මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ ජන්බුද්වීප බොරුව

මීවනපලානේ සිරි ධම්මාලංකාර යනු විපරීත දෘෂ්ටි ඇති අඥාන භික්ෂූවක්. බුදුරජානන් වහන්සේ ඉපදුනේ ලංකාවේ යැයි මුසාවාදයක් පවසන එහිමියන් විසින් ලියන ලද පොත පත මුද්‍රණය වී ප්‍රසිද්ධ වී තිබෙනවා. එහිමියන්ගේ දේශනා වලද බුදුරජානන් වහන්සේ ඉපදුනේ ලංකාවේය යන මුසාවාදය සඳහන් වෙනවා. ඒ ගැන සඳහන් කිරීමේදී ජන්බුද්වීපය යන පදයක් ගැන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි පවසන කරුණුවලින් එහිමියන්ගේ අඥාන බව මනාව පැහැදිලි වෙනවා.

පහත දැක්වෙන්නේ මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි සහ ගිහි පිරිසක් අතර බුදුරජානන් වහන්සේ ඉපදුනේ කොහේද යන්න පිළිබඳව සිදුව ඇති කතා බහක් දැක්වෙන "අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි" යන මාතෘකා ඇති වීඩියෝවක්:

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි රචනා කර ඇති සාවද්‍ය කරුණු අඩංගු පොත් කිහිපයක් http://www.sirisaddharmaya.net/books.html යන තැනින් ලබා ගත හැකියි. එහි දැක්වෙන "අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි (1 කොටස)" යන පොතේ 9 පිටුවේ "ජන්බුද්වීපය" යන වචනයක් මෙසේ අර්ථ දක්වා තිබෙනවා:

ජන්බුද්වීපය යනු (ජන්+බුද්+ද්වීපය) "බුදුන් ජන්මය ලබන දීපය" යන අර්ථය ඇති මාගධී භාෂාවේ පද තුනකි. මෙම මාගධී පදයේ අර්ථයට අනුව ම මේ මිහිතලය මත යම් උත්තමයකු බුද්ධත්වය නම් වූ ඒ අති උතුම් තත්වයට පත්වන්නට හේතු වාසනා ලබන්නේ මෙම ජන්බුද්වීපයේදීම පමණි.

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි එසේ පැවසුවත් ජන්බුද්වීපය යැයි වචනයක් ත්‍රිපිටකයේ සඳහන්ව නැහැ. ජන්බුදීපා ලෙසින්වත් ත්‍රිපිටකයේ සඳහන්ව නැහැ. ත්‍රිපිටකයේ පාලියෙන් දැකිය හැක්කේ ජම්බුදීපා යන වචනය. එම වචනය ජම්බුදීප, ජම්බුද්වීපය, දඹදිව ආදී ලෙසින් සිංහලට පරිවර්තනය කර ඇති බව දැකිය හැකියී. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ජම්බුදීපා යන වචනයේ යෙදෙන හල් මයන්න වෙනුවට හල් නයන්න යොදා ජන්බුද්වීපය යැයි වචනයක් සාදාගෙන, එම සාදාගත් ජන්බුද්වීපය යන වචනය ජන්+බුද්+ද්වීපය ලෙස පද බෙදා අර්ථ ගන්වමින්, ජම්බුද්වීපය යන වචනය වෙනුවට ජන්බුද්වීපය යන වචනය වරදවා භාවිතා කරන බව දැකිය හැකියී.

ඒ නිසා මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි පවසන ජන්බුද්වීප කථාව වචනයෙන්ම ධර්මයට නොගැළපෙන්නක්. එහිමියන්ගේ කථාව අර්ථයෙනුත් නොගැළපෙන බව පහත දැක්වෙන පරිදි පෙන්වා දිය හැකියී.

යම් ප්‍රදේශයක් ජම්බුද්වීපය යැයි ප්‍රසිද්ධ වූයේ කිනම් හේතුවක් නිසා දැයි යන්න ත්‍රිපිටකයේ සඳහන්ව තිබෙනවා. එය ත්‍රිපිටකයේ විනය පිටකයේ මහාවග්ග පාළියේ මහාඛන්ධකයේ උරුවෙලපාටිහාරියකථාවේ දැක්වෙනවා. බුදු බව ලැබීමෙන් අනතුරුව මඳ කලෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් උරුවෙල් දනව්වේ වාසය කළ උරුවෙලකස්සප, නදීකස්සප සහ ගයාකස්සප යන ජටිලයින් දමනය කිරීම ගැන විස්තර එහි සඳහන් වෙනවා. බුදුරජානන් වහන්සේ විසින් උරුවෙලකස්සපට දක්වන ලද නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්යයන් ගැන විස්තර සඳහන් එහි එක් තැනක මෙසේ සඳහන් වෙනවා:

