghe
      Sat, 09 Nov 2019 15:10:27 +0530
      //බුදු දහම ඔබ හිතාගෙන ඉන්න ආකාරයේ ආගමක් නොවේ. බුදුරජානන් වහන්සේත් සාමාන්‍ය මිනිසුන්ගේ හැලහැප්පීම් නිරාකරණය කිරීමට කටයුතු කළ අවස්ථා තිබෙනවා//මා කියන්නේ ද මෙයමැයි
    2. Trekmentor
      Sun, 10 Nov 2019 01:50:10 +0530
      හ්ම්... ඔන්න මම ප්‍රශ්නවලට උත්තර ලියනවා. ලියන්ඩ පහසුවට ඔබේ ප්‍රශ්නවල වචන පොඩ්ඩක් එහෙ මෙහ කරලයි ලියන්නේ.  
       
      1. ආණ්ඩුව හාමුදුරුවන්ගේ උපවාසයට බය වෙන්ඩ ඕනෑ ද?  
       
      ආණ්ඩු කිරීම පැත්තක තියලා අකුලාගෙන ගෙදර යන්ඩ කැමති නම් බය වෙන්ඩ කිසිම උවමනාවක් නෑ.  
       
      2. උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ කියන්නේ සමාජ දේශපාලනය කරන කෙනෙක්ද?  
       
      පක්ෂ දේශපාලනයක් නොකරන එහෙත් සක්‍රීයව දේශපාලනය ඇතුළු සමාජයේ නොයෙක් අංශයන්හි අභිවෘද්ධිය ඇති කරන්න උත්සාහ ගන්න හාමුදුරු නමක්.  
       
      "උඩුදුම්බර කාශ්‍යප හිමි බුදු සසුන වෙනුවෙනුත් අප සැමගේ යහපත වෙනුවෙනුත් මුල පුරා ඇති උතුම් කාර්යය අගයමු"  
      http://www.trekmentor.com/si/content/book/1265  
       
      3. සමාජ දේශපාලනික කාරණාවලට ආගම ඈදාගැනීම සුදුසු ද?  
       
      ආගම සමාජයේ අවශ්‍යතාවයක්. ඒ නිසා දේශපාලනය කරන අය තමන් කරන දේවල් නිසා ආගමට ඇතිවන බලපෑම ගැන විමසා බැලිය යුතුයි. පැවිදි පිරිස සමාජයේ මනා පැවැත්ම ගැනත් කටයුතු කරනවා. ඒ නිසා ඒ පිරිස දේශපාලකයින්ට අනුශාසනා කරනවා.  
       
      4. හාමුදුරුවෝ නියෝජනය කරන සමාජ බලවේගයක්, සමාජ පන්තියක්, ෆැක්ෂන් එකක්, එහෙමත් නැත්නම් දේශපාලන පක්ෂයක් තියෙනවාද? එහෙම එකක් මෙතන නෑ නේද? උපවාස කරන්නේ බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් විදිහට විතරයි නේද?  
       
      නෑ නෙමෙයි, තියෙනවා. අංක 2 ප්‍රශ්නයට ලියූ පිලිතුර බලන්න. අනික බුද්ධ ශ්‍රාවකයෝ ඉන්නවානේ හාමුදුරුවෝ එක්ක. ඒකත් බලවේගයක් තමයි. ඒ පිරිස නොසලකා හරින්නේ කුමටද? ඇවිල්ලා වාඩි උනේ එක්කෙනෙක් උනාට දෙවෙනි දවසටත් ඔය උපවාසේ ගියා නම් බලන්ඩ තිබ්බා හාමුදුරුවෝ නියෝජනය කරන බලවේගයේ තරම.  
       
      5. ආගමික මැදිහත්වීමකින් රාජ්‍යයේ දේවල් තීරණය කරන්ඩ පුළුවන්ද? එහෙම තීරණය කරන්න බෑ නේද? ආගමික නියෝජනයක් විදිහට මැදිහත්වෙනවා නං ඒකේ වැරැද්දක් තියෙනවා.  
       
      රාජ්‍ය පාලනයට මිත්‍යාදෘෂ්ටික ආගමක බලපෑමක් තියෙනවා නම් ඒකේ වැරැද්දක් තියෙනවා. බුදුදහමේ බලපෑම නං තියෙන්නේ ඒකෙන් අභිවෘද්ධියක් තියෙනවා. ඒ නිසා වැදගත් කාරණාවලදී හාමුදුරුවරු කියන තෙක් නොසිට කලින්ම හාමුදුරුවරු වෙත ගොස් රාජ්‍ය ක්‍රියාකාරකම්වලට උපදෙස් ලබාගැනීමයි නුවණැති රාජ්‍ය පාලකයින් කළ යුත්තේ. සිහි කැඳවීමක් කළොත් ඒ ගැන සොයාබලා කටයුතු කිරීම ගැන කියන්ඩත් දෙයක් යෑ?  
       
