මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ "සං" දේශනාවේ වැරැද්ද (ලියා අවසන් කොට නොමැත)

අනිච්චා වත සඞ්‌ඛාරා උප්පාදවයධම්මිනො,
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො

සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යය හ. ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ.
ඉපිද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සංසිඳීම සුව ය.

ඉහත ගාථාව උපුටා ගැනීම: ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහා වර්ගයේ මහාපරිනිර්වාණ සූත්‍රය

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විනාඩි 46යි තත්පර 58න් පමණ පසු:

මෙතෙන්දි, ඇත්ත වශයෙන්ම මට කාගෙන්වත් ලබාගත්ත දැනුමකින් නෙමේ මගේම ස්වයංභූ ඥාණයෙන්, දැක්මෙන් බොහෝ දේවල් මේ ධර්මය මතු වෙන්න පටන් ගත්තා. ඒ නිසා මේ පාලි භාෂාව මාගධි භාෂාව පිළිබඳව අර්ථ, ධර්ම, නිරුක්ති, පටිසම්භිදා පිළිබඳව මට යම් පෙර නොවූ විරූ ආකාරයේ ඥාණයක් ලැබුනා. ඒක මම අවංකව කියනවා මම කාගෙන්වත් අහගත්ත, ඉගෙන ගත්ත, ලබා ගත්ත දෙයක් නෙමේ. ඒක මම සංසාරයේ අතීතයේදි යම් ආකාරයක ලබා ගත්ත ධර්ම ඥාණය නිසා ලැබුණු මහඟු දෙයක්. මම මේ අනුව තමා මේ කාගෙන්වත් මං ත්‍රිපිටකය කියවලා නෑ. පිළිගන්නවා මං කිසි දවසක ත්‍රිපිටකය කියවලා නෑ. නමුත් මම ත්‍රිපිටකයේ මම කියවලා නැතුවට ඕනැම සූත්‍රයක මට කියන්න පුළුවන් මේක බුද්ධ දේශනාවෙ දේශනා කරපු සූත්‍රයද, එහෙම නැත්නම් පස්සෙ කවුරුහරි යම් යම් වචන වෙනස් කරලද කියලා. ඒවගෙම මේ සියළුම බුද්ධ භාෂිතයේ වචනවල අර්ථ, ධර්ම, නිරුක්ති නිවන් මඟට උපකාර වන ආකාරයට විග්‍රහයක් විස්තරයක් මට කරන්න පුළුවන්.

විශේෂයෙන්ම මේක මම මේ සංඛ්‍යා ලේඛණ, සං ඛ්‍යා, මේක තමා බුද්ධ ධර්මය. සං කියන්නෙ එකතු කිරීම, වැඩි කිරීම. ඛ්‍යා කියන්නෙ අඩු කිරීම, බෙදීම. මේ එකතු කරපු දේ සං, අර අඩු කරලා, බෙදලා, අයින් කරපු දේ සමාන වෙන තැන ශුන්‍යතාවය. මෙන්න මේ ශුන්‍යතාවය තමා මම මේ දැක්කේ. ඒක නිසා මේක මේ සංසාර සාරෝග විනීත නීසං කියන ගාථාවෙත්, ඒ වගේම අනේක ජාති සංසාරං මේ සියළුම ගාථා වල මම මේ සං විග්‍රහයක් බුද්ධ දේශනාවට අදාලව විග්‍රහ කරලා තියෙනවා. සංදෙසේති, සමාදපේති, සමුත්තේජේති, සම්පහංසේති මේ බුද්ධ ඥාණ පද හතර තමා මිහිදු හාමුදුරුවොත් අනුරාධපුරයට ඇවිල්ලා මේ චූළහත්ථිපදෝපම සූත්‍රයේ දේශනා කරලා තියෙන බුද්ධ ඥාණ පද හතර. බුදු හාමුරුවන්ගෙ පළවෙනි ගාථාවත් අනේක ජාති සං පිළිබඳව විග්‍රහයක්. එනිසා මේ සං පිළිබඳව විග්‍රහයක් කිරීම තමා මම මුලින්ම කළේ.