ඉක්බිති උරුවෙලකාශ්‍යපජටිලතෙමේ ඒ රැය ඉක්ම ගිය පසු භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණියේ ය. පැමිණ "මහාශ්‍රමණය, සුදුසු කාලය වේ. බත නිමියේ ය" යි කල් දැන්වී ය. "කාශ්‍යපය, යව. මම පසු ව එමි" යි උරුවෙලකාශ්‍යපජටිලයා යවා දඹදිව යම් දඹගසකින් ප්‍රසිද්ධ වේ ද, ඒ දඹගසින් ගෙඩියක් ගෙන පළමු කොට අවුත් ගිනිහල්ගෙයි වැඩ හුන්සේක. උරුවෙලකාශ්‍යපජටිල තෙමේ ගිනිහල්ගෙයි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක "මහාශ්‍රමණය, ඔබ කවර මගකින් ආසේක් ද? මම ඔබට පළමු ව පිටත් වූයෙමි. ඒ ඔබ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි හුන්සේකැ" යි කීයේය. "කාශ්‍යපය, මෙහි මම ඔබ පිටත් කොට, දඹදිව යම් දඹගසකින් ප්‍රසිද්ධ වේ ද ඒ ගසින් ගෙඩියක් ගෙණ පළමු කොට අවුත් ගිනිහල්ගෙයි හුන්නෙමි. කාශ්‍යපය, මේ දඹගෙඩිය පැහැයෙන් පිරිපුන් ය. සුවඳින් පිරිපුන් ය. රසයෙන් පිරිපුන් ය. ඉදින් කැමැත්තෙහි නම් අනුභව කරව" යි වදාළ සේක. "මහාශ්‍රමණය, කම් නැත. ඔබ ම මේ දඹගෙඩිය ගෙන ආසේක. ඔබ ම මෙය අනුභව කරණු මැනව." ඉක්බිති උරුවෙලකාශ්‍යපජටිලයාහට "යමෙක් මා පළමු කොට පිටත් කර යවා, දඹදිව යම් දඹගසකින් ප්‍රසිද්ධ වේ ද, ඒ දඹගසින් ගෙඩියක් ගෙණ පළමුකොට අවුත් ගිනිහල්ගෙයි හුන්නේ ද, ඒ මහාශ්‍රමණ තෙමේ මහත් සෘද්ධි ඇත්තේ ම ය. මහත් ආනුභාව ඇත්තේ ම ය. එහෙත් මා මෙන් රහත් නො වේ ම ය" යි සිතක් වූයේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උරුවෙලකාශ්‍යපජටිලයාගේ බත වළදා ඒ වනලැහැබෙහි ම විසූසේක.

පාලියෙන් එය මෙසේ සඳහන් [ http://thripitaka.org/view/bjts/vp3p1/141 ]:

අථ ඛො උරුවෙලකස්‌සපො ජටිලො තස්‌සා රත්‌තියා අච්‌චයෙන යෙන භගවා තෙනුපසඞ්‌කමි. උපසඞ්‌කමිත්‌වා භගවතො කාලං ආරොචෙසි: ‘‘කාලො, මහාසමණ, නිට්‌ඨිතං භත්‌ත’’න්‌ති. ‘‘ගච්‌ඡ, කස්‌සප, ආයාමහ’’න්‌ති. උරුවෙලකස්‌සපං ජටිලං උය්‍යොජෙත්‌වා යාය ජම්‌බුයා ජම්‌බුදීපො පඤ්‌ඤායති තතො ඵලං ගහෙත්‌වා පඨමතරං ආගන්‌ත්‌වා අග්‍යාගාරෙ නිසීදි. අද්‌දසා ඛො උරුවෙලකස්‌සපො ජටිලො භගවන්‌තං අග්‍යාගාරෙ නිසින්‌නං. දිස්‌වාන භගවන්‌තං එතදවොච: ‘‘කතමෙන ත්‌වං මහාසමණ, මග්‌ගෙන ආගතො? අහං තයා පඨමතරං පක්‌කන්‌තො. සො ත්‌වං පඨමතරං ආගන්‌ත්‌වා අග්‍යාගාරෙ නිසින්‌නො’’ති. ‘‘ඉධාහං කස්‌සප, තං උය්‍යොජෙත්‌වා යාය ජම්‌බුයා ජම්‌බුදීපො පඤ්‌ඤායති, තතො ඵලං ගහෙත්‌වා පඨමතරං ආගන්‌ත්‌වා අග්‍යාගාරෙ නිසින්‌නො. ඉදං ඛො කස්‌සප, ජම්‌බුඵලං වණ්‌ණසම්‌පන්‌නං ගන්‌ධසම්‌පන්‌නං රසසම්‌පන්‌නං. සචෙ ආකඞ්‌ඛසි පරිභුඤ්‌ජා’’ති. ‘‘අලං, මහාසමණ, ත්‌වං යෙවෙතං ආහරසි, ත්‌වං යෙවෙතං පරිභුඤ්‌ජා’’ති. අථ ඛො උරුවෙලකස්‌සපස්‌ස ජටිලස්‌ස එතදහොසි: ‘‘මහිද්‌ධිකො ඛො මහාසමණො මහානුභාවො. යත්‍ර හි නාම මං පඨමතරං උය්‍යොජෙත්‌වා යාය ජම්‌බුයා ජම්‌බුදීපො පඤ්‌ඤායති, තතො ඵලං ගහෙත්‌වා පඨමතරං ආගන්‌ත්‌වා අග්‍යාගාරෙ නිසීදිස්‌සති. නත්‌වෙව ච ඛො අරහා යථා අහ’’න්‌ති. අථ ඛො භගවා උරුවෙලකස්‌සපස්‌ස ජටිලස්‌ස භත්‌තං භුඤ්‌ජිත්‌වා තස්‌මිංයෙව වනසණ්‌ඩෙ විහාසි.

