2020/06/26 දින කම්කරු කොමසාරිස් ජනරාල් තුමාට යවන ලද ලිපිය: "භික්ෂූන් වහන්සේලා රැකියාවන්හි නියුතු වීම වැළැක්වීම"

Date: Fri, 26 Jun 2020 13:46:11 +0530
Subject: භික්ෂූන් වහන්සේලා රැකියාවන්හි නියුතු වීම වැළැක්වීම
To: cgldol@sltnet.lk
Body:

කමල් වික්‍රමනායක
නො 41/1, රඹුක්කන පාර
මාවතගම
ජූනි 26, 2020

ආර්.පී.ඒ. විමලවීර
කම්කරු කොමසාරිස් ජනරාල් තුමා
කම්කරු දෙපාර්තමේන්තුව
කම්කරු මහ ලේකම් කාර්යාලය
නාරාහේන්පිට, කොළඹ

මහත්මයාණෙනි,

ලංකාවේ මේ වන විට බුදු සසුනේ පැවිදි වූ සමහර භික්ෂූන් වහන්සේලා ගිහියන් මෙන් රැකියා කිරීමට යොමුව ඇති බව පෙනෙන්නට තිබේ. භික්ෂූන් වහන්සේලා ගිහියන් මෙන් රැකියාවන්හි නියුතු වීම බුද්ධ ශාසනයේ පැවිදි ප්‍රතිපදාවට අනුලෝම නොවේ. මුදල් භාවිතයද භික්ෂූන් වහන්සේලාට කැප නැත. එබැවින් භික්ෂුවක් රැකියාවක් කර වැටුප් ලබා ගැනීමද විනය විරෝධී ක්‍රියාවකි. භික්ෂූන් වහන්සේලා රැකියාවන්හි නිරතවීමට ඉඩදීම ශාසනය පරිහානියට පත්වීමට ඉඩදීමකි. එබැවින් රාජ්‍යය අංශයේ වේවා, පෞද්ගලික අංශයේ වේවා, මිශ්‍ර අංශයක වේවා මේ සියලු අංශයන්හි භික්ෂූන් වහන්සේලා රැකියා කිරීම නැවැත්වීමට කටයුතු කරන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

රැකියාවන් අතහැරීමට නොකැමැතිව දිගටම රැකියාවන්හි නියුතු වීමට කැමති භික්ෂූන් වෙතොත් භික්ෂූත්වයෙන් බැහැරව ගිහි බවට පෙරළී එසේ රැකියාවන් දිගටම කරගෙන යෑමට ඉඩ දීම සුදුසු යැයි යෝජනා කරමි.

භික්ෂූන් වහන්සේලාට වැටුප් දීම, අතිකාල දීමනා දීම, වෙනත් දීමනා දීම, සේවක අර්ථසාධක අරමුදල් දීම, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් දීම, විශ්‍රාම වැටුප් දීම ආදියද නොකළ යුතු ක්‍රියාවන්ය. භික්ෂූන් වහන්සේලා අරභයා එවන් දෑ කිරීමද නවතා දැමීමට කටයුතු කරන මෙන් ඉල්ලමි.

භික්ෂූන් වහන්සේලාට අමතරව භික්ෂුනීන් වහන්සේලාටද ඉහත ලියන ලද පරිද්දෙන් කටයුතු කරන මෙන් ඉල්ලමි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමකි. එබැවින් භික්ෂූන් වහන්සේලා රැකියාවන්හි නියුතු වීම වැළැක්වීම සහ වැටුප් ආදිය ලබා නොදීමට කටයුතු කිරීම ධර්මයට විනයට අනුකූල යහපත් ක්‍රියාවක් වනවාට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුගත වීමක්ද වේ.

ස්තූතියි.

කමල් වික්‍රමනායක

--
අඳුරෙන් එළියට
http://www.trekmentor.com/si/enlighten