සිඟිති චීවර වැල් බයිලා සහ නයා සිවුර අස්සේ දමාගත් තපෝවනයේ රතන හිමි කැවෝ කැවෝ යැයි කෑ ගැසීම

ඉහත වීඩියෝවේ දැක්වෙන සාකච්ඡාවේදී සමහර භික්ෂූන් වහන්සේලා අදහස් දක්වන්නේ තපෝවනයේ රතන හිමි විසින් ගැටුමට මුල් වූ දේශනාවේදී දේශපාලන චීවරධාරී ගලගොඩඅත්තේ ඥානසාරගේ නම භාවිතා නොකරන ලද නිසා ගලගොඩඅත්තේ ඥානසාර එම දේශනාව අරඹයා කිපීම උවමනා නොවන්නාක් මෙන් හැඟවෙන පරිද්දෙන්. මෙසේ තොත්ත බබ්බු වෙන්නේ තතනන්නේ කුමටද? තපෝවනයේ රතන හිමි පවසන ලද්ද ගලගොඩඅත්තේ ඥානසාරට අදාළ නැත්නම් කාටද අදාළ වෙන්නේ? දැන් කවුද තපෝවනයේ රතන හිමි අදහස් කළ දේශපාලනික චීවරධාරීන්?

තවද මේ සාකච්ඡාවදී තපෝවනයේ රතන හිමි සහ අන් සමහර භික්ෂූන් වහන්සේලා ගලගොඩඅත්තේ ඥානසාරගේ ක්‍රියාකලාපය අරභයා  තමන් තුළ පැවති ආදරය වර්ණනා කරනවා. සමහර ඒ වර්ණනා අතිශය වර්ණනා. එසේ අදහස් දක්වන ලද භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේලාගේ හිස අත ගා අං ඇවිත් දැයි බැලීම වටිනවා. මේ ලියන මම බොහෝ භික්ෂූන් වහන්සේලා පිළිබඳ සෑහෙන කාලයක සිට ගුණ අගුණ ලියා තිබෙනවා. නමුත් මම ගලගොඩඅත්තේ ඥානසාර පිළිබඳ ලියන්න පෙර උත්සුක වූයේ නෑ. මම එසේ නොලියන්න හේතු වූයේ පාපී ක්‍රියා ඇති කෙළෙස් අසූචි කන්දරාවක් ලෙස පැහැදිලිව පෙනෙන ගලගොඩඅත්තේ ඥානසාර ගැන අමුතුවෙන් කිව යුතු ද යන අදහස මා තුළ පැවති නිසා. නමුත් ඉහත වීඩියෝවේ දැක්වෙන සාකච්ඡාවට සවන් දුන් විට මට හිතුනේ මේ සාකච්ඡාවේදී ගලගොඩඅත්තේ ඥානසාරගේ ක්‍රියාවන් ගැන ආදරයෙන් අදහස් දැක්වූ ධර්ම දේශක ජනප්‍රිය භික්ෂූන් වහන්සේලා කෙතරම් විපරීත අදහස් දරනවාද යන්නයි. එම පිරිසගේ එම අදහස් දැක්වීම් තුච්ඡයි, නින්දිතයි.

මට මතක ඇති වසර ගණනාවක කාලයක සිට ගලගොඩඅත්තේ ඥානසාර යනු පැවිදි වී නමුත් පැවිදි අරමුණ තමන්ට වැඩක් නැතැයි පසෙක ලා යම් යම් පිරිස් කෙරෙහි ප්‍රචන්ඩත්වයට පිරිස් උසිගන්වමින් එබඳු ක්‍රියාවල නිරතවෙමින් සිටි පාපී පුද්ගලයෙක්. මේ පුද්ගලයාගේ හිංසනකාරී ක්‍රියාවන් පිළිබඳ අන්තර්ජාතිකව ප්‍රවෘත්ති ප්‍රසිද්ධියට පත්වීම නිසා බුද්ධශාසනය පිළිබඳ වැඩි වැටහීමක් නැති ලොව පුරා විසිර සිටින සමහර පුද්ගලයින් තුළ භික්ෂූන් යනු හිංසනකාරී පිළිවෙත් ඇති ම්ලේච්ඡ ආගමික අන්තවාදීන් පිරිසක්ය යන විපරීත අදහස ඇතිව තිබෙනවා. අවිහිංසාවාදී බුද්ධශාසනය තුළ පැවිදිව අවිහිංසාවාදීව පිළිවෙත් පුරන භික්ෂූන් පිළිබඳ මේ පුද්ගලයා ඇති කර ඇත්තේ අප්‍රසන්න හැඟීම්. මෙවන් තුච්ඡ, නින්දිත ක්‍රියා ඇති පුද්ගලයෙකුට සංඝරාජ යන නාමය පටබඳින්න තරම් ලැජ්ජාවක් නැති මීහරක් සිටීම සමාජයේ අභාග්‍යයක්.