ඉහත දක්වන ලද උරුවෙලපාටිහාරියකථාවේ සඳහන් කරුණු වලට අනුව ජම්බුදීපා යන නම ප්‍රසිද්ධ වීමට හේතුව වී ඇත්තේ ජම්බු ගසයි. තවද ජම්බුඵලං යන පාලි වචනය දඹගෙඩිය ලෙසින් සිංහලට පරිවර්තනය වී ඇති බවත්, ඊටම අනුරූපව ජම්බුදීපා යන්න දඹදිව ලෙසින් සිංහලෙන් යෙදෙන බවත් දැකිය හැකියී.

තවද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ මහා වග්ගයේ ඉන්ද්‍රිය සංයුත්තයේ සම්බොධි වග්ගයේ රුක්ඛ සූත්‍රයේ මෙසේ සඳහන්ව පවතිනවා:

මහණෙනි, යම්සේ දඹදිව හටගත් යම් කිසි රුක්හු වෙද්ද, දඹරුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම අවබොධය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙද්ද, පඤ්ඤින්ද්‍රිය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්ද්‍රිය, බෝපැකි දහමෙකි. එය බොධිය පිණිස පවතී. විරියින්ද්‍රිය ... සතින්ද්‍රිය ... සමාධින්ද්‍රිය ... පඤ්ඤින්ද්‍රිය බෝපැකි දහමෙකි. එය බොධිය පිණිස පවතී. මහණෙනි, යම්සේ දඹදිව හටගත් යම්කිසි රුක්හු වෙත් නම් දඹරුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බොධිය පිණිස වූ යම්කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්ද්‍රිය ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ යි.

පාලියෙන් එය මෙසේ දැක්වෙනවා [ http://thripitaka.org/view/bjts/sp11p1/441 ]:

සෙය්‍යථාපි භික්‌ඛවෙ, යෙ කෙචි ජම්‌බුදීපකා රුක්‌ඛා, ජම්‌බූ තෙසං අග්‌ගමක්‌ඛායති. එවමෙව ඛො භික්‌ඛවෙ, යෙ කෙචි බොධිපක්‌ඛියා ධම්‌මා, පඤ්‌ඤින්‌ද්‍රියං තෙසං අග්‌ගමක්‌ඛායති: යදිදං බොධාය. කතමෙ ච භික්‌ඛවෙ, බොධිපක්‌ඛියා ධම්‌මා: සද්‌ධින්‌ද්‍රියං, භික්‌ඛවෙ, බොධිපක්‌ඛිකො ධම්‌මො. තං බොධාය සංවත්‌තති. වීරියින්‌ද්‍රියං -පෙ - සතින්‌ද්‍රියං -පෙ- සමාධින්‌ද්‍රියං -පෙ- පඤ්‌ඤින්‌ද්‍රියං බොධිපක්‌ඛිකො ධම්‌මො. තං බොධාය සංවත්‌තති. සෙය්‍යථාපි, භික්‌ඛවෙ, යෙ කෙචි ජම්‌බුදීපකා රුක්‌ඛා, ජම්‌බූ තෙසං අග්‌ගමක්‌ඛායති. එවමෙව ඛො භික්‌ඛවෙ, යෙ කෙචි බොධිපක්‌ඛියා ධම්‌මා, පඤ්‌ඤින්‌ද්‍රියං තෙසං අග්‌ගමක්‌ඛායති යදිදං බොධායාති.

ඉහත දක්වන ලද රුක්ඛ සූත්‍රයේත් ජම්බු ගස සහ ජම්බුද්වීපය අතර සම්බදන්ධයක් දැක්වෙනවා.