ඊට පස්සෙ මේ මට මම බැලුවා, මහාවංශය මං කියෙව්වා, මම ඉතිහාසය කරලත් නැහැ මේ කොහෙවත් විශ්ව විද්‍යාලයක. නමුත් මේ යම් යම් ආකාරයකට මේ මහාවංශයෙ තියෙන බුදු හාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර ධර්ම පහලොවක් මිහිදු හාමුදුරුවෝ අනුරාධපුරයට ඇවිල්ලා වැඩම කරලා දේශනා කරලා තියෙනවා. මිහිදු හාමුදුරුවෝ මේ අනුරාධපුරයට ඇවිල්ලා දෙවෙනි දවසෙ චූළහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළා. ඊට දවස් දෙකකට පස්සෙ සමචිත්තපරියාය සූත්‍රය, විමානවත්ථු පේතවත්ථු, බාලපණ්ඩිත සූත්‍රය ඒවගෙ මේවගෙ සූත්‍ර ආසිවිසෝපම, අග්ගික්ඛන්ධෝපම, ධම්මචක්කප්පවත්තන සූත්‍රය මේ වගේ සූත්‍ර දේශනා කරලා තියෙන්නෙ. එතකොට මම මේක කල්පනා කරලා මම මේ ත්‍රිපිටකයෙ තියෙන යම් යම් දේවල් ඊට පස්සෙ කියවන්න පටන් ගත්තා.

එතෙන්දි මට තේරුනා මේ ත්‍රිපිටකයේ සිංහලට පරිවර්තනය කරලා තියෙන තැන් වල බොහෝම වැරදි තියෙනවා. ත්‍රිපිටකය පරිවර්තනය කරනකොට සිංහල භාෂාවට මේ මාගධි පද සිංහලට පරිවර්තනය කරනකොට බොහෝ තැන් වල වැරදි විදිහට, පදපරම විදිහට සංස්කෘත වචන භාවිතා කරලා තියෙනවා. මම කළේ මේ කියන නියම, නිවැරදි, පිරිසිදු මාගධි භාෂාව විවෘත කරලා ඒවට නියම, සරල, නිවැරදි, සුගම සිංහල භාෂාවෙ යම් ආකාරයකට අර්ථ, ධර්ම, නිරුක්ති ඉදිරිපත් කිරීමක්.

ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්ඩ ඕනැ මේ මම කොහෙන්වත් කාගෙන්වත් ඉගෙන ගත්ත දෙයක් මේ ආකාරයට කියන්නෙත් නෑ, දේශනා කරන්නෙත් නෑ. ඒක මම මතුකරගත්ත මවිසින්ම මතුකරගත්ත දෙයක්, මම දැක්ක දෙයක් මිසක් මගේ දැනුමකින් කියන දේකුත් නෙමේ. ඒ නිසා මේක බුද්ධ ධර්මය දැනුමෙන් කියන්න බෑ දැක්මෙනුයි නිවන් දකිනවා මිසක් නිවන් දැනගෙන හරියන්නෑ. නිවන් දැනුමෙන් කීවොත් ඒක අනුමාන ඥාණයක්. නිවන් දැක්කොත් ඒක ප්‍රත්‍යක්ෂ ඥාණයක්. ඉතින් ඒක නිසා මං මේ කියපු සියළුම දේ යම් ආකාරයක සම්මාපත්තියට සමවැදිලා දැකපු දේවල්. ඒවා කාටවක්වත් වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමේ. ඒවා පරම සත්‍යය. ඕනැම කෙනෙකුට ඒවා සම්මත වශයෙන් වෙන වෙන ආකාරයට විග්‍රහ කරන්න විස්තර කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒක පරමාර්ථ වශයෙන් එහෙම වෙනසක් කරන්න බෑ, බුද්ධ දේශනාව ඒ විදිහට කාටවක්වත් වෙනස් කරන්ඩ පුළුවන් කමක් නෑ.

 

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විනාඩි 15යි තත්පර 17න් පමණ ඉදිරියට:

එතකොට අර පෘතග්ජන පුද්ගලයා අර ඇහෙන් දැක්ක රූපය හරියට කැමරාවකින් අර ලස්සන රූපය එකපාට්ට ටික් කියලා අර පින්තූරයක් අරගෙන ඒ පින්තූරෙ කැමරාව තුළ තැන්පත් කරගත්තා වගේ පෘතග්ජන ලෝකයා ඒ ලස්සන රූපය පුද්ගලයෙක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්, මලක් වෙන්න පුළුවන්, ඇඳුමක් වෙන්න පුළුවන්, යම් වෙන වස්තුවක් වෙන්න පුළුවන්, ද්‍රව්‍යයක් වෙන්න පුළුවන් ඔක්කොම පංචස්කන්ධය. මේ පංචස්කන්ධය අර ලස්සන නම්, ප්‍රිය නම් අර කැමරාවෙන් පින්තූරයක් ගත්තා වගේ ඕක අරගෙන ඔය පින්තූරෙ අරගෙන තමන්ගෙ චිත්ත සන්තානය තුළ ඔය පින්තූරෙ තැන්පත් කරගන්නවා.