ගලගොඩඅත්තේ ඥානසාර වැඩි වශයෙන් කටයුතු කරනු පෙනෙනුයේ මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව. එයිනුත් ප්‍රචන්ඩ ක්‍රියාවන්ට යොමු වූ මුස්ලිම් අන්තවාදීන්ට විරුද්ධව පමණක් ගලගොඩඅත්තේ ඥානසාර කටයුතු කරනවා යැයි සිතමු. එබඳු පිරිස් කෙරෙහි උවත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්ෂුවක් හිංසාකාරී ක්‍රියා කරන්නේ නෑ. සියලු සතුන් කෙරෙහි මෙත් සිත් පතුරුවන භාග්‍යවත් බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා එසේ වූ උසස් ගුණයෙන් යුක්තයි. මෙසේ කීවාම සමහරෙකුට සිතෙන්න පුළුවන් එතකොට අපේ ජාතියත් ඒ අන්තවාදීන් විනාශ කරලා බුද්ධශාසනයත් එයින්ම අවසන් කරනකම් උඩ බලාගෙන ඉන්නද කියන්නේ ලෙසින්. මිනිසුන් එසේ සිතිම බුද්ධශාසනයයි ගිහි කටයුතුයි පටලවාගෙන කරන අවිචාරවත් සිතීමක් මිස තැකිය යුතු කරුණක් නොවෙයි. එබඳු දෑ ගැන තකන්න පැවිද්දන් නොව ගිහියන් සිටිනවා. සමාජ සම්මතයෙන්ම පොලිසිය, හමුදාව ආදිය අවි ආයුධ අතට ගෙනත් එබඳු ක්‍රියාවන් අරභයා කටයුතු කරනවා. පැවිදි නොවී දේශපාලන සංවිධාන, වෙනත් සිවිල් සංවිධාන ලෙසිනුත් එබඳු කටයුතු කරන්න පුළුවන්. පැවිදි නොවී තනියම උවත් එබඳු ක්‍රියාවන්හි යෙදෙන්න පුළුවන්.

යම් භික්ෂුවකට තම රටට, ජාතියට හානියක් වන විට ඉවසා ඉන්න බැරි නම්, පැවිදි බවේ ඇති සීමා ඉක්මවා කටයුතු කරන්නට අදහස් ඇති වේ නම් පැවිදි බව හැර ගිහි බවට පත් වී එබඳු ක්‍රියාවන්හි නිරත වන්න නිදහස තිබෙනවා. එසේ කළ විට භික්ෂුත්වයට නොගැළපෙන කටයුතු කිරීමක් නෑ, එබැවින් භික්ෂූන් වහන්සේලාගේ ප්‍රතිරූපයට හානි කිරීමක් කෙරෙන්නෙත් නෑ, අනාගත භික්ෂූන්ට අනාදර්ශයක් වන්නේත් නෑ, භික්ෂුවක්ව සිට නුසුදුසු ක්‍රියා කොට දොස් අහනවා වෙනුවට උපැවදිව එසේ කටයුතු කොට යම් ජයග්‍රහණයක් ලබා ගතහොත් සමාජයේ බොහෝ දෙනා එය උසස් ක්‍රියාවක් ලෙසද සලකනවා.