බුදු දහමේ දැක්වෙන ජම්බුද්වීපය මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි විසින් ජන්බුද්වීපය ලෙසින් අකුරුවලින් වරදවා ගෙන, වැරදි අර්ථය විස්තර කෙරෙන පොත පත ලියා ප්‍රසිද්ධ කිරීම හා දේශනා පැවැත්වීම ආදිය විහිළුවට කාරණාවන්. පාසැල් යන කුඩා දරුවනුත් වචන වල අකුරු භාවිතා වන අයුරු ඉගෙන ගන්නවා. වචන වල අකුරු වෙනස් කොට සාදාගන්නා වෙනත් අර්ථ ඇති වචනවලින් මුල් වචන වල අර්ථ ඉස්මතු නොවන බව ඔවුනුත් දන්නවා. කුඩා දරුවනුත් එසේ දන්නා එකේ වයසින් වැඩිමහළු භික්ෂූවක් වන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ ජම්බුද්වීප - ජන්බුද්වීප පටලවා ගැනීම එවන් කුඩා දරුවන්ගේත් විහිළුවට බඳුන් වෙන්න කාරණාවක්. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි කරන්නේ "හරකා තණ කයි" යන වාක්‍යයේ අර්ථය "හරකා තන කයි" යන වාක්‍යයේ අර්ථය ලෙස අන් අයට කියා දෙන්න උත්සාහ ගන්නවා බඳු ක්‍රියාවක්. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි සහ එබඳු කථා මනා යැයි සිතන අන් පිරිස්ද කුඩා දරුවන්ගේත් විහිළුවට බඳුන් වෙන්න සුදුසුයි.

බුදු සසුනේ පැවිදි වූ එබඳු විහිළු කාරණාවන් දෙසන අඥාන භික්ෂූන් සිටීම ගැන මෙම ලිපිය ලියන මටද ඇත්තේ ලැජ්ජාවක්. අන්‍යාගමිකයෙක් මගෙන් ඇසුවොත් කුඩා දරුවන්ගේත් විහිළුවට බඳුන් වීය හැකි එබඳු විහිළු කාරණාවන් දෙසන අය බුදු සසුනේ උසස් යැයි සැලකෙනවාද, ලෝකයට අනුත්තර පුණ්‍ය කෙත යැයි සැලකෙනවාද කියා සම්මා සම්බුද්ධ සාසනයේ සිව්වනක් පිරිසට අයත් උපාසකයෙකැයි පවසන මටද එය ලැජ්ජාවට කාරණාවක්.

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ දුක නිපාතයේ පඨම පණ්ණාසකයේ සමචිත්තවග්ගයේ දසම සූත්‍රයේ මෙසේ සඳහන්:

යෙ තෙ භික්‌ඛවෙ භික්‌ඛූ දුග්‌ගහිතෙහි සුත්‌තන්‌තෙහි බ්‍යඤ්‌ජන‌පතිරූපකෙහි අත්‌ථඤ්‌ච ධම්‌මඤ්‌ච පටිබාහන්‌ති, තෙ භික්‌ඛවෙ භික්‌ඛූ බහුජනාහිතාය පටිපන්‌නා බහුජනාසුඛාය බහුනො ජනස්‌ස අනත්‌ථාය අහිතාය දුක්‌ඛාය දෙවමනුස්‌සානං. බහුඤ්‌ච තෙ භික්‌ඛවෙ භික්‌ඛූ අපුඤ්‌ඤං පසවන්‌ති. තෙචිමං සද්‌ධම්‌මං අන්‌තරධාපෙන්‌ති.

යම් භික්ෂුවක් වරදවා ගන්නා ලද පදප්‍රතිරූපක වූ සූත්‍රාන්තයෙන් අර්ථ ද ධර්ම ද වළකා නම් එම භික්ෂුව බොහෝ දෙනාට අහිත පිණිස ද, බොහෝ දෙනාට නොසුව පිණිස ද, බොහෝ දෙනාට අනර්ථ පිණිස ද, දෙවිමිනිසුනට අහිත පිණිස ද, දුක් පිණිස ද පිළිපන් වෙනවා. එම භික්‍ෂූව බොහෝ පව් ද රැස් කරනවා. එම භික්ෂුව ම සම්මා සම්බුද්ධ සාසනය ද අතුරුදන් කරනවා.

අතිරේක කියවීම්:

  1. මීවනපලානේ පචෝරිස් හිමි තථාගතයන් වහන්සේ හා සම්බන්ධ ස්ථාන හතරක් ගැන මුසා දෙසීම
  2. බුදුන් වහන්සේ පා ගමනින් බුද්ධගයාවේ සිට ඉසිපතනයට වැඩම කිරීම පිළිබඳ මීවනපලානේ පචෝරිස් හිමි නොනිසි සැක ඉපදවීම
  3. බුදු දහමේ කියැවෙන මහා නදීන් පහ