ඔය චිත්ත සන්තානය තුළ තැන්පත් කරගත්ත අර පෘතග්ජන පුද්ගලයාගේ අර පින්තූරෙ කවදක්වත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අර ඇත්ත වශයෙන්ම අර ලස්සනයි ප්‍රියයි, මනාපයි, මිහිරියී කියලා දැක්ක රූපය මොහොතක් මොහොතක් පාසාම ගඟක් වේගයෙන් ගලාගෙන යන්නා ආකාරයට වෙනස් වෙලා විපරිණාමයට පත් වෙලා වයසට ගිහිල්ලා අනාථ වෙලා මරණයට විනාශයට පත්වෙනවා. මෙන්න මේක තමයි බුදු හාමුදුරුවෝ දේශනා කරපු උතුම් ධර්මයේ තේරුම් ගත යුතු ස්වභාවය. ඔය නිච්ච අනිච්ච කිව්වෙ ඔන්න ඕක. අර පෘතග්ජන පුද්ගලයා අර පින්තූරෙ ගත්ත අවස්ථාවෙ තිබුණු ප්‍රිය මානාපකම, ලක්ෂණකම, මිහිරිකම, මධුරකම නිසයි ඒක ගත්තේ ඒක වෙනස් වෙන්නේ නැහැ, වෙනස් කරන්නේ නැහැ එයාගේ චිත්ත සන්තානයේ එයා තැන්පත් කරගෙන තියෙනවා. නමුත් අර බාහිරින් අපි දැක්ක රූපය ඒ වගෙම අනෙකුත් සියළුම දේ වේදනාව රූප... වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පහම ලෝකෙ තියෙන ඒවා වෙනස් වෙනවා, අර පෘතග්ජන පුද්ගලයා ඇතුළට අරගෙන තැන්පත් කරගත්තේ දේ අර ප්‍රිය රූපය, ප්‍රිය වේදනාව, ප්‍රිය සංඥාව, ප්‍රිය සංකාරය, ප්‍රිය විඤ්ඤාණය එහෙමම පවතිනවා. ඒවා නිච්චයි, සුඛයි, අත්තයි. ඒක පෘතග්ජන මැනීම, පෘතග්ජනයගෙ වැරදි මැනීම, මානය.

නමුත් එහෙම වෙනස් වෙන්නේ නෑ පෘතග්ජන පුද්ගලයා ගත්ත දේ නමුත් ලෝකෙ තියෙන ස්වභාවික දේ ස්වභාවධර්මය වෙනස් වෙනවා. ඊට පස්සෙ අර පෘතග්ජන පුද්ගලයා තුළ අර එදා දැක්ක ප්‍රිය මනාප රූපය වෙනස් උනාට පස්සේ ඒ පුද්ගලයා තුළ ඇතිවෙනවා දෙවෙනි වේශයක්. ඒක වෙනස් වෙන බව තේරුම් ගත්තෙ නැති පුද්ගලයා ඊට පස්සෙ දෙවෙනි වේශයකට පත්වෙනවා. මේක තමා ද්වේෂය කියලා කිව්වේ. එතකොට ද්වේෂය ඇතිවෙන්නේ අර පෘතග්ජන පුද්ගලයගෙ හිත තුළ. අර රාගය ඇතිවෙන්නෙත් අර පෘතග්ජන පුද්ගලයගෙ හිත තුළ. ද්වේෂය ඇතිවෙන්නෙත් ඒ පෘතග්ජන පුද්ගලයගෙ තුළමයි. හැබැයි කිසිම දවසක ඔය ප්‍රිය මනාප රූපය අල්ල ගත්තෙ නැත්නම් උපාදානය කරගත්තෙ නැත්නම් ඔය රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන මේ පංචස්කන්ධයට තන්හා උනේ නැත්නම් ඒක අර විදිහට අර කැමරාවකින් පින්තූරයක් ගන්නවා වගේ ඇතුළට අරගෙන පටිච්ච උනේ නැත්නම් ඔය දෙවෙනි වේශයට පත්වෙන්නට හේතුවක් නෑ. ඒ දෙවෙනි වේශයට පත්වෙන්නෙ අර තමන්ගෙ ඇතුළෙ අධ්‍යාත්මයේ තියෙන අර රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ සහ ඇත්ත වශයෙන්ම ස්වභාවයෙන් බාහිර ලෝකෙ තියෙන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ අතර වෙනසක් තියෙනවා, ඒ නිසා ගැටුමක් ඇතිවෙනවා, දෙවෙනි වේශයක් ඇතිවෙනවා. ඒ නිසා පෘතග්ජන පුද්ගලයගෙ හිත අර ඡන්ද රාගයෙන්, කාමඡන්දයෙන් අඳුරු උනා වගෙම ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් දෙවෙනි වරටත් අඳුරු වෙනවා.

 

කර්තෘ සටහන: මෙම ලිපිය ලියා අවසන් කර නොමැත. කරුණු කිහිපයක් පමණක් දැනට දැක්වේ.