ගලගොඩඅත්තේ ඥානසාර කරනුයේ කෙලෙස් නිසා හටගන්නා ස්වකීය අයිතිය සහ ස්වකීය ආරක්ෂාව අරභයා වාද විවාද, කලහ, විරෝධය පෑම් ආදියට නැඹුරු මිනිසුන්ට එබඳු ක්‍රියාවන්හි යෙදීමට මිනිසුන් තුළම භික්ෂූන් වහන්සේලා කෙරෙහි ඇති යටහත් පහත් බව භාවිතයෙන් නායකත්වයක් ලබා දීම. මෙය භික්ෂූවකට සුදුසු ක්‍රියාවක් නොවෙයි. භික්ෂූවකට සුදුසු වන්නේ පරමාර්ථය ගෙන හැර දක්වමින් එසේ වූ ප්‍රජාව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට නැඹුරු කිරීම.

ගලගොඩඅත්තේ ඥානසාර කරනුයේ භික්ෂූත්වය අවභාවිතා කිරීමක්. මෙවැනි පාපී පුද්ගලයින්ගේ ක්‍රියාවන් සමාජයේ බොහෝ දෙනා තුළ භික්ෂූන් කෙරෙහි අප්‍රසන්න හැඟීම් ඇති කරවනවා, භික්ෂූන් කෙරෙහි ප්‍රසන්න හැඟීම් වඩවන්නේ නෑ. කසළ ගොඩවල් බඳු මේ ආකාරයේ පුද්ගලයින් පැවිදි බවින් ඉන්න සුදුසු නෑ. ගලගොඩඅත්තේ ඥානසාර පැවිද්දන්ට නුසුදුසු ක්‍රියාවන්හි යෙදෙමින් බුද්ධශාසනය විනාශ කිරීමෙන් වැළකී එක්කෝ පැවිදි බවේ හික්මිය යුතුයි, නැත්නම් ගිහි බවට පෙරලී සුදුසු දෙයක් කළ යුතුයි.

පැවිදි බවේ සහ ගිහි බවේ ස්වරූප පටලවාගෙන, භික්ෂුත්වය පිළිබඳ විපරීත අදහස් ඇතිකරගෙන දේශපාලන චීවරධාරී ගලගොඩඅත්තේ ඥානසාරගේ රට ජාතිය රැක ගැනීමට යැයි කියා කරන පැවිද්දන්ට නුසුදුසු ක්‍රියා අරභයා ප්‍රසන්න හැඟිම් ඇති කරගෙන ඒ ගැන ස්තූති කරන, වර්ණනා කරන ඉහත දක්වා ඇති වීඩියෝවේ අන්තර්ගත සාකච්ඡාවට සම්බන්ධ වූ ආකාරයේ භික්ෂූන් වහන්සේලා තමන් කළ යුත්තේ කුමක් ද, තමන් අන් අයට කිව යුත්තේ කුමක් ද යන්න ගැන නැවත නැවත සිතා බැලීම වටිනවා.

සඞ්ඝෙ ඛො පන භික්ඛවෙ සමග්ගෙ න චෙව අඤ්ඤමඤ්ඤං භණ්ඩනානි හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරිභාසා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරික්ඛෙපා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරිච්චජනා හොන්ති. තත්ථ අප්පසන්නා චෙව පසීදන්ති, පසන්නානඤ්ච භිය්‍යොභාවො හොතී’ති.

-- සඞ්ඝසාමග්ගීසුත්තං

සබැඳි:

  1. ඩිලාන් පංචන සහ වජිර අසංක යන අයගේ උසිගැන්වීම මත දේශපාලන චීවරධාරී ගලගොඩඅත්තේ ඥානසාර තර්ජනය කිරීමට යොමු වූ බවට චෝදනාවක්
  2. ඩිලාන් පංචන සහ වජිර අසංක නාඋයන සේනාසනය සහ සංඝයා කෙටවූ බවට චෝදනාවක්
  3. ගලගොඩඅත්තේ ඥානසාර තපෝවනයේ රතන හිමිට තර්ජනය කිරීම පිළිබඳ තපෝවනයේ රතන හිමිගේ අදහස්
  4. බුද්ධ ධර්මය අඩංගු වීඩියෝ යූටියුබ් වෙබ් අඩවියේ පළ කරන සැවොම ශාසනයට කරන විනාශය