මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කීම

ද්වයතානුපස්සනාව කියන්නේ බුදු රජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ද්විත්ව ආකාරයෙන් දැකීම. එය ධර්මය දෙපරිද්දකින් දැකීම හෝ ද්විප්‍රකාරව දැකීම ලෙසත් පැවසිය හැකියී. ඉංග්‍රීසියෙන් එය Dual View ලෙසින්ද පැවසිය හැකියී. කවර ද්විත්ව ආකාරයෙන්ද යත්,

දුකත් (දුක්ඛං), දුකට හේතුවත් (දුක්ඛසමුදය) පළමු ආකාරයයි.
දුක්ඛ නිරෝධයත්, දුක්ඛනිරෝධගාමිනීපටිපදාවත් දෙවන ආකාරයයි.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ සුත්ත නිපාතයේ මහා වර්ගයේ ද්වයතානුපස්සනා සූත්‍රයේ බුදු රජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ද්විත්ව ආකාරයෙන් දැකිය හැකි ඉහත දැක්වූ ආකාරය සහ තවත් ආකාරයන් මනාව විස්තර වී තිබෙනවා. ද්වයතානුපස්සනා සූත්‍රය බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය විමසන නුවනැත්තන්ගේ නුවනැස වඩ වඩාත් වඩවන්න උපකාර වන වටිනා සූත්‍රයක්.

පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ මනාව විස්තර කර ඇති ද්වයතානුපස්සනා සූත්‍රයට අදාළ කරුණක් ගැන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි පවසන දෑ:

වීඩියෝවේ විනාඩි 30න් පමණ ඉදිරියට මෙසේ කියවෙනවා:

මේ ද්වතා අනුස්සතිය කියන එක බුද්ධ දේශනාවේ දස අනුස්සතියෙන් බොහොම වැදගත්ම ඉතාමත්ම වැදගත් දෙයක් හැටියට බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවා. නමුත් අද මේ ද්වතා අනුස්සතිය තේරුම් නොගත්ත මිනිස්සු තේරුම් ගන්නට බැරි වූ පෘතග්ජන මිනිස්සු පොත් වල බොහෝ දේවල් ලියලා මේ ද්වතා අනුස්සතියට කොම්බුවක් දාලා ද්වතාවය දේවතා අනුස්සතිය හැටියට විග්‍රහ කරලා තියෙනවා. මේක හොඳටම තේරුම් ගත යුතු දෙයක්. මේ ද්වතාවය තේරුම් ගන්න බැරි උනාම මධ්‍යකාලීනව, මධ්‍යකාලීනව විතරක් නෙවේ, මේ බොහොම උසස් යතිවරු කියපු කියලා රටේ අදටත් පිළිගන්න බොහෝ උගත් වියත් මහා මේ නාහිමිවරු වගේ කියන අය මේ ද්වතාවය කියන එකට කොම්බුවක් එකතු කරලා මේ දේවතා අනුස්සතියක් ඇති කරගෙන තියෙනවා. ඒ නිසා ත්‍රිපිටකය පරිවර්තනය කිරීමේදී මාගධි භාෂාවෙන් තියෙනවා තව ද්වතා අනුස්සතිය නමුත් සිංහල භාෂාවෙන් තියෙන්නේ දේවතා අනුස්සතියක් ඒ වෙනුවට.

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි වරදවා සඳහන් කරන්නේ මගධි භාෂාවෙන් ඇති ද්වතාවය යන්නට කොම්බුවක් එක් කර දේවතානුස්සතිය ලෙසින් සිංහලට පරිවර්තනය කර ඇති බවත්, මගධි භාෂාවෙන් ද්වයතා අනුස්සතිය ඇති නමුත් සිංහලෙන් එය ඇත්තේ දේවතානුස්සතිය ලෙසින් බවත්. ත්‍රිපිටකය එසේ දොස් සහිතව පරිවර්තනය කර ඇතැයි යන වැරදි දෘෂ්ටියෙන් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ත්‍රිපිටකය පරිවර්තනය කළ ස්වාමීන් වහන්සේලාව යම් ආකාරයක ගැරහීමටත් ලක් කරනවා.

ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කළ ස්වාමීන් වහන්සේලා ද්වයතානුපස්සනා සූත්‍රය සිංහලෙන් කියවා වටහා ගැනීමට හැකි අයුරින් පාලියෙන් සිංහලට පරිවර්තනය කර තිබෙනවා. දේවතානුස්සතිය ගැන ත්‍රිපිටකයේ වෙනමම සඳහන්ව තිබෙනවා. පරිවර්තක ස්වාමීන් වහන්සේලා ද්වයතානුපස්සනා සූත්‍රයේ සඳහන් ද්වයතානුපස්සනාව දේවතානුපස්සනාව ලෙස වරදවා පරිවර්තනය කර නැහැ. එබැවින් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක්. එහිමියන්ගේ චෝදනාව අභූත චෝදනාවක්.

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ එම අසත්‍ය ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බවත්, එම අභූත චෝදනාව අභූත චෝදනාවක් බවත් ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇත්තේ කුමක් දැයි බැලීමෙන් වටහා ගන්න පුළුවන්.

නුවනැත්තෝ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ සුත්ත නිපාතයේ මහා වර්ගයේ ද්වයතානුපස්සනා සූත්‍රය කියවා බලා ධර්මය ද්විත්ව ආකාරයෙන් විමසත්වා! ධර්මය ද්විත්ව ආකාරයෙන් දැක තම දහම් අවබෝධය වඩ වඩාත් වැඩි කර ගනිත්වා!