      6. කාශ්‍යප හාමුදුරුවන්ගේ සමාජ දේශපාලනික මූලය පැහැදිලි කරන්න.  
       
      පෙර විස්තර කරා. එක් දේශපාලන පක්ෂයකට බැඳිලා නෑ. දේශපාලනයේ සිදුවිය යුතු වෙනස්කම් ගැන කටයුතු කරනවා.  
       
      7. මේ නියෝජනය කුමන ආකාරයක නියෝජනයක්ද? අන් අය උපවාස කරොත් ජනාධිපති, අගමැති ඇවිත් ලියුම් දිය යුතුද? මෙතන විශේෂත්වය මොකක්ද?  
       
      අපක්ෂපාතී භික්ෂු නියෝජනයක් කරත් හාමුදුරුවෝ කරේ භික්ෂුවක් විදිහට තමන්ට කරන්ඩ සුදුසු නැති දෙයක් නිසා හාමුදුරුවන්ගේ නියෝජනයේ පොඩි කහටක් තියෙනවා. සමහරු හොරට උපවාස කරනවා. ඒත් තවත් සමහරු හැබෑවටම පීඩාවට පත්වෙලා උපවාස කරනවා. ඒ නිසා කවුරු උපවාස කරත් ඒ ගැන සොයා බැලීම රාජ්‍ය පාලනය කරන අයගේ යුතුකමක්. ලියුම් දෙනවාද නැද්ද යන්න ඒ ඒ උපවාසයට අනුව තමයි තීරණය කළ යුත්තේ. හොර භික්ෂූන්ට නම් ඇහුම්කන් නොදුන්නාට කමක් නෑ. නමුත් රාජ්‍ය පාලකයින් ශික්ෂාකාමී ව්‍යක්ත ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා වෙත කලින්ම ගිහිල්ලා තමන් කුමක් කළ යුතුද, කුමක් නොකළ යුතුද කියලා උපදෙස් ගැනීමයි සුදුසු ක්‍රමේ. විශේෂ කාරණා ගැන කියන්ඩත් දෙයක් යෑ? දැන් වෙලා තියෙන්නේ එක්කෝ ගිහිල්ලා උපදෙස් පතන්නේ හිස් භික්ෂූන්ගෙන්. එහෙම නැත්නම් තමන්ගේ මෝඩකමට යන්ඩත් කැමති නෑ. ඒක රාජ්‍ය පාලකයින්ගේ දුර්වලකම. මේ අය ඉන් තමන්ටත් රටේ ජනතාවටත් නැති වෙන්නේ මොනවාද කියලා දන්නෙත් නෑ.  
       
      බුදුදහම කියන්නේ බොරු ආටෝපයක් මවාගෙන මිනිසුන්ව යටපත් කරලා තම තමන්ගේ සුඛ විහරණ පවත්වාගන්න පැවිද්දන් පිරිසක් කරන ප්‍රෝඩාවක් නෙවෙයි. ඒ උනාට බුදුදහමේ නාමයෙන් පාලකයින්වද හවුල් කරගෙන එහෙම කරපු බුද්ධ ශාසනයේ පැවිදි වූ මිසදිටු භික්ෂූන් අතීතයේ ඉඳලා තියෙනවා. පාලකයිනුත් මෝඩ නම් දැනුත් එහෙම කරන්ඩ බැරිකමක් නෑ. හැබැයි ශික්ෂාකාමී ව්‍යක්ත ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලාගෙන් සමාජයට ලැබෙන ප්‍රයෝජනය මෙච්චරයි කියලා කියන්ඩ බැරි තරම් විශාලයි. එය ආධ්‍යාත්මික දියුණුවට පමණක් සීමා වෙන්නේ නෑ. පාලකයින් නුවණැති වෙලා නිවැරදි පැත්තට නැමුනොත් ඒ අවස්ථාව දකින ශික්ෂාකාමී ව්‍යක්ත ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා ඉදිරියට පැමිණෙනවා. ඒ අපි නිතර දකින දේශපාලන කහ රෙදි කාරයින් නෙවෙයි. ඒ අය එන්නේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවන්. හැබැයි ලංකාවේ මිනිස්සුන්ට මේ වැදගත් අංශය දියුණු නෑ කියලා කෙඳිරිගාන්ඩ දෙයක් නම් ඉතුරු කරන එකක් නෑ. මේ තමයි විශේෂත්වයි.
    3. Sepal Amarasinghe
      Sun, 10 Nov 2019 07:59:19 +0530
      @Trekmentor මේ අදහස්වලට ස්තුතියි..කාලය ලැබුණු විට ප්‍රතිචාර දක්වන්නම්